Monday, May 11, 2026
Epaper
Home විශේෂාංගසප්ත ස්වරයට බැඳි සොඳුරු කලාකාරිනිය

සප්ත ස්වරයට බැඳි සොඳුරු කලාකාරිනිය

by Shanaka Lakehouse

කලාව යනු හුදෙක් රස වින්දනයක්ම පමණක් නොවේ. එය ඇතැමෙකුගේ ජීවිතයයි. තවත් අයෙකුට එය තමන්ව ලොවට හඳුන්වා දෙන අනන්‍යතාවකි. මේ කියන්නට යන්නේ එවන් වූ අපූර්ව අනන්‍යතාවකින් ලාංකේය කලා ලොව හැඩකරන, නිහඬවම තමන්ගේ ගමනක් යන දිරිය දියණියක පිළිබඳවයි. ඇය නමින් සුජනි මොල්ලිගොඩ ය.

ඇය සතු දක්ෂතාවන් එක් පසෙකට සීමා වී නොමැත. එය හරියටම විවිධ වර්ණයන්ගෙන් සුසැදි දේදුන්නක් මෙනි.

ඇය පොලන්නරුව සීවලී විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගෙනගෙන පොලන්නරුව රාජසිංහ විද්‍යාලයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබේ.

සුජනි හුදෙක් එක් ක්ෂේත්‍රයකට පමණක් කොටු වූ චරිතයක් නොවේ. ඇය සතු දක්ෂතා පරාසය පුළුල් ය. මියුරු කටහඬකින් අනෙක පිනවීමේ අපූර්ව හැකියාවක් ඇය සතුය. ඇයගේ ගායනයන්හි ඇති සජීවී බව රසික හදවත් නිතැතින්ම ඇඳ බැඳ තබා ගනී. මේ හැකියාව නිසාවෙන්ම 2016/ 2017 වසරවල සමස්ත ලංකා පාසල් ගායනා තරගාවලියේ ප්‍රථම ස්ථානයත් 2018 වසරේ සමස්ත ලංකා දහම් පාසල් පාලි භාෂා ගායනා තරගාවලියෙන් තුන්වැනි ස්ථානයත් හිමි කර ගන්නට ඇයට අවස්ථාව ලැබී තිබේ.

එමෙන්ම “කන්ද උඩින් ඉර මාමා” සහ “ලස්සන වෙන්න හිතුවා මන්” යන ඇගේ ගීත දෙක මේ වන විට YouTube ඔස්සේ ඔබට රස විඳිය හැකියි.

එපමණක්ද නොවෙයි. ඇය වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන අංශයන්හිද තම රංගන ප්‍රතිභාව විදහා පෑ රංගන ශිල්පිනියකද වෙයි. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වන සෝමරත්න දිසානායකයන්ගේ “සුනාමි” සිනමා පටයේද රංගනයට එක් වී ඇත.

නර්තන අංශයෙන්ද දස්කම් පෑ ඇය පළාත් ජයග්‍රහණ රැසක හිමිකාරිනියකි. පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළ ඇය මේ වන විට පොලන්නරුව විශාඛා දහම් පාසලේ ආචාර්යවරියක ලෙස මහඟු සේවයක් සිදු කරයි.

ව්‍යක්ත බසින් සහ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් තුළින් ඕනෑම සජීවී වැඩසටහනක් අර්ථවත් කිරීමට ඇය සතු නිවේදන හැකියාව මනා පිටිවහලකි.

සුජනිගේ විශේෂත්වය වන්නේ ඇය සතු මේ සා විශාල දක්ෂතා පරාසය නොව, එම දක්ෂතා සමඟ ඇය පවත්වාගෙන යන නිහතමානීත්වයයි. කලා ලොවේ ජනප්‍රියත්වය හඹා යන බොහෝ දෙනකුට ඇය දෙන්නේ ආදර්ශයකි. තමන්ගේ සහජ දක්ෂතාවන් ඔපමට්ටම් කර ගැනීමට ඇය දක්වන උනන්දුව සහ කැපවීම ඇයගේ සාර්ථකත්වයේ රහසයි.

බැංකු කළමනාකාරිනියක් වීම සුජනිගේ අනාගත බලාපොරොත්තුවයි. මේ සියලු දේ සඳහා ඇගේ නිබඳ ශක්තිය අම්මා, තාත්තා සහ අක්කාත් නංගීත් ය. ඒ අතරම සුසන්ත රනුක කුමාරසිංහයනුත් ඇය මහත් බැති සිතින් සිහිපත් කරයි.

ඇය තමන්ගේම ආලෝකයෙන් අඳුර පලවා හරින, තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟාගත් සැබෑ දක්ෂ දියණියකි. ඇයගේ ඉදිරි කලා කටයුතු සියල්ල සාර්ථක වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

නො. 75, වැව පහළ අලුත් වැව, පොළොන්නරුව යන ලිපිනයේ පදිංචි සුජනී දියණියට කලා ලොව දිග් විජය කරන්නට තරුණී අපද සුබ පතමු.


TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?