Monday, May 11, 2026
Epaper
Home විශේෂාංගබුදුන් වැඩ විසූ පුදබිමේ වගතුග

බුදුන් වැඩ විසූ පුදබිමේ වගතුග

by Shanaka Lakehouse

වක්කලී තෙරණුවන් දැඩි සේ ගිලන්ව, බුදුන් වහන්සේ දැකීමට ආශාවෙන් සිටි නමුත් ගිලන්බව නිසා එය කරගත නොහැකිව තැවෙමින් රජගහ නුවර අසල අරමක වැඩ සිටි සේක. වක්කලී තෙරණුවන්ගේ උපස්ථායකයන් වහන්සේ බුදුන් වහන්සේට එය සැළ කළ විට බුදුන් වහන්සේ වක්කලී තෙරණුවෝ සොයා වැඩි සේක. එතැනදී තමන් වහන්සේ දැකීමට හේතු කාරණා කවරේදැ යි වක්කලී තෙරුන් වහන්සේගෙන් විමසූ බුදුන් වහන්සේ,

“වක්කලිය, මේ කුණු කය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලී යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකීයැ” යි පැවසූ සේක. යමකුට බුදුන් දැකීමට අවැසි නම් සද්ධර්මය දැකීම ප්‍රමාණවත් බව බුදුන් වහන්සේ දෙසූ දහමේ සඳහන්ව තිබේ. වක්කලී සූත්‍රයේ සඳහන් මේ දේශනාව සංයුක්ත නිකායට ඇතුළත් වේ.

බෞද්ධයයින්ට සංවේග උපදවිය හැකි ස්ථාන සතර

බුදුන් නොමැති කල දුරබැහැර සිට එන භික්ෂූන් වහන්සේ කුමක් දැක සිත පහදවා ගන්නේදැ යි වරක් ආනන්ද හිමි බුදුන්ගෙන් ඇසීය. එතැනදී බුදුන් වහන්සේ, “ආනන්දය, එවැනි ස්ථාන 4ක් තිබේ. තථාගතයන් වහන්සේ මෙහි උපන් සේක, තථාගතයන් වහන්සේ මෙතැන සම්මා සම්බුදු වුණු සේක, තථාගතයන් වහන්සේ මෙතැන ප්‍රථම දහම් දෙසුම පැවැත්වූ සේක, තථාගතයන් වහන්සේ මෙතැන දී පිරිනිවී සැනසුණු සේකැයි යන ස්ථාන බුදුන් නැති කලෙක සැදැහැවත් කුල පුත් හට දැක සංවේග උපදවිය හැකි ස්ථානයැ යි මහාපරිනිර්වාණ සූත්‍රයේ දක්වා තිබේ. බුදුන් ජීවමානව සිටි කල වැදගත්ම ස්ථාන හතරක් වූ මෙම ස්ථාන දැකබලා, වැඳ පුදාගැනීම බෞද්ධයකුගේ සිත සැනහීමට හේතුවන බව කියවේ. මේ ස්ථාන සතර බුදුන් විසූ දඹදිව හෙවත් උතුරු ඉන්දියාවේ සහ නේපාලයේ පිහිටා තිබේ. ලොව වටා ඉතිහාසඥයන් සහ ජපානය, චීනය, කොරියාව ආදී දියුණු බෞද්ධ රටවල විද්‍යාඥයන් ද මේ ස්ථානයන්හි නිසැක බව තහවුරු කොට තිබේ. බුදුන් වහන්සේ උපන් තැන නේපාලයේ ලුම්බිණිය, බුදුවුණු වර්තමාන ගයාවේ බුද්ධගයාව, ප්‍රථම දම් දෙසුම වූ තැන සාරානාත්, සහ පිරිනිවී සැනසුණු කුසිනාරාව වර්තමාන කුශිනගර් ලෙස හඳුනාගෙන තිබේ.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ පින්බිම ලුම්බිණිය

නේපාලයේ සුන්දර පරිසරයක පිහිටි ලුම්බිණිය, පසුකලෙක සම්බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු වූ ස්ථානයයි. ඉන්දීය-නේපාල දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති මෙම පුදබිම වෙත දිල්ලි නුවර සිට දුම්රියෙන් පැමිණ, සොනෝලි බෝඩරය හරහා පිවිසෙන්නට හැකිය. ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම වන්දනාමානවලට ලක් වූ මෙම ස්ථානය අශෝක රජුගේ ද වන්දනාවට පාත්‍ර වූ බවට සාධකයක් ලෙස අශෝක ස්ථම්භය අදටත් විරාජමානව පවතී. නේපාල ජනතාවගේ අභිමානය බඳු වූ ලුම්බිණිය වර්තමානයේ ලොව වටා බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වේ.

සම්බුද්ධත්වයේ ආලෝකය බුද්ධගයාව

ලොව පුරා බෞද්ධ බැතිමතුන්ගේ මුදුන්මල්කඩ බඳු වූ බුද්ධගයාව, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ අති පූජනීය ස්ථානයයි. 1900 ගණන්වල මුල් භාගයේ දී “සිංහලයනි නැඟිටිව්! බුද්ධගයාව බේරාගනිව්!” යැයි පවසමින් අනගාරික ධර්මපාලතුමා කළ අසමසම කැපවීම හේතුවෙන් අද අපට මෙම පුදබිම නිදහසේ වන්දනා කිරීමට අවස්ථාව උදා වී ඇත. එතුමාගේ නොනවතින සටන හා ගාන්ධිතුමා වැනි විද්වතුන්ගේ සහයෝගය මත බුද්ධගයාව නැවත බෞද්ධ පාර්ශ්වයට ලබා ගැනීමට හැකි විය. ඉන්දියාවේ බිහාරයේ පිහිටි මෙහි පැමිණීමට දිල්ලි, කල්කටා සහ චෙන්නයි වැනි නගරවල සිට පහසු දුම්රිය සේවා හා ගුවන් ගමන් පහසුකම් පවතී.

ප්‍රථම ධර්ම දේශනාව සාරානාත්

බුදුන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන් උදෙසා දේශනා කළේ බරණැස ඉසිපතන මිගදායේ හෙවත් වර්තමාන සාරානාත්හිදී ය. වාරණාසී නගරයේ සිට කිලෝමීටර 11ක් පමණ දුරින් පිහිටි මෙහි අශෝක රජු විසින් කරවන ලද ප්‍රධාන ස්ථූපය දැකගත හැකිය. මූලගන්ධ කුටි විහාරය හා සාරානාත් කෞතුකාගාරය වන්දනාකරුවන්ගේ විශේෂ අවධානය දිනා ගන්නා ස්ථාන වේ.

සම්බුද්ධ පරිනිර්වාණය කුසිනාරාව

පන්සාලිස් වසක් ලෝ සතුන් හට මඟ පෙන්වූ ගෞතම බුදුන් වහන්සේ සිය අවසාන මොහොත සොබාදහම සමඟ ගත කරමින් පිරිනිවන්පෑවේ කුසිනාරාවේ සල් උයනේදී ය. අද ‘කුශිනගර්’ ලෙස හැඳින්වෙන මෙම ස්ථානයේ සිදුකළ කැණීම්වලින් සොයාගත් පිරිනිවන් මංචකය දැක්වෙන පිළිමය බැතිමතුන් තුළ ඇති කරන්නේ මහත් සංවේගයකි. ගොරක්පූර් දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 55ක් පමණ දුරින් පිහිටි මෙම භූමිය අද වන විට ඉතා මනරම් උද්‍යානයක් ලෙස සංවර්ධනය කර ඇත.

බුදුදහම ලොව පැතිර ගිය සේද මාවත

යුරෝපීයයන් සයුරු තරණය කිරීමට පෙර පවා බුදුදහම සේද මාවත ඔස්සේ චීනය, ජපානය හා පර්සියාව වැනි රටවල් කරා ව්‍යාප්ත විය. ලොව ප්‍රථම ජාත්‍යන්තර දර්ශනය බවට බුදුදහම පත් වූයේ එම ගෝලීය වෙළෙඳ සබඳතා හරහා ය. අද වන විට ඉන්දියාවේ බෞද්ධයන් සුළුතරයක් වුව ද, ලොව වටා මිලියන ගණනක් බැතිමත්තු වසරකට මෙම පුදබිම් වැඳ පුදා ගැනීමට පැමිණෙති. 2017 වසරේදී පමණක් ශ්‍රී ලාංකිකයන් 45,000කට අධික පිරිසක් නේපාලයට ගොස් ඇති අතර, එයින් බහුතරයකගේ අරමුණ වූයේ ලුම්බිණිය වන්දනා කිරීමයි.

ඔබත් බුදුන් වැඩ විසූ ඒ පින්බිම් වැඳ පුදා ගනිමින් ගැඹුරු අාධ්‍යාත්මික සුවයක් විඳීමට කැමැති ද? එසේ නම්, ඒ අත්දැකීම විඳගන්නට තෙමඟුල සමරන මේ මැයි මාසය හොඳම කාලය වණු ඇත.

 

TEXT – ඉරේෂා ගුණසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?