Monday, June 1, 2026
Epaper
Home Highlightsලේ නහර තුළ සැඟවුණු අභියෝගය

ලේ නහර තුළ සැඟවුණු අභියෝගය

හදවතේ රිද්මය රැකගන්නා කොලෙස්ටරෝල් පාලනය

by Shanaka Lakehouse

නූතන ජීවන රටාවේ කාර්යබහුලත්වයත් සමඟ අප බොහෝ දෙනකුගේ සෞඛ්‍ය පුරුදු කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතී. අප ලබාගන්නා ආහාර වේලෙහි පෝෂණයට වඩා එහි රසය සහ පහසුව ගැන සිතීමට අප පුරුදු වී සිටියද, අප නොදැනුවත්වම රුධිරයේ මේද මට්ටම ඉහළ යාම හේතුවෙන් සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලියට විවිධ බාධා එල්ල විය හැකිය. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම හෘද සෞඛ්‍යයට සෘජු බලපෑමක් එල්ල කරන සාධකයක් වන බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වර්තමානයට අත්‍යවශ්‍ය කර්තව්‍යයකි. විශේෂයෙන්ම නිසි වෛද්‍ය පරීක්ෂණ සහ දැනුවත්භාවය තුළින් රුධිරයේ මේද මට්ටම සමතුලිතව පවත්වා ගැනීම දිගුකාලීන නීරෝගිභාවයට මඟ පාදන්නකි.

බොහෝ දෙනා සිතන්නේ කොලෙස්ටරෝල් යනු සිරුරට අහිතකරම දෙයක් කියාය. නමුත් සත්‍යය එය නොවේ. අපේ සිරුරේ සෛල පටල නිර්මාණය කිරීමට, හෝමෝන නිපදවීමට සහ ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිපදවීමට කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වේ. ගැටලුව පැන නඟින්නේ එහි සමතුලිතතාවය බිඳී ගිය විටය. රුධිරයේ පාවෙන මේ මේද අංශු ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. එකක් HDL හෙවත් “හොඳ කොලෙස්ටරෝල්” ය. අනෙක LDL හෙවත් “නරක කොලෙස්ටරෝල්” ය. හොඳ කොලෙස්ටරෝල් විසින් රුධිර නාළ පිරිසුදු කරමින් අහිතකර මේදය අක්මාව වෙත රැගෙන යන අතර, නරක කොලෙස්ටරෝල් කරන්නේ රුධිර නාළ බිත්තිවල තැන්පත් වී ඒවා පටු කිරීමයි. මෙය හරියට නළයක් ඇතුළත පාසි බැඳී ජලය ගලා යාම අවහිර වනවා වැනි ක්‍රියාවලියකි. කාලයත් සමඟ මෙම අවහිරතාවය හෘදයාබාධයක් හෝ අංශභාගය දක්වා වර්ධනය විය හැකිය.

බොහෝ දෙනෙක් සිතන්නේ පොල් සහ බටර් ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුවක් කියාය. නමුත් වෛද්‍ය විද්‍යාත්මක සත්‍යය නම්, ස්වභාවික පොල් සහ එළකිරිවලින් නිපදවන පිරිසුදු බටර් මඟින් ඇඟේ HDL හෙවත් හොඳ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන බවයි. එමෙන්ම පිරිසුදු, හොඳ පොල්තෙල්වලින් කොලෙස්ටරෝල් ඇති වන්නේ නැත. පොල්තෙල් ශරීරයට අහිතකර වන්නේ එකම තෙල් කීපවිටක් පාවිච්චියට ගැනීමෙන් සහ අධික විදිහට රත් කිරීමෙන් පමණි. අද වන විට ලාංකීය සමාජය තුළ කොලෙස්ටරෝල් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපේ වැරදි ආහාර රටාවයි. ගැඹුරු තෙලේ බැදපු මස් වර්ග, පීසා, සොසේජස් සහ බේකරි නිෂ්පාදනවල අඩංගු ‘ට්‍රාන්ස් මේදය’ අපේ සිරුරට දහනය කිරීමට අපහසුය. විශේෂයෙන්ම නිතර නිතර රත් කරන තෙල් භාවිතයෙන් පිසින ආහාර සහ සැකසූ ආහාර නරක කොලෙස්ටරෝල් මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ නංවයි.

කොලෙස්ටරෝල් පාලනය කිරීම යනු කුසගින්නේ සිටීම නොව, එය බුද්ධිමත් ලෙස ආහාර සහ කුළුබඩු තෝරා ගැනීමකි. අපේ පැරණි මුළුතැන්ගෙයි තිබෙන වටිනාම ඔසු සහ කුළුබඩු වර්ග වන කරපිංචා, ගොරකා, සුදුලූනු, කුරුඳු, උළුහාල් මෙන්ම සූදුරු සහ මහදුරු වැනි දුරු වර්ගවලට රුධිරයේ පවතින නරක කොලෙස්ටරෝල් මට්ටම සාර්ථකව අඩු කිරීමේ පුදුමාකාර හැකියාවක් පවතී. මීට අමතරව තන්තු හෙවත් කෙඳි සහිත ආහාර මඟින් රුධිරයට මේදය උරා ගැනීම වළක්වයි. මේ සඳහා ඔබේ කෑම පිඟාන වර්ණවත් කරගැනීම වැදගත්ය. රතු, කොළ, කහ පැහැති එළවළු සහ පලතුරු වැඩිපුර එක් කරගන්න. විශේෂයෙන්ම ඕට්ස් සහ කුරක්කන් වැනි ධාන්‍ය වර්ගවල අඩංගු ද්‍රාව්‍ය කෙඳි නරක කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළීමට සමත් වේ. පලා වර්ග සිරුර පිරිසුදු කරන ස්වභාවික ‘දැල්’ ලෙස ක්‍රියා කරන අතර, රටකජු හෝ කජු වැනි ඇට වර්ග ස්වල්පයක් දිනපතා ආහාරයට ගැනීමෙන් හොඳ කොලෙස්ටරෝල් මට්ටම තවත් ඉහළ නංවා ගත හැකිය.

ආහාර පාලනයෙන් පමණක් කොලෙස්ටරෝල් සටන ජයගත නොහැකිය. ඊට සමගාමීව ක්‍රියාශීලී ජීවන රටාවක් ද තිබිය යුතුය. අද බොහෝ දෙනකුගේ රැකියා ස්වභාවය පවතින්නේ එකම තැනක වාඩි වී සිටින අකර්මණ්‍ය ස්වරූපයකිනි. මෙහි ප්‍රතිඵලය වන්නේ ශරීරයට ලැබෙන කැලරි දහනය නොවී මේදය ලෙස තැන්පත් වීමයි. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් වත් වේගයෙන් ඇවිදීම, පිහිනීම හෝ යෝග ව්‍යායාමවල නිරත වීම අත්‍යවශ්‍ය වේ. ව්‍යායාම කිරීමේදී සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් වන අතර, එය රුධිර නාළ බිත්තිවල මේදය තැන්පත් වීම වළක්වයි. ස්ථුලතාවය පාලනය කර ගැනීම කොලෙස්ටරෝල් පාලනයේ රන්මය රීතියයි.

පුදුමයකට මෙන්, ඔබ පසුවන මානසික ආතතිය ද ඔබේ කොලෙස්ටරෝල් මට්ටමට බලපාන බව වෛද්‍ය විද්‍යාවේදී තහවුරු වී ඇත. දීර්ඝකාලීන මානසික පීඩනයක සිටින විට සිරුරේ ‘කෝටිසෝල්’ වැනි හෝමෝන නිපදවේ. මෙම හෝමෝන මඟින් රුධිරයේ සීනි සහ මේදය ඉහළ නැංවීමට උත්තේජනයක් සපයයි. එබැවින් සිත සැහැල්ලුවෙන් තබා ගැනීම, ප්‍රමාණවත් නින්දක් ලැබීම සහ විනෝදාංශවල නිරත වීම ද නීරෝගි ජීවිතයකට අඩිතාලමකි. කොලෙස්ටරෝල් වැඩි වූ විට ශරීරය බාහිරින් රෝග ලක්ෂණ පෙන්වන්නේ ඉතා අඩුවෙනි. ඇතැම් විට බෙල්ලේ කැක්කුම, අධික විඩාව හෝ පපුවේ සුළු අපහසුවක් දැනෙන විට තත්ත්වය සංකීර්ණ වී තිබිය හැකිය. එබැවින් වයස අවුරුදු 30 ඉක්මවූ පසු වසරකට වරක්වත් රුධිර පරීක්ෂණයක් මඟින් ඔබේ මේද මට්ටම පරීක්ෂා කර ගැනීම නුවණට හුරුය.

අප ජීවත් වන්නේ වරක් පමණි. ඒ ජීවිතය රෝග පීඩාවලින් තොරව, සතුටින් ගත කිරීමට නම් අපේ සිරුරට අප ආදරය කළ යුතුය. ඔබේ දිව පිනවන රසවත් නමුත් අහිතකර ආහාර වේලකට වඩා, ඔබේ හදවත සුරකින ගුණදායක දේශීය ආහාර වේලක් තෝරා ගැනීම වීරකමකි. අදම තීරණය කරන්න. පඩිපෙළ වෙනුවට විදුලි සෝපානය තෝරා ගැනීම නතර කරන්න. සීනි සහ නැවත නැවත රත් කළ තෙල් අධික කෑමට “එපා” කියන්නට පුරුදු වන්න. මතක තබා ගන්න, ඔබ අද ගන්නා කුඩා පියවරක්, හෙට දිනයේ ඔබේ ජීවිතය බේරා ගන්නා මහා පියවරක් වනු ඇත. නීරෝගි හදවතක් යනු සැබවින්ම මහා ධනයකි. එබැවින් අදම සෞඛ්‍ය සම්පන්න දිවියකට අඩිතාලම දමමු.

 

TEXT – අනූපමා මැන්ඩිස්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?