පසුගියදා ගුරු පත්වීමක් සඳහා සුදුසුකම් ලබා සිටි තරුණියකගේ සියදිවි නසාගැනීමේ පුවත මුළු රටම කම්පනයට පත් කළේය. ජීවිතය ජයගැනීමේ සිහිනයක් සමඟ වෙහෙස මහන්සි වී අධ්‍යාපනය
ලැබූ, රැකියාවක් කරමින් තම අනාගතය ගොඩනඟා ගැනීමට උත්සාහ කළ තරුණියක මෙලෙස ජීවිතයෙන් සමුගැනීම, තනි පුද්ගල ඛේදවාචකයක් පමණක් නොව, නූතන ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන ගැඹුරු මානසික සෞඛ්‍ය අර්බුදයක සංකේතයක් ලෙසද සැලකිය හැකිය.
ඇයගේ ජීවිත කතාව තුළ බොහෝ තරුණයන්ගේ කතාව සැඟවී ඇත. දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබීම, රැකියාවක් කරමින් අනාගතය ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීම, පවුලේ බලාපොරොත්තු ඉටු කිරීම සහ සමාජයේ ගෞරවනීය ස්ථානයක් දිනා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරත වීම අද බොහෝ තරුණ තරුණියන්ගේ යථාර්ථයයි. එහෙත් බොහෝ විට අප දකින්නේ ඔවුන්ගේ ජයග්‍රහණය පමණි. ඔවුන්ගේ නිහඬ කඳුළු, බිය සහ මානසික විඩාව අපට නොපෙනේ.
අද අප ජීවත් වන්නේ අධ්‍යාපනික තරගකාරීත්වය, ආර්ථික දුෂ්කරතා, රැකියා අවිනිශ්චිතතාව, පවුල් වගකීම් සහ සමාජ අපේක්ෂාවන් අතර තරුණ ජීවිත තෙරපෙන යුගයකය. සාර්ථකත්වය ළඟා කරගන්නා තරුණයන් පවා අභ්‍යන්තරයෙන් මානසිකව ਬိදවැටී සිටිය හැකි බව මෙම සිදුවීම යළිත් අපට සිහිපත් කරයි. පිටතින් ජයග්‍රහණයක් ලෙස පෙනෙන ජීවිතයක පවා කිසිවකුට නොපෙනෙන වේදනාවක්, හුදකලාවක් හෝ බලාපොරොත්තු සුන්වීමක් සැඟවී තිබිය හැකිය.
රාගම වෛදය පීඨයේ ළමා හා නව යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වන මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පෙන්වා දෙන්නේ සියදිවි නසාගැනීමේ අවදානමකට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සැබවින්ම ජීවිතය අවසන් කිරීමට අවශ්‍ය නොවන බවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් විඳින නොඉවසිය හැකි මානසික වේදනාවෙන් මිදීමයි. එවැනි තීරණාත්මක මොහොතක නිවැරදි සහයෝගයක් ලැබුණහොත් ජීවිතයක් බේරාගැනීමට හැකි බව ඔහු අවධාරණය කරයි.
මානසික රෝග හෝ චිත්තවේගීය අර්බුද යනු දුර්වල චරිතයක ලක්ෂණ නොවේ. ඒවාද වෙනත් ඕනෑම රෝගී තත්ත්වයක් මෙන් වෛද්‍යමය අවධානය සහ ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයන්ය. එහෙත් අපගේ සමාජයේ තවමත් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ කතා කිරීම ලැජ්ජාවක් ලෙස සැලකෙන නිසා බොහෝ තරුණ තරුණියන් තම වේදනාව නිහඬව දරාගනිති. ඇතැම් විට ඔවුන් වටා සිටින අය පවා එම අභ්‍යන්තර අරගලය නොදකිති.
මෙවැනි අවදානම් තත්ත්වයන්ට ප්‍රතිචාරයක් ලෙස ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ක්‍රියාත්මක කරයි. පැය 24 පුරා නොමිලේ ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා පුද්ගලයන්ට සුදුසුකම් ලත් මානසික සෞඛ්‍ය වෘත්තිකයන්, උපදේශකයන් සහ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සහය ලබාගත හැකිය. දුරකතන ඇමතුම්වලට අමතරව කෙටි පණිවිඩ සහ WhatsApp පණිවිඩ හරහාද සේවාව ලබාදීම විශේෂත්වයකි.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අවධාරණය කරන්නේ 1926 යනු හුදෙක් දුරකතන අංකයක් නොව ජීවිතාරක්ෂක සමාජ සේවාවක් බවයි. මානසික පීඩනය, අවපීඩනය, හුදකලාව, පවුල් ගැටලු සහ සියදිවි නසාගැනීමේ සිතුවිලිවලින් පෙළෙන පුද්ගලයන්ට ක්ෂණික සහ වෘත්තීයමය සහනය ලබාදීම එහි ප්‍රධාන අරමුණ වේ. දිනපතා විශාල පිරිසක් මෙම සේවාව වෙත යොමුවන අතර, බොහෝ දෙනකුට එය අඳුරු මොහොතක ලැබෙන ආලෝකයක් බවට පත්ව තිබේ.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍යවරයකුගේ (වෛද්‍ය ධම්මික අලහකෝන් මහතා) පෙන්වා දීමකට අනුව සමාජයේ ඕනෑම පුද්ගලයකුට කිසිදු බියකින් හෝ ලජ්ජාවකින් තොරව වෘත්තීය මට්ටමේ මානසික සෞඛ්‍ය සහය ලබාදීම මෙම සේවාවේ මූලික අරමුණයි. සමාජ හා ආර්ථික පීඩනයන් හමුවේ මිනිසුන් තනි නොකිරීම සෞඛ්‍ය පද්ධතියේ වගකීමක් බවද ඔහු අවධාරණය කර ඇත.
මෙම තරුණියගේ මරණය පිළිබඳව සිතන විට නොවැළැක්විය හැකි ප්‍රශ්නයක් මතු වේ. ඇය තම අවසාන තීරණයට පෙර 1926 අංකයට ඇමතුමක් ලබා දුන්නේ නම් කුමක් සිදුවේද? කිසිවකුට නොඇසෙන ලෙස කෙටි පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් යැවූයේ නම් කුමක් සිදුවේද? එයට නිශ්චිත පිළිතුරක් කිසිවකුට ලබා දිය නොහැකිය. එහෙත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ එවැනි මොහොතක වෘත්තීයමය සවන්දීමක් සහ මඟපෙන්වීමක් ලැබීමෙන් මාරාන්තික තීරණයක් වළක්වා ගැනීමේ ඉඩ ඉතා ඉහළ බවයි.
අහිමි වූ එම තරුණියගේ ජීවිතය නැවත ලබාගත නොහැකිය. එහෙත් ඇයගේ ඛේදවාචකය අපට වැදගත් පාඩමක් උගන්වයි. සාර්ථකත්වය, අධ්‍යාපනය හෝ රැකියාවක් ලැබීම පමණක් මානසික සුවතාව සහතික නොකරයි. මිනිසුන්ට සවන්දීම, ඔවුන්ගේ වේදනාව හඳුනාගැනීම සහ අවශ්‍ය විට සහයෝගය ලබාදීමද ඒ තරමටම වැදගත්ය.
අද අවශ්‍ය වන්නේ මානසික සෞඛ්‍යය පිළිබඳ සමාජ අපවාදය බිඳ දැමීමයි. උපකාර ඉල්ලීම දුර්වලතාවයක් නොව, නිර්භීතකමකි. මානසික පීඩනයකින් පෙළෙන තරුණයකුට හෝ තරුණියකට “කතා කරන්න”, “සවන් දෙන්නෙකු සොයාගන්න”, “උපකාර ඉල්ලන්න” යැයි පැවසීමෙන් ජීවිතයක් බේරාගත හැකිය.
ඔබට හෝ ඔබ දන්නා කෙනකුට දැඩි මානසික පීඩනයක්, බලාපොරොත්තු සුන්වීමක් හෝ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇත්නම්, 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව අමතන්න. පැය 24 පුරා නොමිලේ ක්‍රියාත්මක වන මෙම සේවාව සමඟ සම්බන්ධ වන්න. සමහර විට ජීවිතයක් බේරාගැනීමට අවශ්‍ය වන්නේ එකම එක ඇමතුමක් පමණි.
TEXT – දුමින්ද කාරියවසම්
