අද කාලයේ තරුණියකගේ ජීවිතය ලස්සන වන්නේ අධ්‍යාපනයෙන් පමණක් නොවේ. ඇයගේ අතේ තිබෙන වෘත්තීය නිපුණතාව, ආත්ම විශ්වාසය සහ තමන්ගේම ජීවිතය ගොඩනඟා ගැනීමේ හැකියාවද ඒ තරම්ම වැදගත්ය. ඒ අභිමානයෙන් දිදුලන තරුණ තරුණියන් 878 දෙනකු වෙනුවෙන් පැවැති බස්නාහිර පළාත් NVQ සහතික ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
එදින එම ශාලාව පුරාම දිස්වූයේ හෙට දවස ජය ගන්නා තරුණියන්ගේ සිනහවයි. රූපලාවණ්‍ය ශිල්පයේ සිට තොරතුරු තාක්ෂණය දක්වාත්, බේකරි නිෂ්පාදනවල සිට මානව සම්පත් කළමනාකරණය දක්වාත් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා පෙන්වූ යුවතියන් බොහෝ දෙනකු එහිදී සිය ජයග්‍රහණයේ සතුට සමරමින් සිටියහ.
අතීතයේ බොහෝ තරුණියන්ට ‘රැකියාවක්’ යනු සිහිනයක් පමණක් වුවද, අද වෘත්තීය පුහුණුව ඔවුන්ගේ ජීවිතවල සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක් වී තිබේ. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, විදේශ රැකියා වෙළෙඳපොළට පිවිසීමට, නැතහොත් ගෞරවනීය රැකියාවක් හරහා පවුලට ශක්තියක් වීමට මේ NVQ සහතිකය ඔවුන්ට විශාල ආධාරයක් වී ඇත.
ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරන වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා තරුණියන්ට ලැබෙන අවස්ථා පිළිබඳවද මෙම උත්සවය තුළින් පැහැදිලි විය. විශේෂයෙන්ම ගෘහිණියක ලෙස පමණක් නොව, ආර්ථිකයෙන්ද ශක්තිමත් කාන්තාවක් ලෙස සමාජයට එක්වීමට මෙවැනි පුහුණු වැඩසටහන් තරුණියන්ට අලුත් මාවතක් විවර කරයි. උත්සවයේ පළමු සැසිවාරය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය එන්.ඩබ්.කේ. දුශාර් කාමිනි දයාරත්න මහත්මිය විසින් තරුණ පරපුරේ වෘත්තීය සංවර්ධනය පිළිබඳ ආරාධිත දේශනයක්ද පැවැත්වීය.
එදින සහතිකය ලබාගත් බොහෝ තරුණියන්ගේ ඇස්වල තිබුණේ අනාගතය පිළිබඳ විශ්වාසයයි. “අපටත් පුළුවන්” යන හැඟීමයි. තමන්ගේම හැකියාවන් තුළින් ජීවිතය ජය ගැනීමට සූදානම් වන මේ තරුණියන් සැබැවින්ම රටේ අනාගත ශක්තිය බවට පත්වෙමින් සිටී.
වෘත්තීය අධ්‍යාපනය යනු රැකියාවක් පමණක් නොව, කාන්තාවකට ස්වාධීනත්වය, ගෞරවය සහ ජීවිතය ජය ගැනීමේ ආත්ම විශ්වාසය ලබාදෙන මඟකි. ඒ නිසාම මෙවැනි NVQ සහතික ප්‍රදානෝත්සවයන්, සහතිකයක් ලබාදීමේ උත්සවයක් පමණක් නොව, තරුණියන්ගේ සිහිනවලට පියාපත් එක්කරන උත්සක් බවට පත්ව ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.
TEXT – ශ්‍යාමලී රත්නායක පන්නිපිටිය සමූහ
