සෑම දරුවෙක්ම ස්වභාවයෙන්ම දඟකාරයි. දුවන පනින, කෑගහන, ගේ පුරා සෙල්ලම් බඩු විසුරුවන පුංචි පැටියෙක් ඉන්න ගෙදරක් කියන්නෙම ජීවය පිරුණු තැනක්.
නමුත් සමහර වේලාවට මේ දඟකාරකම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වන විට මවුපියන් වශයෙන් ඔබට ලොකු පීඩනයකට මුහුණ දෙන්න සිදු වෙනවා. “ඇයි මේ ළමයා මෙච්චර දඟ? එක තැනක ඉන්නෙම නැහැනේ” කියලා ඔබට හිතෙනවා නම් ඒ දඟකාරකම පිටුපස ADHD එනම් අවධානය ඌණ/අධික්‍රියාකාරී අක්‍රමිතාව කියන තත්ත්වය තිබෙන්න පුළුවන්. අද අපි ඒ ගැන ටිකක් කතා කරමු.
මොකක්ද මේ ADHD කියන්නේ?
මනෝ විද්‍යාත්මකව මෙය “අවධානය ඌණ අධික්‍රියාකාරී අක්‍රමිතාව” (Attention Deficit Hyperactivity Disorder) ලෙස හඳුන්වනවා. මෙය දරුවකුගේ මොළයේ වර්ධනයත් සමඟ සිදුවන ස්නායු විද්‍යාත්මක තත්ත්වයක්. සරලවම කියනවා නම්, සාමාන්‍ය දරුවකුගේ මොළය ක්‍රියා කරන ආකාරයට වඩා වෙනස් වේගයකින් සහ වෙනස් ආකාරයකින් ADHD සහිත දරුවකුගේ මොළය ක්‍රියා කරනවා.
ඔබේ දරුවා තුළත් මේ ලක්ෂණ තිබේ දැයි බලන්න..
දරුවාගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ මේ වගේ ලක්ෂණ මාස 6කට වඩා වැඩි කාලයක් තිස්සේ නිතර නිතර දකින්න ලැබෙනවා නම් ඒ ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කිරීම වටිනවා. මේ ලක්ෂණ එකක් හෝ දෙකක් තිබූ පමණින් දරුවාට ADHD තත්ත්වය කියා ලේබල් නොකර, දරුවාගේ අධ්‍යාපනයට, සමාජ ජීවිතයට සහ පවුලේ සම්බන්ධතාවලට මේවාගෙන් බාධා ඇති වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.
අවධානය පවත්වා ගැනීමේ ගැටලු
එකම සෙල්ලමක හෝ වැඩක විනාඩි කිහිපයකට වඩා නිරත වීමට අපහසු වීම.
වැඩක් කරද්දී ඉතා සුළු ශබ්දයකට පවා අවධානය වෙනතකට යොමු වීම.
පාසල් වැඩ හෝ නිෙවසේ වැඩ අවසානය තෙක් සිදු කිරීමට ඇති මැළිකම.
නිතරම තමන්ගේ බඩු බාහිරාදිය (පැන්සල්, පොත්, සෙල්ලම් බඩු) අමතක වීම හෝ නැති කර ගැනීම.
ශාරීරික නොසන්සුන් බව
එක තැනක වාඩි වී සිටින විටත් අත් පා විසිරීම හෝ පුටුවේ දඟලමින් සිටීම.
නිශ්ශබ්දව සිටිය යුතු අවස්ථාවල පවා අනවශ්‍ය ලෙස දුව පැන ඇවිදීම.
වැඩිහිටිකු ලෙස ඔබට දැනෙන ප්‍රමාණයට වඩා වැඩි ශක්තියක් (Energy) දරුවා තුළ තිබීම.
පාලනය කරගත නොහැකි ප්‍රතිචාර
ප්‍රශ්නයක් අසා අවසන් කිරීමටත් පෙර පිළිතුරු දීමට උත්සාහ කිරීම.
අන් අයගේ කතාබහට හෝ වැඩකටයුතුවලට නිතර බාධා කිරීම (Interrupting).
පෝලිමක සිටීම හෝ තමන්ගේ වාරය එනතෙක් ඉවසීමෙන් සිටීම ඉතා දුෂ්කර වීම.
මේ දේවල් දරුවා හිතාමතා කරන දෙයක්වත්, ඔබ දරුවා හදා වඩා ගත් ක්‍රමයේ වරදක්වත් නොවන බව මවුපියන් වන ඔබ හොඳින් මතක තබා ගන්න.
නොසන්සුන් පුංචි පැටියා සන්සුන් කරන මනෝවිද්‍යාත්මක මඟ…
ධනාත්මක ඇගයීම (Positive Reinforcement): දරුවා වැරදි කරන විට දෝෂාරෝපණය කරනවාට වඩා, ඔහු ඉතා සුළු හෝ නිවැරදි දෙයක් කළ විට එය අගය කරන්න. උදාහරණයක් විදිහට විනාඩි පහක් නිහඬව පොතක් කියෙව්වොත්, “මගේ පුතා අද හරිම ඉවසීමෙන් ඒ වැඩේ කළා, අම්මට හරිම සතුටුයි” කියා පවසන්න. එවිට එම යහපත් හැසිරීම නැවත කිරීමට දරුවා පෙලඹෙනවා.
පැහැදිලි සීමා මායිම් (Setting Boundaries)
දරුවාට කළ හැකි සහ නොකළ හැකි දේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. නීති රීති පැනවීමේදී ඒවා සරල වන තරමට ළමයාට පහසුයි.
කුඩා පියවර (Break it down)
දරුවාට විශාල වැඩක් පවරනවා වෙනුවට එය කුඩා කොටස්වලට කඩා පවරන්න. උදාහරණයක් ලෙස “කාමරයම අස් කරන්න” කියනවා වෙනුවට “මුලින්ම සෙල්ලම් බඩු ටික අහුරන්න” කියලා පවසන්න.
ආහාර රටාව ගැනත් සැලකිලිමත් වෙන්න…
අධික ලෙස සීනි අඩංගු චොකලට්, පැණිබීම සහ රසකැවිලි, පැකට් කළ ආහාරවල අඩංගු කෘත්‍රිම වර්ණක සහ රසකාරක ADHD ලක්ෂණ තීව්‍ර කළ හැකි බව සොයාගෙන තිබෙනවා. දරුවාට පලතුරු, එළවළු සහ ප්‍රෝටීන් බහුල ආහාර ලබා දෙන්න. විශේෂයෙන්ම ඔමේගා-3 (Omega-3) අඩංගු ආහාර (මාළු වැනි) මොළයේ වර්ධනයට සහ අවධානය වැඩි කිරීමට උදවු වෙනවා.
මවුපියන්ට පණිවිඩයක්…
ඔබේ දරුවා අධික්‍රියාකාරී වීම ඔබේ වරදක් හෝ දරුවාගේ අකීකරුකමක් නොවන බව පළමුව වටහා ගන්න. ඔවුන් ලෝකය දකින්නේ සහ අත්විඳින්නේ සාමාන්‍ය දරුවන්ට වඩා වෙනස් ආකාරයකටය. ඔවුන් තුළ සැඟවී ඇති එම සුවිශේෂී ශක්තීන් නිවැරදිව හඳුනාගෙන, ඔවුන්ට සෙනෙහස සහ රැකවරණය නොඅඩුව ලබා දෙන්න. නිවැරදි මනෝවිද්‍යාත්මක මඟපෙන්වීම් තුළින් ඔබේ දරුවා අනාගතයේදී සමාජයට වැඩදායී, සුවිශේෂී දක්ෂතා පෙන්වන පුද්ගලයකු බවට පත් කිරීමේ හැකියාව පවතින්නේ ඔබේ අතේමයි. එබැවින් මේ සඳහා සුදුසුකම් ලත් මනෝ උපදේශකවරුන්ගේ සහ ළමා මනෝ වෛද්‍යවරයකුගේ සහය ලබා ගැනීමට පසුබට නොවන්න.
TEXT – පවිත්‍රා මාධවී විජේසේකර
මනෝවිද්‍යා ගෞරව උපාධි,
කැලණිය විශ්වවිද්‍යාලය.
මනෝවිද්‍යා උපදේශන උසස් ඩිප්ලෝමා,කොළඹ විශ්වවිද්‍යාලය.
