Monday, June 8, 2026
Epaper
Home Highlightsවැඩියෙන්ම සාර්ථක රුධිර පීඩනය නිවෙසේදීම මැන බැලීමයි

වැඩියෙන්ම සාර්ථක රුධිර පීඩනය නිවෙසේදීම මැන බැලීමයි

by Shanaka Lakehouse

සුවපත් දිවියක් අප සැවොමගේම ඒකායන පැතුමයි. එසේ නම් නිදුක්ව නීරෝගිව සිටින්නට කැමැති ඔබ රුධිර පීඩනය පිළිබඳ කරුණු කාරණා දැන සිටිය යුතුම මෙන්ම ඒ පිළිබඳ නිරන්තර අවධානය ද යොමු කළ යුතුම වේ.


ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් එනම් අවුරුදු 18ට වැඩි තිදෙනකුගෙන් එක් අයෙක් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින බව ඔබ දන්නවාද?

ලෝක ජනගහනයෙන් සියයට 35ක් මේ නිසා පීඩා විඳියි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමට බලාපොරොත්තු වන ඔබට එය බරක් වනු ඇත.

මොකක්ද මේ රුධිර පීඩනය කියන්නේ?

හෘදය වස්තුව රුධිර නාලවලින් සමන්විතය. හෘදය වස්තුව ගැහෙද්දී මේ රුධිර නාලවල පීඩනය වැඩිය. රුධිර පීඩනය අගයන් දෙකක පවතී. හෘදය වස්තුව සංකෝචනය වද්දී රුධිර නාලවල ඇති පීඩනය Systolic අගයයි. රුධිර පීඩනය මැන බලද්දී ඉහළින් සඳහන් වන්නේ එයයි. එය ලිහිල්ව ඇති විට ඇත්තේ diastolic අගයයි. පහළින් සඳහන් වන්නේ එම අගයයි. සාමාන්‍ය පුද්ගලයකුගේ මෙම අගය රසදිය මිලිමීටර් 120 – 80 අගයන්හි පැවතිය යුතුයි. Systolic අගය 120 – 130 අතර අගයන්හි පැවතීම අධි රුධිර පීඩන මට්ටමට ළඟා වීමකි. Diastolic අගය 80 ට වැඩිවීම මෙන්ම Systolic අගය130 ට වඩා වැඩි වීම අධි රුධිර පීඩන තත්ත්වයයි.

අධි රුධිර පීඩන තත්ත්වයක් ඇති වන්නේ ඇයි?

නිසි පරිදි ව්‍යායාම්වල නිරත නොවීම, අධික ලෙස ලුණු භාවිතයට ගැනීම, දුම් පානය, ඇල් කොහොල් අධික ලෙස පානය, පවුලේ ඉතිහාසයේ අධි රුධිර පීඩනය ඇත්නම් ඒ අයට ඇති අවදානම තරමක් වැඩියි. වයසට යෑමත් සමඟ රුධිර නාල ඝනකමින් වැඩිවීම නිසා අධි රුධිර පීඩනය ඇතිවේ. ඒ ප්‍රාථමික හෙවත් Primary hypertension තත්ත්වයයි. තවත් අයට වෙනත් හේතු නිසා අධි රුධිර පීඩනය ඇති වේ. මෙය ද්විතීයික හෙවත් Secondary hypertension නම්වේ. සමහර බෙහෙත් වර්ග, එනම් ස්ටරොයිඩ කාණ්ඩයේ බෙහෙත් වර්ග ගැනීම, අන්තරාසර්ග පද්ධතියේ ඇති ලෙඩ රෝග, තයිරොයිඩ් ග්‍රන්ථියේ ලෙඩ රෝග, වකුගඩු ආශ්‍රිත තත්ත්ව, වකුගඩුවලට රුධිරය ගමන් කරන නාලවල අවහිරතා. වැනි තවත් නොයෙකුත් කරුණු නිසා අධි රුධිර පීඩනය ඇතිවේ.

අවුරුදු 40ට අඩු අයට ද්විතීයික හේතු නිසාත් අවුරුදු 40⁣ට වැඩි අයට බොහෝදුරට ප්‍රාථමික හේතු නිසාත් අධි රුධිර පීඩනය ඇතිවේ.

අධි රුධිර පීඩනයේ රෝග ලක්ෂණ මොනවාද?

බොහෝවිට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මේ නිසාම අධි රුධිර පීඩනය නිහඬ මාරයා හෙවත් Silent killer ලෙස හඳුන්වයි.

සුළු පිරිසකට පමණක් ඔළුවේ කැක්කුම, කරකැවිල්ල, පපුවේ තද ගතිය, පපුව ගැහීමේ වෙනසක් දැකිය හැකියි. බොහෝදෙකුට ලක්ෂණ කිසිවක් පහළ නොවේ.

මේ තත්ත්වය නිසා ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

රුධිර පීඩනය වැඩි වූ විට රුධිර නාලවල බිත්ති පුපුරා යයි. නාලවල විවිධ වෙනස්කම් ඇති වීම, නහර පිපිරීම සිදු වේ. මෙවිට ආඝාතය හෙවත් අංශභාග තත්ත්ව, හෘදයාබාධ, වකුගඩුවල ආබාධ, ඩිමෙන්ෂියාව, ඇස් පෙනීම අඩු වීම සිදුවිය හැකියි.


ප්‍රතිකාර කරා යායුතු වන්නේ ඇයි?

බොහෝ අය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ තමන්ට කුමන හෝ ආබාධයක් ඇතිවූ විටයි. ප්‍රතිකාර කරා යා යුතුවන්නේ සංකූලතා ඇතිවීම වළක්වාලීමටයි. මේ නිසා අමාරුවක් තිබුණත් නැතත් ප්‍රතිකාර ගැනීම අතිශය වැදගත් වේ.

ප්‍රතිකාර ඇරඹූ පසු අඛණ්ඩව ගැනීම අත්‍යවශ්‍ය කරුණක්ද?

ඔව්. රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් නොවේ නම් ඖෂධ 5ක් 6ක් වුවත් ගැනීමට නියම වේවි. එය සාමාන්‍ය තත්ත්වයකට පත්වන්නේ ඖෂධ ගන්නා නිසයි. සාමාන්‍ය තත්ත්වයට පත් වූවා කියා ඖෂධ ගැනීම නතර කළ නොහැකියි. ඖෂධ නතර කළ පසු රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවතින්නේ අධි රුධිර පීඩනය ද්විතීයික හේතු නිසා හට ගත්තේ නම් පමණි. ප්‍රාථමික හේතු නිසා නම් ඖෂධ ගැනීම කෙසේවත්ම නතර කළ නොහැකියි.

තමා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැන වසර කිහිපයක් සිටියහොත් කුමක් වේවිද?

එය භයානක තත්ත්වයක්. රුධිර නාලවල යම් යම් වෙනස්වීම් සිදුවන්නට පුළුවන්. කපාට ඝන වෙන්න පුළුවන්. මේ නිසා නිතර නිතර රුධිර පීඩනය පරීක්ෂා කරගැනීම අතිශය වැදගත්.

ලොව මෙන්ම ශ්‍රී ලංකාවෙත් සියයට 20ක 25ක පිරිසක් පමණක් අධි රුධිර පීඩන තත්ත්වය හඳුනාගෙන ඖෂධ ගනිමින් සිටියත් ක්‍රමානුකූලව පාලනය කරගෙන සිටින්නේ සියයට 25ක පිරිසකි.

නිවෙසේදීම රුධිර පීඩනය මැන බැලීම වැදගත් වන්නේ ඇයි?

අවුරුදු 35 ඉක්ම වූ පසු රුධිර පීඩනය මැන ගැනීම කළ යුතු බවයි, වෛද්‍ය නිර්දේශය. වෛද්‍යවරයකු ළඟට ගොස් රුධිර පීඩනය මැන ගැනීම Office blood pressure යනුවෙනුත්, නිවෙසේදීම රුධිර පීඩනය මැන ගැනීම Home blood pressure යනුවෙනුත් හඳුන්වයි. Office blood pressure වලදී කලබලයෙන් යුතුව, හොඳ සූදානමකින් තොරව කෙරෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණවලට අනුව රුධිර පීඩනය මැනීම සඳහා වඩාත් සුදුසුම ක්‍රමය ලෙස සලකන්නේ ඔබට හුරුපුරුදු නිවෙස තුළදී කරනා Home blood pressure අවස්ථාවයි. හොඳ රුධිර පීඩන මට්ටමක් දිගුකාලීනව පවත්වා ගෙන යෑමට මෙය ඉවහල් වේ.

නිවෙසේදී රුධිර පීඩනය මැන ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

*මිනිත්තු 30කට පෙර සිට ඒ සඳහා සූදානම් විය යුතුයි. එනම් කායික ව්‍යායාම කිරීමෙන් වැළකී සිටීම, ආහාර ගැනීමෙන් වැළකී සිටීම, කැෆේන් සහිත බීම(තේ, කෝපි වැනි) ගැනීමෙන් වැළකී සිටීම.

*විනාඩි 5ක 10ක පමණ කාලයක් ශරීරය සැහැල්ලු වන සේ කලබල රහිත ප්‍රදේශයක විවේකීව වාඩිවී සිටීම.

*රුධිර පීඩනය මැනීමේදී නිවැරදි ඉරියව්වකින් වාඩි වී සිටීම වැදගත්. පසුපස ආධාරකයක් ඇති අසුනක සෘජුව වාඩිවී කකුල් දෙක හොඳින් බිම තබා ගන්න. අත මේසයක් මත තබා උඩු අතට වන සේ සැහැල්ලුව සිටින්න.

*රුධිර පීඩනය මනිනු ලබන යන්ත්‍රයේ cuff එක වැලමිටට මඳක් ඉහළින් ඇඟිලි දෙකක් යන්තම් ඇතුළු කළ හැකි පරිදි රඳවා ගන්න. Start බොත්තම On කරන්න. Cuff එකට වාතය පිරී තද වී නැවත සැහැල්ලු වන තෙක් නොසෙල්වී සිටින්න.

*එම යන්ත්‍රයේ රුධිර පීඩන අගය සහ නාඩි වේගය ඇතුළත්වනු ඇත. පළමු අගය තරමක් වැඩි අගයක් ලෙස දිස්වේ නම් මිනිත්තු කිහිපයක් සිට නැවත රුධිර පීඩනය මැනගන්න. අගයන් තුනක් මැන ගෙන පළමු අගය ඉතා වෙනස් නම් නොසලකා හරින්න. වඩාත් නිවැරදි අගයක් සඳහා දෙවැනි හා තුන්වෙැනි අගයන්ගේ සාමාන්‍ය ගණනය කරන්න. ඔබට ලැබුණු අගයන් දිනය සහ වේලාව සහිතව පැහැදිලිව පොතක සඳහන් කරන්න. සතියකට වතාවක්වත් මෙලෙස රුධිර පීඩනය උදේ සහ සවස් කාලයේ මැන සටහන් කරන්න. මෙම කර්තව්‍යය වෛද්‍යවරයාට ඔබේ රුධිර පීඩන අගය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට පහසු වේ.

නිවැරදිව රුධිර පීඩනය මැන ගැනීම ඔස්සේ ඔබට ඔබේ සෞඛ්‍යය මනාව පවත්වා ගත හැකි වනු ඇත.


TEXT – ආශිර්වාදිනී හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?