රෝහල් වාට්ටුවේ නිහඬ බව බිඳෙන්නේ වරින් වර ඇසෙන යන්ත්‍රවල හඬින්, රෝගීන්ගේ කෙඳිරිලි හඬින් හා හෙදියන්ගේ පියවර ශබ්දයෙන් පමණි. ඇඳ මත වැතිර සිටින තම ආදරණීය මව දෙස පුතු බලා සිටියේ අප්‍රමාණ සෙනෙහසකිනි. වෙනදා ඔහුව දකින විගස සිනහවෙන් කතා කරන අම්මාගේ දෙනෙත් අද අඩවන් වී තිබුණි. ඇය ඔහුව හඳුනන බවක්වත් පෙනෙන්නට තිබුණේ නැත. ඇගේ සිහිය පැවතියේ ඉතාමත් දුර්වල මට්ටමකය.
“අම්මාට බඩගිනි ඇති… තේ උගුරක්වත් බිව්වොත් හොඳ වෙයි.” පුතා එසේ සිතුවේය. ඔහු ආදරයෙන් තේ කෝප්පය මවගේ මුවට ළං කළේය. සිහිය අඩුකම නිසා මව එය ප්‍රතික්ෂේප කිරීමටවත්, ගිලීමටවත් උත්සාහ කළේ නැත. ඔහු සෙමින් තේ උගුරක් ඇයට පෙව්වේය. එක්වරම මවට කැස්සක් ආවාය. එය ස්වභාවධර්මයෙන් දුන් අනතුරු ඇඟවීමකි. “තේ එක යන්නේ වැරදි පාරේ…” යන්න කියාපාන්නට ඇගේ සිරුර දැරූ උත්සාහයකි.
නමුත් ඒ බව නොදත් පුතු, ආදරය පෙරදැරිව කෙසේ හෝ ඒ තේ කෝප්පයම මවට පෙව්වේය. ඔහු සිතුවේ එයින් ඇගේ ගතට ශක්තියක් ලැබෙනු ඇති බවයි. නමුත් ටික වෙලාවක් ගතවෙද්දී මවගේ වෙනසක් ඔහුට දැනිණි. ඇය කතා කළේම නැත. දෙනෙත් සම්පූර්ණයෙන්ම පියවී ගොස්ය. ඔහු කතා කළත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. බියට පත් ඔහු වහාම හෙදියන් වෙත දිව ගියේය. වෛද්‍යවරුන් පැමිණ පරීක්ෂා කරන විටත් මවගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉතාම පහළ වැටී තිබුණි. හුස්ම ගැනීම ද අපහසු වී තිබූ නිසා වහාම ඇයව දැඩි සත්කාර ඒකකයට රැගෙන යා යුතු බව වෛද්‍යවරු පැවසූහ.
ඇයට දැඩි සත්කාර ඒකකයේ දොරටු විවර වූයේ ජීවිතය බේරා ගැනීමේ සටනකටයි. ඒ වන විටත් රෝගියාට පිටතින් ලබාදෙමින් තිබූ ඔක්සිජන් ප්‍රමාණය ඇගේ සිරුරට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත. මොළයට ඔක්සිජන් නොලැබීම නිසා ඇගේ සිහිය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබුණි. මවගේ හුස්ම ගැනීම කෘත්‍රිමව පවත්වා ගැනීම සඳහා වෛද්‍යවරුන් වහාම ඇගේ මුඛයෙන් ශ්වසන නාලයක් ඇතුළු කර කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කළහ.
නමුත් එහිදී ඔවුන් දුටුවේ කම්පනය දනවන දසුනකි. පෙණහලු වෙත දැමූ ඒ බටයෙන් එළියට ආවේ වාතය පමණක් නොව, කිරි පාට උකු ද්‍රාවණයකි. වහාම ලබාගත් එක්ස්-රේ ඡායාරූපයෙන් පෙනී ගියේ ඇගේ දකුණු පෙණහැල්ල වළාකුළක් මෙන් සුදු පැහැ ගැන්වී ඇති බවයි. පෙණහලු තුළට යම් දියරයක් ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරයාට තේරුම් ගියේය. ඔහු වහාම Bronchoscopy පරීක්ෂණයක්, එනම් කැමරාවක් සහිත සිහින් නාලයක් පෙණහලු තුළට යවා පරීක්ෂා කිරීම ආරම්භ කළේය.
කැමරාවෙන් පෙනෙන දසුනින් සියල්ල පැහැදිලි විය. මවගේ පෙණහලු තුළ තිබුණේ වාතය පමණක් නොවේ. පුතා ආදරයෙන් පෙවූ කිරි තේ එක, කිරි කැටිති ලෙස පෙණහලු පුරා පැතිරී තිබුණි.
සාමාන්‍යයෙන් අප යමක් ගිලින විට, පෙණහලුවලට යන මාර්ගය ස්වාභාවිකවම වැසී යයි. නමුත් රෝගියෙකුගේ සිහිය අඩු අවස්ථාවකදී මොළයෙන් ලබාදෙන සංඥා දුර්වල වන නිසා, මේ ගිලීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. එනිසා, පුතා පෙවූ තේ එක ආමාශයට නොගොස් කෙළින්ම ගමන් කර තිබුණේ ශ්වසන නාලය හරහා පෙණහලු තුළටයි. එම දියර හා ආහාර පෙණහලු තුළ සිරවී නරක් වීමෙන් පෙණහලු ආසාදනය වී, Aspiration Pneumonia නම් වූ දරුණු මාරාන්තික තත්ත්වයට මව මුහුණ දී සිටියාය.
මව කෙරෙහි පුතුට තිබුණේ අසීමිත ආදරයකි. ඔහු තේ කෝප්පය පෙව්වේ ඒ සෙනෙහස නිසාවෙනි. නමුත්, නොදැනුවත්කම නිසා, ඒ අහිංසක ආදරයම මවගේ ජීවිතය අනතුරේ හෙළන්නට හේතු විය. බොහෝ විට අපගේ කුඩා අතපසුවීමක් හෝ නොදැනුවත්කම නිසා ආදරණීයයන්ගේ ජීවිත පවා දැඩි අවදානමකට ලක් විය හැක. රෝහල් වාට්ටු සහ දැඩි සත්කාර ඒකක තුළ මෙලෙස අවාසනාවන්ත ලෙස රෝගීන් අසාධ්‍ය වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ඇස්පිරේෂන් නියුමෝනියාව (Aspiration Pneumonia) තත්ත්වයයි.
මෙම ලිපිය මඟින් එම රෝගී තත්ත්වය, එය ඇතිවීමට හේතු, ප්‍රතිකාර සහ වළක්වා ගන්නා ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු.
Aspiration Pneumonia යනු කුමක්ද?
සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර සහ පාන වර්ග ගමන් කරන්නේ මුඛයේ සිට ආමාශය දක්වා ඇති අන්නස්‍රෝතය (Esophagus) හරහාය. වාතය ගමන් කරන්නේ ශ්වාසනාලය (Trachea) හරහා පෙණහලු වෙතටයි. අප යමක් ගිලින විට ස්වාභාවිකවම කුඩා පියනක් (එයට අපි කියනවා අපිජිව්හිකාව / Epiglottis කියලා) මඟින් ශ්වාසනාලය වැසී යයි. නමුත් යම් හේතුවක් නිසා මෙම ගිලීමේ ක්‍රියාවලිය අඩාළ වූ විට, ආහාර කැබලි, ඛේටය, බීම වර්ග හෝ ආමාශයේ ඇති ආම්ලික ශ්‍රාවයන් ආමාශයට නොගොස් ශ්වාසනාලය හරහා පෙණහලු තුළට ගමන් කළ හැක. මෙලෙස බාහිර ද්‍රව්‍ය පෙණහලු තුළට ඇතුළු වීම වෛද්‍ය විද්‍යාවේදී Aspiration ලෙස හැඳින්වේ. පෙණහලු නිර්මාණය වී ඇත්තේ වාතය හුවමාරු කිරීමට පමණි. එබැවින් බාහිරින් ඇතුළු වන ආහාර හෝ දියර පෙණහලු තුළ සිරවී නරක් වීමට පටන් ගනී. එවිට බැක්ටීරියා වර්ධනය වී පෙණහලු පටකවල දරුණු ආසාදනයක් සහ ප්‍රදාහයක් ඇතිවේ. මෙම තත්ත්වය ඇස්පිරේෂන් නියුමෝනියාව ලෙස හැඳින්වේ.
මෙම තත්ත්වය ඇති වන්නේ කොහොමද?
නීරෝගි පුද්ගලයෙකුට යමක් වැරදීමකින් පෙණහලු වෙත ගියහොත් තදබල ලෙස කැස්ස ඇති වී එය පිටතට විසිවී යයි. නමුත් පහත සඳහන් තත්ත්වයන් යටතේ සිටින රෝගීන් මෙම අවදානමට දැඩි ලෙස ගොදුරු වේ. ආඝාතය, හිසට සිදුවන අනතුරු, නිර්වින්දනය ලබා දී ඇති අවස්ථා හෝ මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝගියෙකුගේ සිහිය අඩු වූ විට ස්වාභාවික ගිලීමේ හැකියාව සහ කැස්ස දුර්වල වේ. නිදිමත ගතියෙන් සිටින රෝගියෙකුට බලහත්කාරයෙන් යමක් කැවීමට හෝ පෙවීමට යාම මෙහිදී ඉතා භයානකය.
ගිලීමේ අපහසුතා – පාකින්සන් (Parkinson’s), ඇල්සයිමර් වැනි ස්නායු රෝග ඇති වැඩිහිටියන්ට ආහාර ගිලීම අපහසු බැවින් ඒවා පෙණහලුවලට යාමේ අවදානම වැඩිය.
වමනය යාම – සිහිය නොමැති හෝ අඩ සිහියෙන් සිටින රෝගියෙකුට වමනය ගියහොත්, එම ආමාශයික යුෂ සහ ආහාර ඉතා පහසුවෙන් පෙණහලු තුළට ඇද ගැනේ.
වයස්ගත වීම සහ දත් දිරායාම – මුඛ සෞඛ්‍යය දුර්වල වූ විට මුඛයේ බැක්ටීරියා බහුල වන අතර, නිදා සිටින විට ඛේටය සමඟ එම බැක්ටීරියා පෙණහලු තුළට ගමන් කළ හැක.
රෝග ලක්ෂණ මොනවාද?
● ආහාර ගන්නා විට හෝ දියර බොන විට නිතර කැස්ස ඇතිවීම හෝ හුස්ම හිරවීම.
● පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුව.
● තද උණ සහ ඇඟ වෙව්ලීම.
● කහ, කොළ පැහැති හෝ දුගඳක් සහිත සෙම පිටවීම.
● රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා සම සහ තොල් නිල් පැහැ වීම.
වැඩිහිටියන්ගේ හදිසි සිහිමඳ ගතිය හෝ ව්‍යාකූලත්වය
මීට ලබා දෙන ප්‍රතිකාර මොනවාද?
රෝග ලක්ෂණ සහ X-ray පරීක්ෂණ මඟින් රෝගය තහවුරු කරගත් පසු කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.
● ප්‍රතිජීවක ඖෂධ – බැක්ටීරියා ආසාදනය පාලනය කිරීම සඳහා ශිරාගතව ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අනිවාර්ය වේ.
● ඔක්සිජන් ලබා දීම සහ ශ්වසන ආධාරක – රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු රෝගීන්ට බාහිරින් ඔක්සිජන් ලබා දෙන අතර, රෝගියා අසාධ්‍ය නම් දැඩි සත්කාර ඒකකයක් තුළ කෘතීම ශ්වසන යන්ත්‍ර වෙත සම්බන්ධ කිරීමට සිදුවේ.
● Bronchoscopy පරීක්ෂණය – පෙණහලු තුළට ආහාර කොටස් විශාල වශයෙන් ගොස් ඇත්නම්, කැමරාවක් සහිත නාලයක් යවා ඒවා ඉවත් කිරීම සිදු කරයි.
පෝෂණය ලබා දීමේ විකල්ප ක්‍රම – ස්වභාවිකව ආහාර ගිලීමට නොහැකි නම්, නාසයෙන් ආමාශයට බටයක් දැමීම හෝ ආමාශයට සෘජුවම බටයක් සම්බන්ධ කිරීම මඟින් ආහාර ලබාදීම සිදු කෙරේ.
සුව කිරීමට ඇති හැකියාව කොහොමද?
ඇස්පිරේෂන් නියුමෝනියාව යනු සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවේ. එය සුව වීමේ හැකියාව ප්‍රධාන කරුණු කිහිපයක් මත රඳා පවතී.
● රෝගියාගේ වයස සහ වෙනත් නිදන්ගත රෝග (දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග) පවතිනවාද යන්න
● පෙණහලු තුළට ගොස් ඇති ප්‍රමාණය සහ බැක්ටීරියාවල ප්‍රබලත්වය
● කොපමණ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළාද යන්න
කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිජීවක ලබා දුනහොත් සාමාන්‍ය නීරෝගි පුද්ගලයෙකුට සම්පූර්ණ සුවය ලබා ගත හැක. නමුත් වැඩිහිටි, දුර්වල රෝගීන්ට සහ ස්නායු රෝග ඇති අයට මෙය මාරාන්තික විය හැක. සංඛ්‍යාලේඛනවලට අනුව මෙහි මරණ අනුපාතය සාමාන්‍ය නියුමෝනියාවට වඩා ඉහළ අගයක් ගනී.
වළක්වා ගන්නේ කෙසේද?
නොදැනුවත්කම නිසා සිදුවන මෙවැනි අනතුරු වළක්වා ගැනීමට අප සැම දැනුවත් විය යුතුය.
● සිහිය අඩු, නිදිමත ගතියෙන් සිටින කිසිදු රෝගියෙකුට බලහත්කාරයෙන් ආහාර හෝ ජලය ලබා දීමෙන් වළකින්න.
● ඇඳේ වැතිරී සිටින රෝගීන්ට ආහාර ලබා දීමේදී සෑම විටම හිස කොටස අංශක 30 ත් 45 ත් අතර ප්‍රමාණයකට (මඳක් වාඩි වී සිටින ඉරියව්වට) එසවීම අනිවාර්ය වේ. ආහාර දී අවසන් වූ පසුත් පැය භාගයක් පමණ එම ඉරියව්වේම තබන්න.
● මුඛයේ සනීපාරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න.
● ගිලීමේ අපහසුතා ඇති රෝගීන් සඳහා විශේෂඥ උපදෙස් මත ගැළපෙන ඝනකමකින් යුතු ආහාර පමණක් ලබා දෙන්න.
Aspiration Pneumonia ගැන සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදියට කීවොත් අපි ඔය කෑම කනකොට කතා කරද්දි කියන්නේ ඉස්මොල්ලේ යනවා, පිට උගුරේ යනවා, කිය කිය කියන්නේ මෙන්න මේ කෑම හරි පාරේ නොයා පෙණහලු වලට යන එක ගැන. නිසි දැනුවත්කම තුළින් මෙවැනි ඛේදවාචක වළක්වාගෙන ආදරණීයයන්ගේ ජීවිත සුරක්ෂිත කර ගන්න පුළුවන්.
