Monday, June 8, 2026
Epaper
Home Highlightsඔබේ දරුවා මීළඟ ගොදුර නොවන්නට

ඔබේ දරුවා මීළඟ ගොදුර නොවන්නට

පීඩෝෆීලියා ගැන අනිවාර්යයෙන්ම දැනගත යුතු දේ

by Shanaka Lakehouse

අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු සහ පුළුල් අවධානයක් යොමු විය යුතු මාතෘකාවක් ලෙස පීඩෝෆීලික් රෝගී තත්ත්වය/ Pedophilic Disorder හැඳින්විය හැකිය. මෙය අපරාධයක් ලෙස පමණක් නොව, විද්‍යාත්මකව සහ වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගත් මානසික සෞඛ්‍ය ගැටලුවක් ලෙස වටහා ගැනීම, දරුවන් අපයෝජනයෙන් බේරා ගැනීමට මෙන්ම අදාළ පුද්ගලයන් නිසි ප්‍රතිකාර වෙත යොමු කිරීමට ද අතිශයින් වැදගත් වේ.


මොකක්ද මේ පීඩෝෆීලියා කියලා කියන්නේ?

වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනයන්ට අනුව, පීඩෝෆීලියා යනු වැඩිවියට පත් නොවූ (බොහෝ විට වයස අවුරුදු 13ට අඩු) දරුවන් කෙරෙහි දැඩි, පුනරාවර්තන ලිංගික ආකර්ෂණයක්, මනඃකල්පිතයන් හෝ ලිංගික හැඟීම් ඇතිවීමේ මානසික තත්ත්වයකි.

මෙහිදී තේරුම් ගත යුතු ප්‍රධානතම කරුණක් තිබේ. එනම් රෝගය සහ අපරාධය අතර වෙනසයි.

යම් පුද්ගලයකුට දරුවන් කෙරෙහි මෙවැනි හැඟීම් ඇතිවීම මානසික රෝගී තත්ත්වයක් වුවද, එම හැඟීම් මත ක්‍රියාත්මක වී දරුවකුට ලිංගික අතවර කිරීම නීතිය ඉදිරියේ සමාව දිය නොහැකි බරපතළ අපරාධයකි.

මෙම තත්ත්වයෙන් පෙළෙන සෑම අයකුම ළමා අපයෝජකයින් නොවේ. ඇතැම් අය තමන්ට ඇතිවන මෙම අසාමාන්‍ය හැඟීම් හේතුවෙන් දැඩි මානසික පීඩාවකින් පසුවන අතර, කිසිදිනෙක දරුවකුට හානියක් නොකරති. නමුත් තවත් පිරිසක් එම හැඟීම් පාලනය කරගත නොහැකිව දරුවන් අපයෝජනයට ලක් කරති.

මෙම තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?

මෙය බාහිර ස්වරූපයෙන් හඳුනාගත හැකි තත්ත්වයක් නොවේ. එහෙත් පහත සඳහන් ලක්ෂණ හෝ හැසිරීම් තුළින් යම් ඉඟියක් ලබා ගත හැකිය.

වැඩිහිටියන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට වඩා දරුවන් සමඟ පමණක් ගැවසීමට ඇති අසාමාන්‍ය උනන්දුව.

අන්තර්ජාලය හරහා ළමා අසභ්‍ය දර්ශන (Child Pornography) සෙවීම හෝ ඒවා එක්රැස් කිරීම.

දරුවන්ගේ පෞද්ගලික සීමාවන් ඉක්මවා යමින් ඔවුන් ස්පර්ශ කිරීමට හෝ අනවශ්‍ය ලෙස සමීප වීමට උත්සාහ කිරීම.

ප්‍රතිකාර ක්‍රම

මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ඖෂධයක් නොමැති වුවද, එය සාර්ථකව පාලනය කරමින් සමාජයට හෝ දරුවන්ට හානියක් නොවන අයුරින් ජීවත් වීමට වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර ක්‍රම පවතී.

මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychotherapy): විශේෂයෙන්ම සංජානන චර්යාත්මක ප්‍රතිකාරය (CBT – Cognitive Behavioral Therapy) හරහා පුද්ගලයාගේ විකෘති වූ සිතුවිලි වෙනස් කිරීමට, හැඟීම් පාලනය කර ගැනීමට සහ දරුවන් කෙරෙහි ඇතිවන ආවේගයන් කළමනාකරණය කිරීමට උගන්වනු ලබයි.

ඖෂධීය ප්‍රතිකාර (Medications): ඇතැම් අවස්ථාවලදී ලිංගික ආශාවන් සහ ආවේගයන් අඩු කිරීම සඳහා ප්‍රති-අවපීඩක ඖෂධ (SSRIs) හෝ ලිංගික හෝමෝන පාලනය කරන ඖෂධ (Anti-androgens) වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ලබා දෙනු ලැබේ.

ප්‍රතිකාර සඳහා යොමු විය හැකි ස්ථාන සහ දුරකතන අංක

යම් පුද්ගලයකුට තමන් තුළ මෙවැනි පාලනය කරගත නොහැකි හැඟීම් පවතින බව වැටහේ නම් හෝ පවුලේ අයකු පිළිබඳව එලෙස සැකයක් පවතී නම්, අපරාධයක් සිදුවීමට පෙර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (National Mental Health Helpline)

දුරකතන අංකය: 1926 (පැය 24 පුරා ක්‍රියාත්මකයි. නිර්නාමිකව සහ රහස්‍යභාවය සුරකිමින් උපදෙස් ලබාගත හැකිය).

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) – අංගොඩ: මෙහි බාහිර රෝගී අංශයෙන් හෝ මනෝ වෛද්‍ය සායනවලින් විශේෂඥ උපදෙස් ලබාගත හැකිය.

රජයේ රෝහල්

දිවයිනේ ඕනෑම ශික්ෂණ රෝහලක (Teaching Hospital) හෝ මහ රෝහලක (General Hospital) ඇති මනෝ වෛද්‍ය සායන (Psychiatric Clinics) වෙත යොමු විය හැකිය.

අපයෝජනයක් සිදුවෙමින් පවතී නම් දැනුවත් කළ යුතු අංශ

රෝගයක් ලෙස ප්‍රතිකාර කිරීම එක් පසෙක තිබියදී, යම් පුද්ගලයකු දරුවකුට ලිංගිකව බලපෑම් කරන බවට හෝ අපයෝජනය කරන බවට ඔබ දන්නේ නම්, ඒ මොහොතේම ක්‍රියාත්මක වීම ඔබේ සමාජ වගකීමකි. ඒ සඳහා පහත ආයතන වහාම දැනුවත් කරන්න.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) ක්ෂණික ඇමතුම් අංකය – 1929 (පැය 24 පුරා ක්‍රියාත්මකයි, ඔබට ඔබේ අනන්‍යතාවය හෙළි නොකර වුවද පැමිණිලි කළ හැකිය).

ශ්‍රී ලංකා පොලීසිය

හදිසි ඇමතුම් අංකය: 119

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දුරකතන අංකය – 011 2444444 හෝ ඔබේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ අදාළ අංශය.

සමාජයක් ලෙස අප මෙවැනි තත්ත්වයන් හමුවේ ඇස් පියාගෙන නොසිටිය යුතුය. රෝගයක් වීම කිසිවිටෙකත් අපරාධයක් සාධාරණීකරණය කිරීමට හේතුවක් කරගත නොහැකිය.

නිසි දැනුවත්භාවය තුළින් අපට එක් පසෙකින් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි අතර, අනෙක් පසින් අදාළ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්වීමට පෙර ඔවුන්ව නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළ හැකිය.

අමතක කරන්න එපා.. මේ අපරාධයට ලක්වන දරුවා ඔබේ දරුවා නොවන තාක් ඔබට අනෙක් දරුවන් ගැන හැඟීමක් නොදැනේවි. නමුත් අපරාධකරුගේ මීළඟ ගොදුර ඔබගේ දරුවා වුවහොත්, ඔබ නඟන හඬ ඒ වන විටත් කිසිවකු නොඇසුණා සේ හිඳීනම් ඔබ ප්‍රමාද වැඩි බව ඔබට එදාට දැනේවි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?