අද කාලයේ අපි ජීවත් වන වේගවත් ජීවන රටාවත් සමඟ “ඇසිඩ්” කියන වචනය බොහෝ දෙනාට අලුත් දෙයක් නොවේ. උදේ ආහාරය මඟහැරීම, වේලාව නොබලා ආහාර ගැනීම, කෝපි කෝප්ප
කිහිපයක් පානය කිරීම, මිරිස් බහුල ආහාර සහ අධික ආතතිය මේ හැමදේම එකතු වී අපගේ උදර සෞඛ්‍යය නිහඬවම බලපෑමට ලක් කරයි.
එය ප්‍රථමයෙන්ම දැනෙන්නේ සුළු දැවිල්ලක්, උදර අසහනයක් වැනි ලක්ෂණ වලිනි. නමුත් ඒවා නොසලකා හරින විට, එය බරපතළ රෝග තත්ත්ව බවට පත් විය හැකිය. මෙවැනි ගැටලු පාලනය කිරීමට වෛද්‍යවරුන් විසින් බහුලව භාවිත කරන ඖෂධයක් වන්නේ “ඔමිප්‍රැසෝල්” ය. ඒ නිසා ඔමිප්‍රැසෝල් ක්‍රියා කරන ආකාරය, භාවිත කළ යුතු නිවැරදි ක්‍රමය සහ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ දැනුවත්භාවය ඉතා වැදගත් වේ.
ඔමිප්‍රැසෝල් යනු
ඔමිප්‍රැසෝල් (Omeprazole) යනු උදරයේ අම්ලය වැඩිවීම හා සම්බන්ධ රෝග තත්ත්ව ගණනාවක් සඳහා භාවිත කරන ප්‍රබල ඖෂධයකි. මෙය රෝග ලක්ෂණ අඩු කිරීම පමණක් නොව, අම්ල නිපදවීම පාලනය කිරීම මඟින් රෝගයේ මූලික හේතුවටම ප්‍රතිකාර සපයන ඖෂධයකි.
ඖෂධ කාණ්ඩය සහ විශේෂත්වය
ඔමිප්‍රැසෝල් අයත් වන්නේ “ප්‍රෝටෝන් පොම්ප අවහිරක” (Proton Pump Inhibitors – PPIs) කාණ්ඩයටය. මෙම ඖෂධ කාණ්ඩය උදරයේ අම්ල නිපදවීමේ අවසාන පියවරම අවහිර කරමින් ක්‍රියා කරයි. සාමාන්‍ය antacids අම්ලය තාවකාලිකව අඩු කරන අතර, PPIs වර්ගය අම්ල නිපදවීමම පාලනය කරන නිසා දිගුකාලීන හා ප්‍රබල ප්‍රතිඵල ලබා දෙයි. Pantoprazole, Esomeprazole, Lansoprazole වැනි ඖෂධ ද මෙම කාණ්ඩයට අයත් වේ.
අඩංගු සංයෝග
මෙහි ප්‍රධාන ක්‍රියාකාරී ද්‍රව්‍යය Omeprazole වන අතර, lactose, gelatin, magnesium stearate සහ sodium bicarbonate වැනි ද්‍රව්‍ය ද අඩංගු වේ. මෙම ඖෂධය ආන්ත්‍රික ආලේපනයකින් (enteric coating) ආවරණය කර ඇති බැවින්, එය උදරයේ අම්ලයෙන් විනාශ නොවී අන්ත්‍රයේදී අවශෝෂණය වේ. කැප්සියුල, පෙති (ටැබ්ලට්), දියර (suspension) සහ එන්නත් ලෙසද මෙය ලබා ගත හැකිය.
ශරීරයේ ක්‍රියා කරන ආකාරය
ඔමිප්‍රැසෝල් උදරයේ parietal cells තුළ ඇති proton pump අක්‍රිය කරමින් අම්ල නිපදවීම අවහිර කරයි. එමඟින් උදරයේ අම්ල මට්ටම අඩුවී, පටලය සුව වීමට අවකාශ ලැබේ. දැවිල්ල, වේදනාව සහ අසහනය වැනි ලක්ෂණ ද අඩුවේ. එක් මාත්‍රාවක් ගත් පසු පැය 24–48ක් පුරා මෙය ක්‍රියා කරයි.
නිවැරදි භාවිතය සහ මාත්‍රාව
වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් දිනකට මිලිග්‍රෑම් 20–40ක් ලබා දෙයි. බරපතළ+++++++++++++++++++++++ තත්ත්වවලදී දිනකට දෙවරක් ලබා දිය හැකිය. මෙය උදේ ආහාරයට පෙර මිනිත්තු 30–60 අතර කාලයකදී ගන්නා විට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙයි. කැප්සියුල හෝ පෙති කැඩීම හෝ හැපීම නොකළ යුතුය.
භාවිත කරන රෝග තත්ත්ව
උදරයේ දැවිල්ල (පපුව දැවිල්ල වැනි දැනීම), ආහාර ගැනීමෙන් පසු උගුරට අම්ලය ඒම (acid reflux), උදරයේ හෝ අන්ත්‍රයේ තුවාල (ulcer) ඇති විට, බඩේ වේදනාව, අජීර්ණය වැනි අම්ල සම්බන්ධ ගැටලු ඇති විට සහ දිගින් දිගටම වේදනා නාශක ගන්නා අයගේ උදරයේ තුවාල ඇතිවීමෙන් ආරක්ෂා වීමට මෙය ලබා දෙයි. මෙය රෝග ලක්ෂණ පාලනය කරනවා මෙන්ම පටක සුව කිරීමට ද උපකාරී වේ.
අතුරු ආබාධ
සාමාන්‍යයෙන් හිසරදය, ඔක්කාරය, උදර වේදනාව, පාචනය හෝ මලබද්ධය වැනි ලක්ෂණ ඇතිවිය හැකිය. දිගුකාලීන භාවිතයේදී විටමින් B12 සහ මැග්නීසියම් අඩුවීම, අස්ථි දුර්වල වීම සහ ආසාදන අවදානම වැඩිවීම දක්නට ලැබේ. දුර්ලභ නමුත් බරපතළ ලෙස වකුගඩු ආසාදන සහ බඩවැල් ආසාදන ද ඇතිවිය හැකිය.
භාවිත නොකළ යුතු අවස්ථා
PPI ඖෂධවලට ආසාත්මිකතාව ඇති පුද්ගලයන් මෙය භාවිත නොකළ යුතුය. දිගුකාලීනව පැහැදිලි නොවන රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍ය පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ.
ඖෂධ අන්තර් ක්‍රියා
Clopidogrel, Warfarin, Diazepam, Phenytoin වැනි ඖෂධ සමඟ අන්තර් ක්‍රියා ඇතිවිය හැකිය. වෙනත් ඖෂධ භාවිත කරනවා නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත් වේ.
විශේෂ අවස්ථාවල භාවිතය
ගර්භිණී කාලයේදී සාමාන්‍යයෙන් ආරක්ෂිත ලෙස සැලකේ. කිරි දෙන මවුවරුන්ට මෙය භාවිත කරන විට මවුකිරි හරහා සිරුරට යන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. වකුගඩු සහ අක්මා රෝගීන්ට මාත්‍රා වෙනස් කිරීම අවශ්‍ය විය හැකිය.
වැරදි අදහස් සහ සත්‍යය
මෙය ක්ෂණික සහනයක් ලබා දෙන ඖෂධයක් නොවේ. වෛද්‍යවරයකුගේ උපදෙස් නොමැතිව දිගුකාලීනව භාවිත නොකළ යුතුය. හදිසියේ නතර කිරීමෙන් අම්ල ශ්‍රාවය නැවත වැඩිවිය හැකිය.
අධිමාත්‍රාව
අධිමාත්‍රාව නිසා ව්‍යාකූලත්වය, මත් ගතිය, හෘද ස්පන්දන වේගය වැඩිවීම සහ වමනය වැනි ලක්ෂණ ඇතිවිය හැකිය. විශේෂ ප්‍රතිවිෂයක් නොමැති බැවින් එවැනි අවස්ථාවක ආධාරක ප්‍රතිකාර ලබා දීම සිදු කරයි.
අවසන් වශයෙන්, ඔමිප්‍රැසෝල් යනු උදරයේ අම්ලය පාලනයට ඉතා ප්‍රබල ඖෂධයක් වන අතර, එය නිවැරදිව සහ වෛද්‍ය උපදෙස් අනුව භාවිත කිරීමෙන් උදර සෞඛ්‍යය රැකගැනීමට සහ නීරෝගි දිවියකට විශාල උපකාරයක් ලබාගත හැකිය.
TEXT – විදුමිණි දිසාකරුණා
