සීරුවෙන් සිටින්!
පහසුවෙන් සිටින්! ගමනේ යා!
වම දකුණ වම, වම දකුණ වම….”
ඉතාම ක්‍රමානුකූලව නැඟෙන ඒ විධානාත්මක ස්වරයට අනුකූලව දෙපා ඔසවා අභිමානවත් ගමනින් පෙරට ඇදෙන්නේ කවුදැයි මම මඳක් විමසිලිමත් වූයෙමි. නිදහස් දිනය ද පසු වී තිබේ. පාසල් ක්‍රීඩා උත්සවයක් ද නොවේ. ඒ හඬ ඇසෙන්නේ අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ වැඩිහිටි සත්කාර ඒකකයෙනි.
“මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ” යන වැකිය මුසාවක් බවට පසක් කරමින් අවුරුදු හැට හෝ ඊට වැඩි වයසක් පසු කරන මවුවරුන් සහ පියවරුන් පිරිසක් සුදෝසුදු ටී කමිසවලින් ද කළු දිග කලිසම් හා සැහැල්ලු ක්‍රීඩා පාවහන් ද පැලඳිය යුතු පරිදි සැරසී, සිය අණදෙන උපදේශකයාගේ සහ උපදේශිකාවන්ගේ වදනට අනුව දෙපා තබමින් නීරෝගි ජව සම්පන්න තරුණ පෙළක් සේ පෙළපාළි යති. දෑත් දෙපා විහිදුවමින් ව්‍යායාම කරති. තාලයට සිංදු කියමින් සිත ගත සැහැල්ලු කර ගනිති. නටති. අත්පොළසන් දෙති. සිනාසෙති. වගතුග කතා කරති. අවසන් මිනිත්තු කිහිපය සිත එක් තැන් කරන භාවනාවක යෙදෙති. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර යන්නේ යළිත් ඊළඟ සතියේ ව්‍යායාම පන්තියට පැමිණීම ගැන සිහින දකිමිනි.
වැඩිහිටි සිතත් ගතත් සතුටින් හා සුවයෙන් පුරවන මේ වැඩසටහන පිළිබඳ දැන ගන්නට අපි අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී නිරංජන් මුදලිගේ මහතා හමුවුණෙමු. ඔහු පවසන පරිදි අන්තර්ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රවර්ධන ‘අයිකෝප්’ (ICOPE) වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇරඹුණු නියමු ව්‍යාපෘතිය වන්නේ අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ වැඩිහිටි සත්කාර හා ශරීර සුවතා වැඩසටහනයි.
“ශ්‍රම බලකායෙන් ඉවත්වන වැඩිහිටි ජනතාව ආර්ථිකයට බරක් නොවන පරිදි තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු තමා විසින්ම කරගන්නට හැකි කායික හා මානසික සුවයෙන්ද යුතු කාර්යශීලි පිරිසක් බවට පත්කිරීම එම වැඩසටහනේ අරමුණයි. ජීවිත කාලයෙන් වැඩි කොටසක් ක්‍රියාශීලිව ගත කර විශ්‍රාම ලැබීමෙන් පසුව නිවෙසට සීමා වෙමින් පාළුවෙන් අක්‍රියශීලිව ගත කරන කාලය අඩුකර වැඩිහිටියන් කායිකව හා මානසිකව සවිබල ගැන්වීමට අපි මෙම වැඩසටහන මඟින් උත්සාහ කරනවා.” යැයි වෛද්‍යතුමා පවසයි.
“කෝවිඩ් උවදුර පාලනය වීමත් සමඟම අපි මේ වැඩසටහන ආරම්භ කළේ 2022 වසරේදී. එවකට රෝහලේ පැවැති අවම පහසුකම් යටතේ්. වැඩිහිටි සෞඛ්‍ය සංරක්ෂණ පිළිබඳ පුහුණුව ලත් මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියගේ උපදෙස් මත. පළමුවෙන්ම වැඩිහිටියන් දෙතුන් දෙනකු සහභාගි කර ගනිමින් ඇරඹූ වැඩසටහන දැන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. පසුකාලීනව මමත්, අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයත් වැඩිහිටි සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ වැඩිදුර දැනුම ලබාගෙන මෙම වැඩසටහනට මඟ පෙන්වමින් කටයුතු කරනවා” යැයි වෛද්‍ය මුදලිගේ පවසයි.
“මේ වනවිට අතුරුගිරිය අවට ප්‍රදේශ රැසකින් වැඩිහිටියන් දෙසීයක් පමණ පිරිසක් අපගේ සේවාවන් ලබා ගන්නවා. ඔවුන් වැඩිහිටි සත්කාර ඒකකයේ ලියාපදිංචි වී සතියේ දින තුනක් උදෑසන මෙහි පැමිණ මධ්‍යහ්න දොළහ පමණ වනතුරු පැවැත්වෙන වැඩිහිටි ශරීර සුවතා වැඩසටහනට සහභාගි වෙනවා. ආරම්භයේදී පුහුණුව ලත් වැඩිහිටි සාමාජිකයන් කීපදෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙම වැඩසටහන පවත්වාගෙන යනවා. ඇතැම් විට අංශභාග තත්ත්වයෙන් පසුව සුවය ලබමින් භෞත චිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටි වැඩිහිටියන් පවා මෙම වැඩසටහනට සහභාගි වීමෙන් ක්‍රමානුකූලව නීරෝගි සුවය ලබා සිටිනු දක්නට ලැබීම අපට විශාල සතුටක්.
වියපත් මවුපියන් බොහෝ විට නිවෙස්වල දිවා කාලයේදී තනි වෙනවා. ඔවුන්ට කතාබහ කරන්නට කෙනෙක් නෑ. ඇතැම් විට දරුවන්ගේ දරුවන් රැක බලා ගනිමින් ඒකාකාරී දිවියක් ගත කරනවා. ඔවුන්ගේ දරුවන්ට රැකියාව, ආර්ථික ප්‍රශ්න, සිය දරුවන්ගේ ගැටලු හමුවේ මවුපියන් වෙත අවධානය යොමු කරන්නට කාලය මදි වෙනවා. මේ කරුණු සිතේ තබාගෙන වේදනාවෙන් හා අසතුටෙන් පසුවන වැඩිහිටියන්ගෙන් වැඩි දෙනෙකු විදය වැනි මානසික රෝගවලට ගොදුරු වෙනවා. බෝ නොවන රෝග ඇත්නම් ඒවා වැඩි වෙනවා. අපි උත්සාහ කරන්නේ එලෙස ඒකාකාරී ලෙස අලසව කල්ගත කරන වැඩිහිටියන් මෙවැනි වැඩසටහන්වලට සහභාගි කරගෙන ක්‍රියාශීලි ප්‍රීතිමත්, ඵලදායි ජන කොටසක් බවට පත්කිරීමටයි. කෙටියෙන් පැවසුවොත් ඇඳට වී ගත කරන කාලය අවම කර තමාගේ වැඩ ටික තමාටම කරගන්නට හැකි සතුටින් සිටින, තමාට මෙන්ම සමාජයටත් ඵලදායි පිරිසක් බවට වැඩිහිටියන් පත් කිරීමට” යැයි වෛද්‍ය මුදලිගේ පවසයි.
වර්තමානයේ මෙම වැඩසටහන භාරව කටයුතු කරන්නේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනී කේ.කේ. අයි. මදුමාලි මහත්මියයි. ඒ මහත්මිය පවසන්නේ මෙම වැඩිහිටි සත්කාර ඒකකය රෝගීනට පමණක් සීමා වූ සායනයක් නොවන බවයි. වයස අවුරුදු හැටෙන් ඉහළ ඕනෑම අයකු සඳහා එය විවෘතය. එහි ලියාපදිංචි වීමෙන් නීරෝගි වැඩිහිටියන්ටද තමා බෝ නොවන රෝගවලට හෝ වෙනත් රෝගයකට ගොදුරු වීමේ අවධානමක් ඇත්දැයි පරීක්ෂා කර දැනගැනීමට අවස්ථාව ලැබේ. වියපත්වීමත් සමඟ ඇතිවන ඇස් පෙනීමේ දුබලතා, ශ්‍රවණාබාධ, මතක ශක්තිය හීන වීම, ඇවිදීමේ දුබලතා, මානසික ඒකාග්‍රතාව පිළිබඳ ගැටලු, අමතක වීම, කාන්සාව, විෂාදය, අත්පා සවිමත් චලන නොවීම, සමබරතාවයේ ගැටලු වැනි බොහෝ ආබාධ කල්තියා හඳුනාගත හැකිය.
මදුමාලි මහත්මිය පවසන පරිදි මෙම රෝග තත්ත්ව කල්තියා හඳුනා ගත් විට අදාළ වෛද්‍යවරුන් වෙත යොමු කර නොමිලේම ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබා දේ. මෙම වැඩිහිටි සත්කාර ඒකකයේ සාමාජිකයන්ගෙන් වයස අවුරුදු 65-75 අතර වැඩිහිටියන් අතර මෙතෙක් වැඩි වශයෙන්ම හඳුනාගෙන ඇත්තේ ඩිමෙන්ෂියාව හෙවත් මතකය අඩුවීම බව මධුමාලි මහත්මිය පවසයි. එවැනි වැඩිහිටියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඔවුන් අදාළ සායන වෙත යොමු කෙරේ.
වැඩිහිටි වියේදී අවශ්‍ය පමණට පෝෂ්‍යදායි ආහාර පාන ලබා ගැනීම, වයසට සුදුසු ව්‍යායාම මෙන්ම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන වැඩසටහන්ද මෙයට අයත්ය. මෙයට සහභාගි වන බොහෝ දෙනකු තමාට නියමිත ව්‍යායාම දිනය සතියේ ප්‍රියතම දිනය ලෙස සලකති. ව්‍යායාමවලට අමතරව සිංදු ගායනා කිරීම, සුළු වේලාවක් භාවනා කිරීම, කතන්දර හෝ විහිළුවක් කියා සිනාසෙමින් එකිනෙකා හමුවී සතුටු වීම දැන් මෙහි සාමාජිකයන්ගේ ජීවිතෙය් වටිනාම අංගයක් බවට පත්වී තිබේ. ආරම්භක සාමාජිකයන් වූ නිලන්ත උඩුගම්පල, පාලිකා මුතුගල සහ අයිරාංගනී යන මහත්ම මහත්මීන් විසින් ඉතා ක්‍රමානුකූලව මෙම වැඩිහිටි සුවතා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ස්වේච්ඡාවෙනි.
වර්තමානය වන විට අන්තර්ජාතික අයිකෝප් වැඩසටහන යටතේ ඇරඹුණු නියමු ව්‍යාපෘති අතරින් අඛණ්ඩවම ක්‍රියාත්මක කෙරෙන වැඩිම සාමාජික පිරිසක් සහභාගි වන මෙරට ඇති එකම වැඩසටහන අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ පැවැත්වෙන වැඩිහිටි සත්කාර ඒකක වැඩසටහන වේ. අයිකෝප් මවු සංවිධානයේ තාක්ෂණික සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා සංවිධානය (JICA) අනුග්‍රහය දක්වා තිබේ. වැඩිහිටියන්ගේ සුබසාධනය උදෙසා කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම වැඩිහිටි සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සංවිධානද මෙම වැඩසටහනේ සාර්ථකත්වය අගයමින් එය නියමු ව්‍යාපෘතියක් ලෙස ආදර්ශයට ගනිමින් සිටිති.
TEXT – සාගරිකා දිසානායක
