මනුෂ්‍ය ජීවිතය යනු අතිශයින්ම අස්ථිර වූත්, මරණය නියත වූත් ධර්මතාවකි. උපන් සෑම සත්ත්වයකුම මරණය උරුම කරගෙන සිටින අතර, මරණයෙන් මතු පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් පින්
අනුමෝදන් කිරීම අපේ බෞද්ධ සමාජය තුළ අනාදිමත් කාලයක සිට පැවත එන උතුම් ආගමික මෙන්ම සංස්කෘතික චාරිත්‍රයකි. එහෙත්, වර්තමාන සමාජය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙම පින්කම් සිදුකිරීමේදී එහි අඩංගු පරමාර්ථ හා ධර්මානුකූල පදනමට වඩා ලෞකික කලබලය, ප්‍රදර්ශනකාමීත්වය සහ සමාජ සම්මතයන්ට මුල් තැන දී ඇති බවයි.
බොහෝ දෙනෙක් මියගිය පුද්ගලයා වෙනුවෙන් පින්කම් සිදුකිරීමේදී හත්වැනි දවස ගණනය කරන්නේ වැරදි ආකාරයටය. සමාජ සම්මතයන්ගේ හෝ ලාභ ප්‍රයෝජන තකා කටයුතු කරන බාහිර පුද්ගලයන්ගේ බලපෑම මත, මියගිය දිනයේ සිට හත්වැනි දවස වන විට දානමය පින්කම් කෙසේ හෝ අවසන් කිරීමට බොහෝ දෙනා උත්සාහ කරති. ඇතැම් විට පස්වැනි දවසේ බණ කියා හයවැනි දවසේ දානය දෙන අවස්ථා ද දක්නට ලැබේ. නමුත් ධර්මානුකූලව බලන කල නිවැරදිම ක්‍රමය වන්නේ හත් දවසක් සම්පූර්ණයෙන් ඉක්ම ගිය තැන, එනම් අටවැනි දවසේ බණ කියා නවවැනි දවසේ දානය දීමයි.
මීට හේතුව සසරේ පවතින සැබෑ ස්වභාවයයි. ධර්මාශෝක වැනි මහා අධිරාජයකු පවා මියගිය පසු තමන් කළ අකුසල චේතනාවක් හේතුවෙන් දින හතක් තිරිසන් ලෝකයේ පිඹුරකු වී ඉපදී සිට, අටවැනි දවසේ සුගතියට පැමිණි බව ධර්මයේ සඳහන් වේ. එමෙන්ම මල්ලිකා දේවිය ද දින හතක් නරකයේ දුක් විඳ අටවැනි දවසේ තුසිත දෙව්ලොව උපන්නාය. අපේ ඥාතීන් ද මරණයෙන් පසු මෙවැනි දුගතිගාමී තත්ත්වයකට පත් වුවහොත්, ඔවුන්ට පින් අනුමෝදන් වීමට හැකි වන්නේ එම අපලදායක කාල සීමාව ඉක්ම වූ පසුවය. එම නිසා, මරණය සිදු වූ සැනින් කලබල වී නිවෙස අස්පස් කිරීමට හෝ උත්සව සිරිතන් කටයුතු කිරීමට වඩා, තම ඥාතියාට සැබවින්ම සෙතක් සැලසීමේ පිරිසුදු චේතනාවෙන් නිසි කලට පින්කම් සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ, රජවරුන්ගේ මනාව සරසන ලද රාජකීය රථ පවා කලක් යද්දී දිරාපත් වන බවත්, අපගේ මේ රූපකාය ද ජරාවට පත්ව විනාශ වන බවත්ය. ලෝකයේ පණ ඇති සහ පණ නැති සියලු සංස්කාරයන් උප්පාද (හටගැනීම), තිථි (පැවතීම) සහ භංග (විනාශ වීම) යන ත්‍රිවිධ ස්වභාවයන්ට යටත් වේ. එහෙත්, “සතංච ධම්මෝන ජරං උපේති” යන බුදු වදනට අනුව, සත්පුරුෂයන්ගේ සද්ධර්මය කිසිලෙසකත් දිරාපත් නොවේ. ධර්මය යනු සදාතනික වූ පරම සත්‍යයකි. ලෝකයට බුදුවරයකු පහළ වන්නේ ද කාලයාගේ ඇවෑමෙන් වැසී යන, යටපත් වී යන මෙම සදාතනික ධර්මය නැවත මතු කර ලෝකයාට පෙන්වා දීම පිණිසය.
ධර්මය යනු කිසිවිටෙකත් යමකුට දඬුවම් කරන හෝ වෛරය පිරිමසන ආයුධයක් නොවේ. අවාසනාවකට මෙන් අද සමාජයේ ඇතැම්හු තමන් අකමැති පුද්ගලයන් මියගිය විට, ඔවුන් අපායටම යනු ඇතැයි පවසමින් සතුටු වෙති. නමුත් සැබෑ ධර්මය වන්නේ තමන්ට වෛර කරන්නාට පවා මෛත්‍රිය දැක්වීමයි. කාතියානි නම් කාන්තාවගේ පුවත මෙහිදී කදිම උදාහරණයකි. තමන්ව නිෙවසින් පන්නා දැමූ පුතාට සහ ලේලියට සැප ලැබෙන දැඩි කනස්සල්ලෙන් සිතුවාය. නමුත් ශක්‍ර දේවේන්ද්‍රයා ඇයට වටහා දුන්නේ තමන්ට වෛර කරන්නන්ට පවා වෛර නොකිරීම සහ මෙත් වැඩීම සැබෑ ධර්මය වන බවයි.
මල්ලිකා දේවිය යනු බුදු සසුනේ අසදෘශ මහා දානය පවා පූජා කළ, අප්‍රමාණ පින්කම් සිදු කළ මහා පින්වන්තියකි. එහෙත් ඇය තම ජීවිතයේ සිදු වූ එක් සුළු වැරැද්දක් සහ ඒ පිළිබඳව ස්වාමියාට පැවසූ බොරුවක් නිසා ජීවිතයේ අවසාන කාලයේ දැඩි ලෙස පසුතැවුණාය. ඇය ජීවිත කාලය පුරා අසීමිත ලෙස පින්කම් සිදු කළත්, මරණාසන්න මොහොතේ සිහිපත් වූ එම පසුතැවීම නම් වූ අකුසල චේතනාව නිසා දින හතක් අවීචි මහා නරකයේ ඉපදීමට ඇයට සිදු විය.
ධර්මානුකූලව බලන විට, පසුතැවීම (කුක්කුච්චය) යනු සිත දවාලන භයානක අකුසලයකි. මනුෂ්‍යයන් අතින් වැරදි සිදුවීම ස්වභාවිකය. යම් වැරැද්දක් සිදු වූයේ නම්, ඒ පිළිබඳව නැවත නැවත සිතමින් පසුතැවෙනවා වෙනුවට, “ආයති සංවරය” හෙවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොකරන බවට දැඩි ලෙස අධිෂ්ඨාන කර ගැනීම ධර්මානුකූල පිළිවෙතයි. ඒරකපත්ත නාග රාජයාගේ පුවතින් ද පැහැදිලි වන්නේ, බෝට්ටුවක යන විට තණකොළ ගසක් කැඩීම වැනි සුළු ඇවතක් පිළිබඳව වුව ද දැඩි ලෙස පසුතැවීම සුගතිගාමී වීමට බාධාවක් වන ආකාරයයි.
අප මහත් අභිමානයෙන් මමත්වයෙන් රැකබලා ගන්නා මේ ශරීරය, සැබවින්ම සතර මහා ධාතූන්ගෙන් සැදුම්ලත්, අනුන්ගෙන් ණයට ගත් ඇඳුමක් වැනි තාවකාලික දෙයකි. මංගල උත්සවයකට හෝ වෙනත් උත්සවයකට අනුන්ගෙන් ඇඳුම් ආයිත්තම් සහ යාන වාහන ඉල්ලාගෙන ගොස්, ඒවා තමන්ගේම යැයි සිතා මානයෙන් උදම් වන පුද්ගලයෙකු සේ, අප ද මේ ශරීරය “මගේය, මම වෙමි” යන මමත්වයෙන් දැඩිව අල්ලාගෙන සිටිමු. නමුත් මරණය නම් වූ නියත අවසානයේදී ස්වභාවධර්මය (නියම අයිතිකරුවන්) තමන්ගේ කොටස් නැවත පවරා ගනී. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතූන් වෙන් වී ගිය පසු අවසානයේ ඉතිරි වන්නේ පොළොවට දිරා යන, සතෙකුටවත් වැඩක් නැති නිසරු දර කඳක් වැනි ශරීරයකි.
එබැවින්, ශරීරයේ පණ ඇති කාලය තුළ, විඤ්ඤාණය අවදිව පවතින කාලය තුළ ධර්මයේ හැසිරීම අත්‍යවශ්‍ය වේ. භෞතික සම්පත් සියල්ල මෙලොව දමා ගියත්, අප රැස් කරගන්නා ධර්ම ශක්තිය සහ කුසල් පමණක් සංසාර මඟ පුරා අප පසුපස පැමිණේ. මියගිය ඥාතීන්ට පින් දීමේදී ද හුදු සාම්ප්‍රදායික චාරිත්‍රයකට පමණක් සීමා නොවී, ලෝකයේ යථාර්ථය වටහාගෙන, අවබෝධයෙන් යුතුව පින්කම් සිදු කිරීමෙන් ඔවුන්ට මෙන්ම අපට ද මෙලොව පරලොව උභයලෝකාර්ථය සලසා ගත හැකිය. සැබෑ ධර්මය කිසිදා දිරන්නේ නැත. එය ජීවිතයට ගලපා ගන්නා පුද්ගලයා සසර මඟ තුළ කිසිදා අතරමං වන්නේ ද නැත.
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
