Monday, June 8, 2026
Epaper
Home විශේෂාංගඅම්මා මිතුරියක් වූ දින පටන් දරුවන් සුරක්ෂිතයි

අම්මා මිතුරියක් වූ දින පටන් දරුවන් සුරක්ෂිතයි

by Shanaka Lakehouse

“අම්මේ… මම කොහෙන්ද ආවේ?”

කුතුහලයෙන් පිරුණු, අහිංසක දෑසින් යුත් කුඩා දරුවකු තමාගේ උපත ගැන අසන මේ සරලම ප්‍රශ්නය හමුවේ නොසන්සුන් නොවන, ගොත නොගසන මවක අදටත් අපේ සමාජයේ සොයා ගැනීම අසීරුය. අපේ සාම්ප්‍රදායික මවුවරුන් එවැනි වෙලාවට දුන්නේ “කුරුල්ලෙක් ගෙනත් දැම්මා”, “දොස්තර මහත්තයා බෑග් එකක දාලා දුන්නා” නැතහොත් “දෙවියෝ දුන්නා” වැනි මනඃකල්පිත, සුරංගනා උත්තරයන්ය. එහෙත්, තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමාන දරුවන්ට තවදුරටත් ඒ සුරංගනා කතාවලින් සංග්‍රහ කළ නොහැක. අද දවසේ දරුවකුට තමාගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව නිවැරදි වයසේදී, නිවැරදි විද්‍යාත්මක අවබෝධය ලබා දීම මවකගේ කරපිට පැවරෙන, කිසිසේත්ම පැහැර හැරිය නොහැකි පරම යුතුකම සහ වගකීමක් බවට පත්ව තිබේ.

අපේ සමාජයේ බොහෝ දෙනෙක් “ලිංගික අධ්‍යාපනය” යන වචනය ඇසූ සැණින් කලබල වෙති. එය කුලදොසක්, සංස්කෘතිය විනාශ කරන මහා ව්‍යසනයක් ලෙස දකිති. නමුත් සැබෑ යථාර්ථය නම්, ලිංගික අධ්‍යාපනය යනු ලිංගික ක්‍රියාවන් පිළිබඳ තාක්ෂණික උපදෙස් දීම නොව තමාගේ ශරීරය නිවැරදිව හඳුන ගැනීම, එහි සීමාවන් සහ ආරක්ෂාව සලසා ගැනීම, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ගෞරවයෙන් සැලකීම සහ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන වටිනා ජීවන නිපුණතාවයකි.

ඇයි මේ උතුම් වගකීම මවකටම පැවරෙන්නේ?

දරුවකු මෙලොවට බිහි වූ මොහොතේ සිට වඩාත්ම සමීප වන්නේ, ස්පර්ශ කරන්නේ සහ පරිපූර්ණව විශ්වාස කරන්නේ මවයි. දරුවකුගේ ජීවිතයේ පළමු ගුරුවරිය, පළමු ආරක්ෂකයා මෙන්ම පළමු පෙම්වතිය වන්නේද මවයි. ඒ නිසාම ශරීරයේ සිදුවන විවිධ කායික වෙනස්කම් සහ සිතට නැඟෙන කුතුහලයන් බියක්, සැකයක් හෝ ලැජ්ජාවක් නැතිව විවෘතව පවසාගත හැකි හොඳම සහ ආරක්ෂිතම නවාතැන මවයි.

යම් හෙයකින් මවක් ලැජ්ජාව හෝ නොදැනුවත්කම නිසා මේ වගකීමෙන් මඟහැර සිටියහොත් සිදුවන්නේ දරුවා තමාට අවශ්‍ය තොරතුරු සොයා වෙනත් බාහිර ප්‍රභවයන් වෙත යොමුවීමයි. අද වන විට ස්මාර්ට් ජංගම දුරකතන සහ අන්තර්ජාලය හරහා ඕනෑම වැරදි, විකෘති සහ අසභ්‍ය තොරතුරක් දරුවකු අතට පත්වීමට ගතවන්නේ තත්පර කිහිපයකි. මව නිහඬ වන තැන, දරුවා වැරදි තොරතුරු සමාජයෙන් ලබාගැනීමට පටන් ගනී. එබැවින් දරුවා වටා පළමු ආරක්ෂක පවුර නිර්මාණය කිරීම මවගේ වගකීමකි.

වයසට ගැළපෙන ලෙස දැනුම බෙදා දෙන්නේ කෙසේද?

ලිංගික අධ්‍යාපනය යනු එක රැයින් දරුවාට කියා දිය යුතු දෙයක් නොවේ. එය දරුවාගේ වර්ධනයත් සමඟ සෙමෙන්, පියවරෙන් පියවර ලබා දිය යුත්තකි.

මුල් ළමාවිය (අවුරුදු 3 – 6) අවයව හඳුන ගැනීම

මෙම වයසේදී දරුවාට ඇස්, කන්, නාසය කියා දෙනවා සේම ශරීරයේ රහස්‍ය ප්‍රදේශවලට නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක නම් කියා දිය යුතුය. ඒවා ලජ්ජාවට කරුණක් නොවන බවත්, ස්නානය කිරීමේදී හෝ වැසිකිළි යාමෙන් පසු පිරිසුදු කරගත යුතු සාමාන්‍ය අවයවයන් බවත් වටහා දිය යුතුය.

මැද ළමාවිය (අවුරුදු 7 – 10) ස්පර්ශයේ සීමාවන්

මේ කාලය තුළ දරුවාට “සුදුසු ස්පර්ශය සහ නුසුදුසු ස්පර්ශය” (Good Touch and Bad Touch) පිළිබඳව පැහැදිලි ප්‍රායෝගික අවබෝධයක් ලබා දිය යුතුය. තමාගේ අවයව ස්පර්ශ කිරීමට අම්මාට, තාත්තාට හෝ වෛද්‍යවරයකු මවුපියන් ඉදිරිපිටදී පමණක් හැර වෙනත් කිසිදු ඥාතියකුට, අසල්වැසියකුට හෝ ගුරුවරයකුට අයිතියක් නැති බවත්, යමෙක් එසේ කිරීමට උත්සාහ කළහොත් වහාම “එපා” කියා එතැනින් ඉවත්ව මවට පැවසීමට දරුවා ධෛර්යමත් කළ යුතුය.

නව යොවුන් අවධිය (අවුරුදු 11 සිට ඉහළට) හෝමෝන වෙනස්වීම

දරුවකු ළමා වියෙන් තරුණ වියට පා තබන මේ සංක්‍රාන්ති සමය ඉතා සංකීර්ණය. ගැහැනු දරුවන් වැඩිවිය පැමිණීම, ඔසප් චක්‍රය, පියයුරු වර්ධනය වීම මෙන්ම පිරිමි දරුවන්ගේ කටහඬ වෙනස් වීම, ස්වභාවික ශාරීරික ක්‍රියාවලීන් පිළිබඳව දරුවා බිය වීමට පෙර මව විසින් විද්‍යාත්මකව පහදා දිය යුතුය. ඒවා ස්වභාවික, සුන්දර වෙනස්කම් මිස පාපකාරී හෝ ලජ්ජා විය යුතු දේවල් නොවන බව වටහා දිය යුතුය.

මවුවරුන් සතු විය යුතු පරිවර්තනය

දරුවාට නිවැරදි දේ කියා දීමට නම් මුලින්ම මව සතු සාම්ප්‍රදායික ආකල්ප වෙනස් විය යුතුය.

“දරුවා ඉදිරියේ විනිශ්චයකාරයෙකු නොව, ආදරණීය මිතුරියක වන්න.”

දරුවෙකු ලිංගිකත්වය සම්බන්ධ ගැටලුවක් ඇසූ සැණින් බැණ වැදීමෙන් සිදුවන්නේ දරුවා මුළුමනින්ම ඔබෙන් ඈත්වීමයි. දරුවාට ඕනෑම රහසක්, ඕනෑම ගැටලුවක් කිසිදු බියකින් තොරව මුලින්ම පවසාගත හැකි හොඳම මිතුරිය මව විය යුතුය. අන්තර්ජාලය පරිශීලනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා වෙනුවට, එහි ඇති ලිංගික දර්ශන සැබෑ ජීවිතය නොවන බවත්, ඒවා හුදෙක් වාණිජමය පටු අරමුණු වෙනුවෙන් නිර්මාණය කළ ව්‍යාජ දෑ බවත් දරුවාට තේරුම් කර දීමේ බුද්ධිමත්කම මවකට තිබිය යුතුය.

නිසි ලිංගික අධ්‍යාපනයක් ලත් දරුවකු කිසිවිටෙකත් ලිංගික වංචාකරුවන්ට හෝ අපයෝජකයන්ට ලෙහෙසියෙන් ගොදුරු නොවේ. ඔවුන් තම ශරීරයේ අභිමානය රැකගන්නා අතරම, අනෙකාගේ සීමාවන්ට සහ කැමැත්තට ගරු කරන ශිෂ්ටසම්පන්න පුරවැසියන් බවට පත්වේ.

ආදරණීය මවුවරුනි, අපේ සංස්කෘතිය, සදාචාරය රැකෙන්නේ ලිංගිකත්වය වසා තැබීමෙන් හෝ ඒ ගැන කතා කිරීම තහනම් කිරීමෙන් නොවේ. ව්‍යාජ ලජ්ජාව සහ අනියත බිය පසෙක ලා, ඔබේ දරුවාට ජීවිතයේ යථාර්ථය කියා දෙන්න. හෙට දවසේ සමාජය තුළ ඔබේ දරුවා කායිකවත්, මානසිකවත් නීරෝගි, මංමුළා නොවන, ස්වයං-ආරක්ෂාව සපිරි උදාර මිනිසකු කරවීමේ පරම වගකීම අන් කිසිවෙකුට නොව, ඔබටම අයිති වූවකි. මවකගේ භූමිකාව පරිපූර්ණ වන්නේ එවිටය.

 

TEXT – සහන් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?