Monday, June 8, 2026
Epaper
Home විශේෂාංගඅසූ දෙවැනි වියේ අවුරුදු කුමරිය සඳසීලි ප්‍රනාන්දු

අසූ දෙවැනි වියේ අවුරුදු කුමරිය සඳසීලි ප්‍රනාන්දු

by Shanaka Lakehouse

සඳවන් මුහුණක් හිමි ඇය සඳසීලි ප්‍රනාන්දු. මේ නම කලා ක්ෂේත්‍රය හා ළබැඳි කොයි කවුරුත් හොඳින් හඳුනයි. ඇය කුඩා කාලයේ පටන් රංගනයට, නර්තනයට, ගායනයට දක්ෂතා දැක්වූ අයෙකි. කන්ද උඩරටින් බිහි වූ මේ පංච කල්‍යාණිය ප්‍රියනාත් රත්නායක මියුසික් ඇකඩමිය මඟින් පවත්වන ලද 2026 වසරේ අවුරුදු උලෙළේ 65න් ඉහළ අවුරුදු කුමරිය ලෙස පසුගියදා අබිසස් ලැබීය.

“මම මහනුවර ගැටඹේ පුහුණු පාසලෙන් පහේ පන්තිය දක්වාම නර්තනය ඉගෙන ගත්තා. මගේ තාත්තා සරත් හල්පිට නිර්මාණය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍යයේ සමාරම්භක නර්තනය ඉදිරිපත් කරද්දි මගේ වයස අවුරුදු හතර හමාරක් විතර ඇති. ඊට මාස කිහිපයකට පස්සේ සෝල්බරි සාමීගේ දුව ලංකාවට ඇවිත් දළදා වඳින්න ගියා. ඒ වෙලාවේ දළදා මාලිගාව ඉදිරිපිට උත්සවයක් පැවැත්වුණා. එතැන වේදිකාවක් හදලා පාසල් සිසුන්ගේ නැටුම් සංදර්ශනය ඉදිරිපත් කළා. ඒකෙදිත් මගේ තනි නැටුමක් මම වේදිකාවේ ඉදිරිපත් කළා. මගේ තාත්තගෙ අම්මා ඒ නැටුමට මට ලස්සන ඇඳුමක් මහලා රෝස මල් ඔටුන්නකුත් හදලා දුන්නා. ඒක තමයි මගේ කලා ජීවිතයේ ආරම්භය.

ඒ විතරක් නෙමේ පාසල් අධ්‍යාපන කටයුතු අතරින් කෙටිකතා, ගද්‍ය රචනා, පද්‍ය රචනා සඳහාත් ඉදිරිපත්ව සමස්ත ලංකා ජයග්‍රහණ හිමි කරගෙන තිබෙනවා.

පාසල් අධ්‍යාපනයට සමුදුන් මම තාක්ෂණ විද්‍යායතනයට ගිහින් වාණිජ විෂයට අදාළව පාඨමාලාවක් හදාරමින් සිටියදී බැංකු නිලධාරියකු ලෙස අයදුම් කරලා එයින් සමත්ව බැංකු සේවයට එකතු වුණා. ඒ අනුව වසර තිස් දෙකක් බැංකු නිලධාරිනියක් ලෙස මං කටයුතු කළා.

අසූ දෙවැනි වියේ පසුවන ඇය සහභාගි වූවන් අතරින් කුසලතාවෙන් පිරි විශේෂ අවුරුදු කුමරිය වීම මෙහි ඇති විශේෂත්වයයි. ඇය 2018 වසරේද මෙම කිරුළට හිමිකම් කියා ඇත. එමෙන්ම 2018 වසරේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංස්කෘතික මණ්ඩලයේ විශිෂ්ට කලාකරු ප්‍රණාමයද, 2019 වසරේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් කලාකරුවකුගේ ජීවිතයට එක් වරක් පමණක්ම පිරිනමන කලා භූෂණ සම්මානයද, 2024 වසරේදී ආනන්දනීය සිංහල සිනමා සංසදය මඟින් පිරිනමන ගෞරව සම්මානයක්ද, 2025 වසරේදී රාවණ බෞද්ධ සහයෝගිතා පදනමෙන් පිරිනමන ධනසර ශ්‍රී සේවා අභිමානී විශ්ව කලාභූෂණ ගෞරව සම්මානය ද එම වසරේදීම රාජකීය පදනමෙන් පිරිනමන කලා භූෂණ කීර්ති ශ්‍රී විශ්ව ශක්ති ගෞරව සම්මානය වශයෙන් සම්මාන ගණනාවක් හිමි කරගෙන ඇත.

කොහොම නමුත් අද වනතුරු කලා කටයුතු සඳහා නියැලීම තමයි මගේ එකම සතුට. පසුගියදා පවත්වන ලද අවුරුදු උලෙළේ අවුරුදු කුමාරිය ලෙස කිරුළු පැලඳීම ජීවිතයේ මා ලැබූ තවත් වටිනාම ඇගයීමකි.

මම දැන් සමාජ සේවා කාර්යයන් බොහොමයක් සිදුකරමින් කාලය ගත කරනවා කරනවා. ඒ වගේම දරුවන්ගේ සහ මුනුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් සතුටින් ඉන්නවා.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?