Monday, June 1, 2026
Epaper
Home Highlightsසයිබර් අවකාශයේ සැඟවුණු අන්තරාය

සයිබර් අවකාශයේ සැඟවුණු අන්තරාය

by Shanaka Lakehouse

විසිඑක් වන සියවසේ තාක්ෂණික විප්ලවයත් සමඟ මානව වර්ගයා අත්විඳින දැවැන්තම වෙනස වන්නේ ඩිජිටල්කරණයයි. අතීතයේ භෞතිකව සිදුකළ බොහෝ කාර්යයන් අද වන විට ඇඟිලි තුඩක ස්පර්ශයෙන් නිම කළ හැකිය. මෙහිදී ශ්‍රී ලාංකේය කාන්තාව ද ඩිජිටල් අවකාශය තුළ සක්‍රිය භූමිකාවක් නිරූපණය කරයි. අධ්‍යාපනය, ව්‍යවසායකත්වය මෙන්ම පවුලේ මූල්‍ය කළමනාකරණය දක්වා ඇය අන්තර්ජාලය සහ ස්මාර්ට් තාක්ෂණය භාවිත කරයි. එහෙත්, මේ පහසුව සමඟම “සයිබර් අපරාධ” නමැති අඳුරු සෙවණැල්ලක් පසුපස හඹා එමින් තිබේ. විශේෂයෙන්ම බැංකු පද්ධතිය ආශ්‍රිතව සිදුවන සූක්ෂ්ම මූල්‍ය වංචා අද වන විට බරපතළ සමාජ ගැටලුවක් බවට පත්ව ඇත.

අතීතයේ බැංකු පොතක් රැගෙන පෝලිම්වල සිටි යුගය අවසන් වී, අද වන විට ‘ජංගම බැංකුකරණය’ සහ ‘අන්තර්ජාල බැංකුකරණය’ ජනප්‍රිය වී ඇත. කාන්තාවන්ට නිවෙසේ සිටම ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමටත්, භාණ්ඩ මිල දී ගැනීමටත් මෙය මහත් පහසුවකි. නමුත් මෙහි අවදානම ඉතා වැඩිය. එනම්, පාරිභෝගිකයා සහ බැංකුව අතර ඇති මෙම ඝෘජු සම්බන්ධතාව මැදට තුන්වන පාර්ශ්වයක් ලෙස හැකර්වරුන් පැමිණේ. ඔවුන් බැංකු පද්ධතියේ දුර්වලතා සොයනවාට වඩා, පාරිභෝගිකයාගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගැනීමට වැඩි උත්සාහයක් දරයි.

බැංකු ගිණුම් ඉලක්ක කරගත් ප්‍රධාන සයිබර් ප්‍රහාර කිහිපයක් පවතී. එනම්,

Phishing සහ Smishing: වංචා වර්තමානයේ බහුලවම දක්නට ලැබෙන ක්‍රමයයි. අපරාධකරුවන් බැංකුවේ නිල පෙනුමට සමාන ව්‍යාජ ඊමේල් හෝ කෙටි පණිවිඩ එවනු ලබයි.

උදාහරණ: “ඔබේ බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත. එය යාවත්කාලීන කිරීමට මෙම සබැඳිය (Link) ක්ලික් කරන්න.”

මෙම ලින්ක් එක ක්ලික් කළ විට ඔබ යොමු වන්නේ බැංකු වෙබ් අඩවියට සමාන ව්‍යාජ අඩවියකටය. එහි ඔබ ඇතුළත් කරන ‘Username’ සහ ‘Password’ සැණින් අපරාධකරු අතට පත් වේ. එසේම එමඟින් ඔබේ මුදල් ඔවුන් අතට පත් වේ.

Vishing (Voice Phishing): මෙහිදී සිදු වන්නේ දුරකතන ඇමතුම් මඟින් රවටා තොරතුරු ලබා ගැනීමයි. බැංකු නිලධාරියෙකු ලෙස පෙනී සිටින පුද්ගලයා ඉතා කාරුණිකව කතා කරමින්, ඔබගේ ගිණුමේ දෝෂයක් නිවැරදි කිරීමටයැයි පවසමින් OTP අංකය ඉල්ලා සිටියි. එය ලබා දුන් වහාම ඔබේ ගිණුමේ තොරතුරු ඔවුන් සතු වේ. එය කිසිම කෙනෙකුට ලබා නොදීමට කටයුතු කරන්න. එය කිසිවෙකුට ලබා නොදිය යුතු රහස් සංකේතයකි.

ATM Skimming: යනු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල කාඩ්පත ඇතුළු කරන ස්ථානයට සවි කරන කුඩා උපාංග මඟින් ඔබගේ කාඩ්පතේ දත්ත පිටපත් කරගනු ලැබීමයි. පසුව ව්‍යාජ

කාඩ්පතක් සකසා ඔබගේ ගිණුමේ මුදල් සොරකම් කරනු ලැබේ.

කාන්තාවන් සයිබර් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඇයි?

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ සයිබර් අපරාධකරුවන් බොහෝ විට කාන්තාවන් ඉලක්ක කරගන්නේ ඔවුන් වඩාත් විශ්වාසවන්ත සහ ඇතැම් විට තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ අඩු අවධානයක් දක්වන පිරිසක් ලෙස සලකාගෙනයි.

ව්‍යවසායිකාවන්

අන්තර්ජාලය හරහා කුඩා පරිමාණ ව්‍යාපාර කරන කාන්තාවන්ගේ මූල්‍ය දත්ත සහ පාරිභෝගික දත්ත සොරාගැනීම ඔවුන්ගේ ව්‍යාපාරයට මාරාන්තික පහරක් විය හැකිය.

සමාජ මාධ්‍ය භාවිතය

කාන්තාවන් වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන අතර, එහි පළ කරන පෞද්ගලික තොරතුරු (උදා: උපන්දිනය, දරුවන්ගේ නම්, රැකියා ස්ථානය) මුරපද අනුමාන කිරීමට හැකර්වරුන් උපයෝගී කර ගනී.

බැංකු ගිණුම් ආරක්ෂා කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග

මුරපද භාවිතය

සෑම විටම ඔබගේ නම, දුරකතන අංකය හෝ උපන්දිනය මුරපදය ලෙස යෙදීමෙන් වළකින්න. අකුරු (Capital/Simple), ඉලක්කම් සහ විශේෂ සංකේත (උදා: #, @, $, %) මිශ්‍ර කර අවම වශයෙන් අක්ෂර 12ක මුරපදයක් භාවිත කරන්න.

ද්විත්ව සත්‍යාපනය

ඔබගේ ගිණුමට ඇතුළු වීමේදී අතිරේක ආරක්ෂක පියවරක් ලෙස මෙය සක්‍රිය කරන්න. එවිට යමෙකු ඔබගේ මුරපදය දැනගත්ත ද, ඔබගේ දුරකතනයට ලැබෙන OTP අංකය නොමැතිව ඔහුට ගිණුමට ඇතුළු විය නොහැකිය.

පොදු Wi-Fi ජාලවලින් වැළකීම

ඔබ බැංකු කටයුතු සිදු කරන්නේ නම් කිසිවිටෙකත් පොදු ස්ථානවල ඇති ‘Free Wi-Fi’ භාවිත නොකරන්න. පොදු ස්ථානවල ඇති ‘Free Wi-Fi’ භාවිත කිරීමෙන් ඔබේ තොරතුරු ඔවුන් සතු වීමටද හැකිය. එම නිසා පෞද්ගලික දත්ත පැකේජයක් භාවිත කිරීම සැමවිටම ආරක්ෂිතය.

සයිබර් ආරක්ෂාව යනු මුදල් ආරක්ෂා කර ගැනීම පමණක් නොවේ. කාන්තාවකගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කර ගැනීම ද මෙයට අයත් වේ.

ඡායාරූප පළ කිරීම

ඔබගේ පෞද්ගලික ඡායාරූප අවභාවිත කර ‘Deepfake’ වැනි තාක්ෂණයන් හරහා අසභ්‍ය වීඩියෝ නිර්මාණය කිරීමට අපරාධකරුවන්ට හැකියාව ඇත. එබැවින් ඡායාරූප පළ කිරීමේදී ‘Privacy Settings’ යොදා ඒවා දැකිය හැක්කේ කාටද යන්න පාලනය කරන්න.

නාඳුනන මිතුරු ඇරියුම්

අන්තර්ජාලය හරහා හඳුනාගන්නා පුද්ගලයන් සමඟ ඔබේ මූල්‍ය තත්ත්වය හෝ පවුලේ තොරතුරු බෙදා නොගන්න.

ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ මැඬලීමට විධිමත් පද්ධතියක් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තාක්ෂණික සහය ලබා ගැනීමට සහ මූල්‍ය වංචා වාර්තා කිරීමට ප්‍රධානම ආයතනය මෙයයි.

සයිබර් අපරාධ විමර්ශන ඒකකය

මෙහි කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වේ.

බැංකු ඔම්බුඩ්ස්මන්

බැංකුවක් සමඟ ඇතිවන ගැටලුවලදී පාරිභෝගිකයාට මෙහි සහය පැතිය හැකිය.

සයිබර් ආරක්ෂාව යනු එක් දිනකදී අවසන් කළ හැකි කාර්යයක් නොව, එය නිරන්තර අවධානයෙන් සිටිය යුතු ක්‍රියාවලියකි. කාන්තාවන් ලෙස ඔබ තාක්ෂණය වැළඳගන්නා අතරම, එහි ඇති අනතුරු පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යය. ඔබගේ දත්ත යනු ඔබගේ වත්කමයි. එය ආරක්ෂා කර ගැනීම තුළින් ඔබට නිර්භයව සහ නිදහසේ ඩිජිටල් ලෝකය ජය ගැනීමට හැකි වනු ඇත.

 

TEXT – පවනි උමේෂා කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?