Monday, June 8, 2026
Epaper
Home Highlightsවැසි සමයේ ආහාර විහරණ

වැසි සමයේ ආහාර විහරණ

by Shanaka Lakehouse

වැස්ස කියන්නේ ස්වභාවධර්මයේ ආශීර්වාදයක්. සමහර කාලවලදී වැස්ස අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙනවා වගේම සමහර කාලවලදී අපි වැස්ස නිසා විශාල පීඩාවන්ට මුහුණ දෙනවා.

ශ්‍රී ලංකාව වැනි උෂ්ණ කලාපීය රටක ජීවත් වෙන අපිට අවුරුද්ද පුරාම, විවිධ කාලගුණික වෙනස්කම් අත්විඳින්න සිද්ධ වෙනවා. වැසි කාලයේදී පරිසරයේ ආර්ද්‍රතාව වැඩි වෙනවා. උෂ්ණත්වයේ වෙනස්වීම් වගේම ජලය මඟින් පැතිරෙන රෝග වැඩිවීම නිසා සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නම වෙනවා.

ආයුර්වේදයට අනුව වැසි සමය (වර්ෂා ඍතුව) කියන්නේ, ශරීරයේ ජීර්ණ ශක්තිය හෙවත් අග්නි බලය අඩුවෙන කාලයක්. ඒ නිසා මේ කාලයේදී නිවැරදි ආහාර විහරණ රටාවක් අනුගමනය කිරීම මඟින් බොහෝමයක් රෝග වළක්වා ගනිමින් හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්.

වැසි කාලයේදී බොහෝ දෙනාට ආහාර රුචිය අඩුවීම, අජීර්ණය, බඩ පිපුම, උදර අපහසුතා වගේම සෙම් ආශ්‍රිත රෝගත් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒකට හේතුව වෙන්නේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සාපේක්ෂව දුර්වල වීමයි. මේ නිසා ඉතා බර ආහාර, තෙල් සහිත ආහාර සහ අධික ලෙස සිසිල් ආහාර ගැනීමෙන් වැළකීම ඉතාමත්ම සුදුසුයි. උණුසුම්ව පිළියෙල කළ, පහසුවෙන් ජීර්ණය වෙන ආහාර මේ කාලයට වඩාත්ම ගැළපෙනවා.

වැසි කාලයේදී ආහාරයට සුදුසුම දේවල් අතර උණු කැඳ වර්ග, සුප් වර්ග වගේම නැවුම්ව පිසූ බත් සමඟ එළවළු, වෑංජන ප්‍රධාන වෙනවා. කොළ කැඳ, කුරක්කන් කැඳ, මුං ඇට කැඳ වැනි පෝෂ්‍යදායී කැඳ වර්ග ශරීරයට ශක්තිය ලබා දෙන අතර ජීර්ණයත් පහසු කරනවා. ඒ වගේම රතු කැකුළු සහල්, කුරක්කන්, මෙනේරි වැනි දේශීය ධාන්‍ය ආහාරයට එක් කර ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න පුළුවන්.

එළවළු අතරින් වට්ටක්කා, වැටකොළු, කරවිල, පතෝල, මුරුංගා, බෝංචි සහ ගෝවා වැනි එළවළු වඩාත් සුදුසුයි. මේවා විටමින්, ඛනිජ ලවණ සහ තන්තු බහුල නිසා ජීර්ණය යහපත් කරනවා. ඒ වගේම කොළ වර්ගත් ප්‍රමාණවත් ලෙස ආහාරයට ගැනීම වැදගත්. ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා සහ නිවිති වැනි පලා වර්ග ශරීරයට අවශ්‍ය පෝෂක ලබා දෙනවා.

පලතුරු ආහාරයට ගැනීමත් වැසි සමයේදී අත්‍යවශ්‍ය වෙනවා. කෙසෙල්, පැපොල්, දොඩම්, නාරං, අන්නාසි සහ ගස්ලබු වගේ පලතුරු ප්‍රතිශක්තිය වැඩි කරනවා. විශේෂයෙන් විටමින් C බහුල පලතුරු සෙම්ප්‍රතිශ්‍යාව සහ අනෙකුත් ආසාදනවලින් ආරක්ෂාව සලසනවා. පලතුරු ආහාරයට එක්කර ගැනීමේදී ඒවා හොඳින් සෝදා පිරිසුදු කර ආහාරයට ගැනීම ඉතාමත්ම වැදගත්.

වැසි සමයේදී බොහෝ දෙනා උණු තේ කෝප්පයකට කැමැතියි. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කුරුඳු සහ කරාබුනැටි අඩංගු ඖෂධීය පානයන් මෙම කාලයට ඉතාමත්ම සුදුසුයි. මේවා ශරීරය උණුසුම්ව තබා ගන්නත් සෙම් රෝග අවම කිරීමටත් උපකාරී වෙනවා. එහෙත් අධික සීනි සහිත බීම වර්ග සහ කෘත්‍රිම පාන වර්ග භාවිතය සීමා කිරීම යෝග්‍යයයි.

මේ කාලයේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් වෙන්නේ ආහාර සුරක්ෂිතතාවයි. වීදි ආහාර, පිරිසුදු නොවන පරිසරයක සකස් කරන ලද ආහාර සහ නැවත නැවත රත් කරන ලද ආහාර ගැනීමෙන් ආහාර විෂවීම් සහ බඩවැල් ආසාදන ඇති වෙන්න පුළුවන්. හැකි සෑම විටම නිවෙසේ නැවුම්ව පිසූ ආහාර භාවිත කිරීම වඩාත්ම සුදුසුයි.

ජලය පානය කිරීම සම්බන්ධයෙන් ද වැසි සමයේදී සැලකිලිමත් විය යුතුයි. කාලගුණය සිසිල් නිසා පිපාසය අඩුවුණත් ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය ලබාගැනීම අත්‍යවශ්‍යයි. උණුසුම් හෝ නිවාගත් ජලය පානය කිරීමෙන් ජලය මඟින් පැතිරෙන රෝග අවදානම අවම කරගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් ප්‍රමාණවත් තරමින් ජලය පානය කිරීමත් ඉතාමත් වැදගත්.

ආහාර පමණක් නෙවෙයි, විහරණ රටාවත් වැසි සමයේ සෞඛ්‍යයට බලපානවා. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ පිරිසුදුකම පවත්වා ගැනීම ඉතා වැදගත්. වැසි සමය නිසා බොහෝ දෙනා නිවෙස තුළට සීමා වුණත් සැහැල්ලු ව්‍යායාම, යෝගා අභ්‍යාස හෝ ඇවිදීම මඟින් ශරීරය ක්‍රියාශීලීව තබා ගන්න පුළුවන්. තෙත ඇඳුම් දිගු වේලාවක් ඇඳ සිටීමෙන් වැළකී ශරීරය වියළිව තබා ගැනීමත් අවශ්‍ය වෙනවා.

මදුරුවන්ගෙන් බෝවන රෝග වැසි සමයේදී වැඩිවිය හැකි බැවින් අවට පරිසරය පිරිසුදුව තබා ගැනීමත් සෞඛ්‍යාරක්ෂාව සඳහා වැදගත් වෙනවා. ජලය එකතු වන ස්ථාන ඉවත් කිරීම, නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සහ නිවෙසේ පිරිසුදුකම පවත්වා ගැනීමෙන් ඩෙංගු වැනි රෝග අවදානම අඩු කළ හැකියි.

වැසි සමය යනු රෝග බහුල කාලයක් ලෙස පමණක් නෙවෙයි, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමේ වැදගත්කම සිහිපත් කරන කාලයක්. උණුසුම්, පෝෂ්‍යදායී සහ පිරිසුදු ආහාර ගැනීම, ප්‍රමාණවත් ජලය පානය කිරීම, නිසි පිරිසුදුකම පවත්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න විහරණ රටාවක් අනුගමනය කිරීම මඟින් වැසි සමය සුවපහසුවෙන් හා නීරෝගිව ගත කරන්න පුළුවන්. “ආහාරය ම ඖෂධය වේ” යන සදාකාලික සංකල්පය මත පදනම්ව නිවැරදි ආහාර විහරණ රටාවක් අනුගමනය කරමින් වැසි සමයේදීද නීරෝගිව සිටීමට අපි වගබලා ගනිමු.

 

TEXT – කුසලා සජීවනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?