Monday, May 18, 2026
Epaper
Home Highlightsශරීරයට නැතිවම බැරි විටමින් D

ශරීරයට නැතිවම බැරි විටමින් D

by Shanaka Lakehouse

දෛනික ජීවිතයේ සෞඛ්‍යය රැක ගැනීමට අවශ්‍ය පෝෂක අතර විටමින් D විශේෂ ස්ථානයක් හිමි කර ගනී. “හිරු එළියේ විටමිනය” ලෙස හඳුන්වන මෙය, අස්ථි ශක්තිමත් කිරීමේ සිට ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම දක්වා ශරීරයේ බොහෝ ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වේ. එහෙත් නවීන ජීවන රටාව, ගෘහස්ථව වැඩි කාලයක් ගත කිරීම සහ හිරු එළියෙන් දුරස් වීම නිසා අද වන විට විටමින් D ඌනතාවය බහුල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. සිරුරේ ශක්තිය, නීරෝගි බව රැක ගැනීමට විටමින් Dවල ඇති වැදගත්කම වගේම විටමින් D අහිමි වීමෙන් ඇති විය හැකි තත්ත්ව ගැන අවබෝධයක් තිබීම ඔබට වැදගත් වනු ඇත.

අස්ථි සහ දත් ශක්තිමත් කිරීම

විටමින් Dහි ප්‍රධානතම කාර්යයක් වන්නේ කැල්සියම් සහ ෆොස්ෆරස් වැනි ඛනිජ ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය කර ගැනීමට උපකාර කිරීමයි. කැල්සියම් නිසි ලෙස අවශෝෂණය නොවන්නේ නම් අස්ථි දුර්වල වී බිඳීම් අවදානම ඉහළ යයි. ළමුන් තුළ විටමින් D හි දැඩි ඌනතාවය රිකට්ස් (Rickets) රෝගයට හේතු වේ. එවිට අස්ථි නිසි ලෙස වර්ධනය නොවීම, කකුල්වල ආබාධ සහ වර්ධන ගැටලු ඇති විය හැක. වැඩිහිටියන් තුළ Osteomalacia සහ Osteoporosis වැනි තත්ත්වයන් ඇති වී අස්ථි බිඳීම් පහසුවෙන් සිදු විය හැකියි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම

විටමින් D ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට දායක වේ. ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා සහ අනෙකුත් රෝග කාරකයන්ට එරෙහිව සටන් කිරීමට මෙය උපකාරී වේ. විටමින් D ප්‍රමාණවත් අය අතර සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ නිතර නිතර ආසාදන ඇති වීම අඩු බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

මාංශ පේශි සහ ස්නායු ක්‍රියාකාරිත්වය

මාංශ පේශි නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා ද විටමින් D අවශ්‍ය වේ. විටමින් D අඩු වූ විට මාංශ පේශි දුර්වලතාවය, ඇඟපත කැක්කුම, ඇවිදීමේ අපහසුතා සහ සමතුලිතතාවය අඩුවීම වැනි ගැටලු ඇති විය හැකියි. විශේෂයෙන් වැඩිහිටියන් අතර වැටීම් අවදානම අඩු කිරීමට විටමින් D වැදගත් බව සැලකේ.

මානසික සෞඛ්‍යයට ඇති බලපෑම

විටමින් D සහ මනෝභාවය අතර සම්බන්ධතාවයක් ඇති බව විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වා දී ඇත. විටමින් D අඩු අය අතර මානසික අවපීඩනය, උනන්දුව අඩුවීම සහ අධික තෙහෙට්ටුව වැඩි වශයෙන් දක්නට ලැබේ. සූර්යාලෝකය ලබා ගැනීමත් සමඟ විටමින් D නිපදවීම නිසා මනසට ප්‍රසන්න බවක් දැනීම ද මෙයට එක් හේතුවක් ලෙස සැලකේ.

හෘද සෞඛ්‍යයට ඇති වැදගත්කම

විටමින් D හෘදය සහ රුධිර වාහිනී පද්ධතිය සඳහා ද වැදගත් වේ. මෙය රුධිර පීඩනය පාලනය කිරීමට සහ හෘද රෝග අවදානම අඩු කිරීමට දායක විය හැකි බව පර්යේෂණවලින් සනාථ කර ඇත.

විටමින් D ලබාගත හැකි ප්‍රධාන මාර්ග

විටමින් D ලබා ගැනීමට ස්වාභාවිකම සහ හොඳම මාර්ගය හිරු එළියයි. විටමින් D මට්ටම ඉහළ නැංවීම සඳහා හිරු එළියට නිරාවරණය වීමට හොඳම කාලය උදේ 11 සිට සවස 3 දක්වා වුවද, හිරු එළියෙන් පිලිස්සුම් ඇති වීමේ අවදානම නිසා එය නිර්දේශ නොකෙරේ. උදේ 8 සිට 10 දක්වා හෝ සවස මෘදු හිරු එළියේ මිනිත්තු 15 සිට 20 දක්වා සිටීම බොහෝ දෙනාට ප්‍රමාණවත් වේ.

සැමන්, ටූනා, සාඩින් වැනි තෙල් සහිත මාළු, බිත්තර කහමදය, කිරි සහ කිරි නිෂ්පාදන සහ හතු වැනි නිෂ්පාදනවල විටමින් D යහමින් අඩංගු වේ.

විටමින් D අඩංගු ඖෂධ,

ආහාර සහ හිරු එළියෙන් ප්‍රමාණවත් ලෙස නොලැබේ නම් වෛද්‍යවරයකුගේ උපදෙස් මත විටමින් D පෙති, කැප්සියුල් හෝ ඩ්‍රොප්ස් (drops) ලබාගත හැකියි.

Cholecalciferol (Vitamin D3): සූර්යාලෝකයෙන් ස්වාභාවිකව නිපදවන විටමින් Dවලට සමාන වන අතර ශරීරයට හොඳින් අවශෝෂණය වේ.

Ergocalciferol (Vitamin D2): ශාක මූලාශ්‍රවලින් ලබා ගනී.

Calcitriol (Active Vitamin D): වකුගඩු රෝගීන් සඳහා විශේෂිත වේ.

ඖෂධ ප්‍රමාණය රෝගියාගේ වයස සහ රෝගී තත්ත්වය අනුව වෙනස් වන බැවින් වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍ය වේ.

විටමින් D ඌනතාවයට හේතු සහ ලක්ෂණ

ප්‍රධාන හේතු වන්නේ ආහාරයෙන් සහ හිරු එළියෙන් ප්‍රමාණවත් පරිදි විටමින් D නොලැබීම හෝ ශරීරයට එය නිසි ලෙස අවශෝෂණය කර ගැනීමට නොහැකි වීමයි. අධික තෙහෙට්ටුව, ඇඟපත කැක්කුම, සන්ධි වේදනාව සහ මානසික අවපීඩනය මෙහි ලක්ෂණ වේ. මෙවැනි ලක්ෂණ පවතී නම් රුධිර පරීක්ෂාවක් මඟින් විටමින් D මට්ටම පරීක්ෂා කර ගැනීම නිවැරදි පියවරකි.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?