රෝද හතරක් හෝ දෙකක් මත වේගයෙන් ඉදිරියට ඇදෙන නූතන සමාජයේ අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන කනගාටුදායකම පුවතක් වන්නේ මාරක රිය අනතුරු පිළිබඳවයි. නිෙවසින් පිටත්ව යන ආදරණීයයන් නැවත නිවෙස වෙත නොපැමිණෙන තරමටම අද මහා මාර්ග මර උගුල් බවට පත්ව ඇත. නොසැලකිලිමත්කම සහ නොඉවසීම හේතුවෙන් දිනකට අහිමි වන වටිනා මිනිස් ජීවිත ප්‍රමාණය සුළුපටු නොවේ. බොහෝ අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ ඒවා හදිසියේ සිදුවන දේට වඩා, මිනිස් වැරදි නිසා සිදුවන, පාලනය කරගත හැකිව තිබූ ඛේදවාචකයන් බවයි. අධික වේගය, මාර්ග නීති නොසලකා හැරීම සහ රිය පදවන අතරතුර දුරකතනය භාවිත කිරීම නිසා අවධානය ගිලිහී යාම මීට ප්‍රධාන හේතු වේ. විශේෂයෙන්ම වෙසක් වැනි ආගමික උත්සව සමයන්හිදී මේ තත්ත්වය වඩාත් දරුණු ලෙස කැපී පෙනේ. තොරණ, දන්සල් සහ වෙසක් පහන් කූඩු නැරඹීම සඳහා රට පුරා විශාල ජනතාවක් වීදි බැස සිටින මෙවැනි වටිනා කාලවකවානුවලදී, ඇතැම් වගකීම් විරහිත යතුරුපැදිකරුවන් හැසිරෙන්නේ ඉතාමත් නොහික්මුණු ආකාරයකටයි. අධික ලෙස මත්පැන් පානය කර, හිස්වැසුම් පවා නොමැතිව, අධික වේගයෙන් සහ අන්තරායකර ලෙස යතුරුපැදි ධාවනය කරන මෙවැනි පිරිස් තමන්ගේ ජීවිත පමණක් නොව මාර්ගයේ ගමන් කරන අහිංසක මහජනතාව ද දරුණු අනතුරුවලට ඇද දමති.
තරුණ පිරිස් අතර පවතින මෙම අනාරක්ෂිත තරගකාරී ධාවන විලාසය නිසා, පාරේ ගමන් කරන පදිකයන් සහ අනෙකුත් විනයගරුක රියදුරන් දැඩි අපහසුතාවටත් බියටත් පත් වේ. හදිසි අනතුරකින් යමකුට ජීවිතය අහිමි වීම හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීම එම පුද්ගලයාට පමණක් සීමා වන්නක් නොවේ. පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා හෝ දක්ෂතම සාමාජිකයකුට මෙවැනි විපතක් වූ විට මුළු පවුලම අසරණ වේ. මවකගේ, පියකුගේ හෝ ආදරණීය බිරියකගේ ලෝකය එක සැණින් කඩා වැටේ. වෛද්‍යවරයකුගේ සාත්තුවෙන් පවා සුව කළ නොහැකි ලෙස ශරීරයේ පවතින ප්‍රධාන ස්නායු පද්ධතියක් වන සුෂුම්නාව වැනි සංවේදී කොටස්වලට හානි සිදු වූ විට, එම පුද්ගලයා සදාකාලිකවම ඇඳකට සීමා වේ. මේ නිසා පවුල් සංස්ථාව මෙන්ම රටේ ආර්ථිකය ද දරුණු ලෙස අඩාළ වේ.
අකාලයේ මිය යන ජීවිත බේරා ගැනීම සඳහා නිවැරදි මාර්ග සංස්කෘතියක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය වේ. වාහනයේ තිරිංග සහ ටයර් පද්ධති පිරිසුදුව හා නිසි පරිදි පවත්වා ගැනීම මෙන්ම, මාර්ගයේදී අනෙක් පාර්ශ්වයට ප්‍රමුඛතාව දීමට තරම් ඉවසීමක් ප්‍රගුණ කිරීම ඉතා වැදගත්ය. නීරෝගි සහ සාමකාමී සමාජයක් ගොඩනඟා ගැනීමට නම් අප සැමවිටම මාර්ගයේදී වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුය. අනතුරක් සිදුවූ පසු කාටවත් බැණ වැදීමෙන් හෝ පසුතැවීමෙන් පලක් නැත. මන්ද අහිමි වූ ජීවිතයක් නැවත ලබාගත නොහැකි බැවිනි. එබැවින්, “පමාවී හෝ ආරක්ෂිතව ගමනාන්තය වෙත ළඟා වීම” සැමට ගැළපෙන හොඳම ආදර්ශයයි. වගකීම් සහගත රිය ධාවනයෙන් අනතුරු අවම කර, අකාලයේ මිය යන වටිනා ජීවිත සුරැකීමට අදම අදිටන් කර ගනිමු.
