බතලේගල යන නම ඇසුණු සැණින් කෙනෙකුට සිතෙන්නේ මෙය බතල වගාවට ප්‍රසිද්ධ වූ තැනක් කියාය. එහෙත් එහි සැබෑ අරුත වන්නේ “බත්තල-ගල” යන්නයි. ‘බත්තල’ යනු ඔරුවට හෝ නැවට කියන තවත් නමකි. ඈත සිට බලන විට මුහුදේ පාවෙන නැවක හැඩය ගන්නා නිසා අතීත ගැමියන් මෙයට බතලේගල යැයි පවසා ඇත.
ඉංග්‍රීසි පාලන සමයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙයට ‘Bible Rock’ ලෙස නම් තැබුවේ විවෘත කරන ලද බයිබලයක හැඩය මෙහි ඇති බැවිනි. ඉතිහාසයට අනුව වළගම්බා රජු සතුරන්ගෙන් බේරී සැඟවී සිටි එක් ආරක්ෂිත බළකොටුවක් ලෙසද බතලේගල සැලකේ.
අපේ ගමන ඇරඹුණේ උදෑසනම කොළඹ දෙසිනි. කොළඹ – නුවර පාරේ මාවනැල්ල නගරයට පැමිණ එතැනින් අරණායක පාරේ කිලෝමීටර් 10ක් පමණ ගිය විට හමුවන ‘හත්ගම්පොළ’ හන්දියෙන් බතලේගල මාවතට පිවිසිය හැකිය.
මාවනැල්ලේ සිට ඉදිරියට යද්දී දකුණු පසින් තේජවන්තව නැඟේ සිටින බතලේගල පර්වතය දිස්වන අයුරු අපූර්වය. පටු වංගු සහිත මාර්ගය දෙපස ඇති රබර් වතු, තේ වතු සහ කුඩා දියකඩවල් ගමනට එක් කරන්නේ අපූර්ව හැඟීමකි. කන්ද පාමුලටම වාහනයකින් යා හැකි වුවත්, පයින් යන ගමනේ ඇති සුවය විඳින්නට නම් ඔබ කන්ද පාමුල සිටම ඇවිද යා යුතුය.
බතලේගල තරණය කිරීම සීගිරිය තරම් වෙහෙසකර නැත. මුල් කොටස කොන්ක්‍රීට් දැමූ පාරක් වන අතර, ඉන්පසු ස්වාභාවික ගල් පියගැටපෙළ සහ කැලෑ මාර්ගය හමුවේ. අවට පරිසරය අතිශය නිහඬය. කුරුල්ලන්ගේ නාදයත්, අතරින් පතර ඇසෙන වඳුරන්ගේ කෑගැසීමත් හැරෙන්නට වෙනත් ශබ්දයක් එහි නැත.
ගමන අතරතුර පිපාසය නිවාගන්නට දිය ඇල්ලක් හෝ දිය දහරක් නොමැති වුවත්, අතු පතරින් එන සිසිල් සුළඟ ඔබේ වෙහෙස නිවා දමනු ඇත. පර්වතයේ ඉහළට යත්ම මාවත පටු වන අතර, ඇතැම් තැන්වල ගල් කුළු අතරින් රිංගා යාමට සිදු වේ. මෙය සංචාරකයින්ට එක් කරන්නේ වෙනස්ම ආකාරයේ ත්‍රාසජනක අත්දැකීමකි.
පැයක පමණ තරණයකින් පසු ඔබ කඳු මුඳුනට පැමිණි විට පෙනෙන දර්ශනය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දරය. මුඳුනත තැනිතලා ස්වභාවයක් ගන්නා අතර එහි කුඩා විහාරගෙයක් සහ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිති.
කඳු මුඳුනේ සිට අංශක 360ක දර්ශනයක් දැකගත හැකිය:
උතුරු පසින්
උතුවන්කන්ද සහ සරදියෙල් ගල.
නැඟෙනහිර පසින්
අම්බුළුවාව සහ නුවර අවට කඳු පන්ති
දකුණු පසින්
මහා තේජවන්ත අලගල්ල කන්ද
බටහිර පසින්
කෑගල්ල සහ මාවනැල්ල නගරයේ සුන්දරත්වය
විශේෂයෙන්ම උදෑසන කාලයේදී අවට කඳු නිම්න මීදුමෙන් වැසී ඇති අයුරු දකින විට, ඔබ වලාකුළු මත සිටගෙන සිටිනවා වැනි හැඟීමක් දැනෙනු ඇත. කඳු මුඳුනේ ඇති දැඩි සුළඟ ඔබේ ගත මෙන්ම සිතද නිවාලනු නිසැකය.
බතලේගල මුඳුනේ ඇති විහාරස්ථානය අනුරාධපුර යුගයට නෑකම් කියන බව පැවසේ. එහි ඇති කුඩා ලෙන් විහාරය තුළ පැරණි සිතුවම් සහ බුද්ධ ප්‍රතිමා දැකගත හැකිය. මේ උස් කඳු මුඳුනක එවැනි නිර්මාණයක් කිරීම අතීත ශිල්පීන්ගේ දක්ෂතාව මනාව කියාපාන්නකි. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ ඉතාමත් දුෂ්කරව මෙහි වැඩ වසමින් මේ පින්බිම ආරක්ෂා කරති.ඔබ බතලේගල යන්නට සූදානම් නම් මේ කරුණු ගැන සැලකිලිමත් වන්න.
ජලය සහ ආහාර
කන්ද මුඳුනේ කඩ සාප්පු නැත. එබැවින් අවශ්‍ය ජලය සහ සැහැල්ලු ආහාර ඔබ රැගෙන යා යුතුය. (කරුණාකර ප්ලාස්ටික් බෝතල් සහ කොළ කැබලි පරිසරයට මුදා නොහරින්න).
පාවහන්
ගල් මත ඇවිදීමේදී ලිස්සා නොයන, පහසු පාවහන් යුගලක් පැලඳිය යුතු අතර එය ඉතා වැදගත්ය.
කාලගුණය
වැසි දිනවල ගල් තලාව ඉතා ලිස්සනසුලු බැවින් ගමන අනතුරුදායක විය හැකිය. එබැවින් වියළි කාලගුණයක් ඇති දිනක් තෝරාගන්න.
සිරිත් විරිත්
මෙය පුදබිමක් බැවින් සුදුසු ඇඳුමකින් සැරසී, ශබ්ද නොකර සංචාරය කිරීමට වගබලා ගන්න.
බතලේගල යනු හුදෙක් ගලක් උඩට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට පමණක් ඇති තැනක් නොවේ. එය සොබාදහමේ අසිරියත්, ලාංෙක්ය ඉතිහාසයේ අභිමානයත් එකට මුසු වූ තැනකි. තට්ටු නිවාස සහ කොන්ක්‍රීට් වනාන්තරවල හිර වී සිටින ඔබ, නිදහසේ හුස්ම ගන්නට කැමති නම්, එළඹෙන නිවාඩු දිනයක බතලේගල සොයා යන්න.
ඒ යන ගමනේදී මාවනැල්ලේ රජමහා විහාර, උතුවන්කන්ද වැනි අවට ඇති අනෙකුත් සංචාරක ස්ථාන නැරඹීමටද ඔබට අවස්ථාව ඇත. අපේ රටේ ඇති මෙවැනි වටිනා උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම අප සැමගේ වගකීමකි.
ඡායාරූප සහ මතකයන් පමණක් රැගෙන එන්න – පරිසරයට කිසිවක් ඉතිරි කර නොඑන්න.
TEXT – තෙරේෂා ලක්ෂ්මි
