Saturday, June 13, 2026
Epaper
Home Highlightsපළමු පඩියෙන් කැඳවූ මරණය

පළමු පඩියෙන් කැඳවූ මරණය

by Shanaka Lakehouse

යෞවන වියට එළඹ, තම කුලුඳුල් රැකියාවෙන් ලද පළමු පඩියෙන් තමන්ගේ එකම සිහිනය වූ මෝටර් බයිසිකලය ගත් ඔහු, ඒ සිහිනයත් සමඟම තම ජීවිතයද රැගෙන යන්නට ගියා. මවුපියන්ගේ සිහින සැබෑ කිරීමට සිටි ඒ එකම පුතු, අවුරුදු 20ක් වත් සපිරෙන්නට පෙර ජීවිතයෙන් සමුගත්තේ රැකියාවට ගොස් ලැබුණු පළමු පඩියෙන් ඒ යකඩ හීනය සැබෑ කරගෙන නිවෙසට එන අතරතුරයි. ඒ නොහික්මුණු තරුණ සිත, මත්වතුරද තොලගා යතුරුපැදියට නැංගේ මරුවාද පසුපසින් වාඩි කරවාගෙනයි.

එපමණක්ද නොව, දින කිහිපයකට පෙර තවමත් අවුරුදු 18 වත් නොඉක්මවූ දරුවන්ගේ ඛේදනීය මරණ කිහිපයක්ම වාර්තා වූයේ යතුරුපැදියෙන් තනිරෝද සෙල්ලම් පාන්නට ගොසිනි.

ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු දත්ත දෙස බැලීමේදී මේ තත්ත්වයේ ඇති බරපතළකම මනාව පැහැදිලි වෙනවා. පොලිස් වාර්තාවලට අනුව වාර්ෂිකව සිදුවන රිය අනතුරු මරණ තුන්දහසකට අධික සංඛ්‍යාවකින් බහුතරයක්, එනම් 70%කට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අනතුරුයි. මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් යතුරුපැදි අනතුරු නිසා තරුණ ජීවිත සිය ගණනක් මහමඟ අවසන් ගමන් ගොස් තිබෙනවා. වේගය, අත්දැකීම් අඩුකම, හිස්වැසුම් නිසිලෙස නොපැලඳීම සහ මත්ද්‍රව්‍ය භාවිතය මේ ඛේදවාචකයේ ප්‍රධානතම සාධක වී අවසන්. මරණය කැඳවන මේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම අද මුළු මහත් සමාජයකටම පිළිලයක් වී තිබෙනවා.

දැඩි සත්කාර ඒකක තුළ ජීවිතයත් මරණයත් අතර සටන් කරන මෙවැනි තරුණ දරුවන්ගේ ඛේදවාචකයන් දකින විට, මේ අනතුරුවල ඇති භයානක කම තවත් තීව්‍ර වෙනවා. යතුරුපැදි අනතුරකදී බොහෝවිට සිදු වන්නේ සිරුරේ වැදගත්ම පද්ධතියක් වන ස්නායු පද්ධතියට සහ හිසට දැඩි හානි සිදු වීමයි. වෛද්‍යවරයකුගේ නිගමනයට අනුව, මෙමඟින් සිරුරේ සුෂුම්නාව සහ ස්නායු නාළය බිඳී යාමෙන් මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය බිඳවැටෙන්නේ පවුලේ සාමාජිකයකුට මෙන්ම මුළු මහත් සමාජයටම දැඩි බලපෑමක් එල්ල කරමිනි. සිරුරේ ක්‍රියාකාරීත්වය අඩාළ කරන මෙවැනි අනතුරු නිසා ජීවිත කාලයම අඳුරේ වැතිරෙන්නට සිදු වේ.

හිසට සහ මොළයට සිදුවන බරපතල අනතුරු (Traumatic Brain Injuries – TBI)

ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව හෝ ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් පැලඳීම නිසා අනතුරකදී මොළයට දැඩි හානි සිදුවිය හැකියි.

අභ්‍යන්තර රුධිර වහනය (Intracranial Hemorrhage)

හිස තදින් ගැටීම නිසා මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීම් සිදුවී මොළයේ පටක විනාශ වී සැණින් ක්ෂණික මරණ පවා සිදුවිය හැකියි.

හිස්කබල බිඳී යාම (Skull Fractures)

මොළය ආරක්ෂා කරන හිස්කබල බිඳී ගොස් මොළයට ඝෘජුවම හානි පැමිණීම.

මෙවැනි තත්ත්වයන් නිසා ඇතැම්විට රෝගියා සම්පූර්ණයෙන්ම කෝමා තත්ත්වයට පත්විය හැකියි. නැත්නම් ජීවිත කාලය පුරාවටම අපස්මාරය, කතා කිරීමේ අපහසුතා, සහ මතක ශක්තිය හීන වීම වැනි ආබාධ සමඟ ජීවත් වීමට සිදු වෙනවා.

ස්නායු පද්ධතියට සහ කොඳුඇට පෙළට සිදුවන හානි (Spinal Cord Injuries)

වේගයෙන් විසිවී ගොස් කොඳුඇට පෙළට දැඩි පහරක් එල්ල වූ විට, එහි ඇති ස්නායු වලට දැඩි හානි සිදු වෙනවා.

අංශභාගය (Paralysis)

ස්නායුවලට වන හානියේ ස්වභාවය අනුව අනතුර වූ ස්ථානයෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික විය හැකියි.

ජීවිතයේ සුන්දරම කාලය ගත කරන්නට සිටින තරුණ දරුවෙකුට මුළු ජීවිත කාලයම රෝද පුටුවකට හෝ ඇඳකට සීමා වී, මලපහ මූත්‍රා පිටකිරීම පවා අනුන්ගේ වාරුවෙන් කිරීමට සිදුවීම කොතරම් ඛේදවාචකයක්ද? යතුරුපැදි පැදවීමේ මෙවැනි අන්තරාදායක ක්‍රියාවල නියැළීමෙන් අවසානයේ ඉතිරි වන්නේ වේදනාව පමණි.

යකඩ හීනයක් වෙනුවෙන් ඔබේ වටිනා ජීවිතය පරදුවට තබනවාද? මත්වතුර බී, හෙල්මට් එක නිකටේ දාගෙන, මහමඟ වීරයෙක් වෙන්නට ගොස් අවසානයේ රෝද පුටුවකට සීමා වෙන්නට හෝ අකාලයේ නිවී යන්නට ඉඩ නොදෙන්න.

ඔබේ නි‍ෙවසේ, පවුලේ, හෝ හිතමිතුරන් අතරෙත් මෙවැනි යතුරුපැදි සිහින දකින, වේගයට ආදරය කරන තරුණ දරුවන් සිටිනවාද? මේ වේදනාව ගැන ඔබ හිතන්නේ කුමක්ද? මේ වගේ දෙයක් ඔබේ දරුවාට සිදු වුවහොත් එය දරාගන්න හැකියාවක් තියේවිද?

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?