ඉතා කෙසඟ රුවක් මුත් යෝධ සිතක් ඇති මිනිසෙක් පසුගියදා අප අතරින් සදහටම සමු ගත්තේය. අතු පතර විහිදුණු මහා වෘක්ෂයක් බඳුව සිය මූල කේශ ජාලයෙන් තවත් වෘක්ෂ බිහි කරමින් ඒවාට සෙවණක්ද වෙමින් ඒ මහා යෝධයා ලෝකයට දුන්නේ මහත් ආදර්ශයකි.
එක්දහස් නමසිය තිස් හයේ වෙසක් සඳ බැබළෙන වෙසක් මහේ දහ අට වැනිදා ගාල්ල පාලටුව ගමේ උපත ලද ඔහු නමින් සිරිසුමන ගොඩගේ විය. සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ හය වැන්නා ලෙස උපන් මේ පුංචි දරුවාගේ පියා ගොවි මහතෙකි. ජේමිස් ගොඩගේ නම් වූ සිරිසුමන ගොඩගේ දරුවාගේ පියා ගොවියෙක් වුවත් ඔහු සන්තකයේ කිසිදු කුඹුරක් නොවීය. ඔහු ගොවිතැන් කළේ අඳයට ලැබුණු අනුන්ගේ කුඹුරුවලය. එක්දහස් නවසිය තිහේ දශකයේ ගාලු දිසාවේ සැම තැනකම පාහේ සුලබ දසුනක් වූ පොල් අතු සෙවිලි කළ කුඩා මැටි පැල්පතක සෙවණෙහි දිවි ගෙවූ සිරිසුමන ගොඩගේ දරුවා සිය සහෝදර සහෝදරියන් විසින් හැඳින්වුයේ හින්නි පුතා නමිනි. යාන්තම් වයස අවුරුදු දෙක තුන පසු කරන හින්නි පුතා නිතරම රෝගවලින් පීඩා විඳි අතර ඒ නිසාම ඔහුගේ පාසල් ගමන වසර දෙකකින් පමණ පමා විය. කෙසේ නමුත් වසර දෙකක පමාවකින් පසුව පාලටුව ගුණරතන විදුහලට ඇතුළත් වන හින්නි පුතා සුවච කීකරු ගුණ යහපත්කමින් හෙබි දරුවෙක් ලෙස පාසලේ ප්‍රකට විය.
අගහිඟකම් පිරුණු දිවියක් ගෙවූ මේ පවුලේ සියලු දෙනාගේ ජීවිතවලට සහයක් වන්නට හින්නි පුතා තණකොළ මිටි කිහිපයක් රැගෙන පාලටුව හන්දියේ ගසක් සෙවණෙහි තබා විකුණන්නට විය. හෝරා කිහිපයක් ගෙවෙන්නටත් පෙර තණකොළ මිටි සියල්ලම පාරේ යන එන කරත්තකරුවන්ට විකුණා දැමූ හින්නි පුතාගේ මුහුණේ සිනා මල් පිපුණේ සිය පළමු ව්‍යාපාරය සිතුවාටත් වඩා ඉක්මනින් සාර්ථක වූ බැවිනි. එයින් නොනැවතුණු හින්නි පුතා කීර මිටි, කුරුම්බා ආදිය වෙෙළඳාම් කරමින් සිය පවුලේ ආදායමට සවියක් විය.
දෙවැනි ලෝක යුද්ධයේ කටුකත්වයේ පීඩාව පවුලේ අගහිඟකම් දෙගුණ තෙගුණ කරවූ මේ කාලයේ හරි හම්බ කරන සොච්චම් කාසි නෝට්ටු අල්ලේම දියව යන්නාක් මෙන් විය පැහැදම් වන බව හින්නි පුතාට වැටහුණි. හින්නි පුතාට කොළඹ එන්නට මග පෑදෙන්නේ නොසිතූ සිදුවීමක් නිසාය. හින්නි පුතාගේ තාත්තා අඳයට වැපිරූ කුඹුරේ ගොයම් කැපීමට නියමිත දින උදා විය. ඒ අනුව ගොයම් කැපීමේ කයියේ උදව්වට පැමිණෙන ලෙස හින්නි පුතාටද තාත්තාගෙන් නියෝගයක් ලැබුණි. එහෙත් එදිනම මිතුරන් පිරිසක් පැමිණ හින්නි පුතාට නිල්වලා ගඟේ නාන්නට ඇරයුම් කළ හෙයින් තාත්තාගේ අණ ඔහුට අමතක විය.. ඒ නිසාම සවස් වන තුරු නිල්වලාවේ ඒ මේ අතර පිහිනමින් මිතුරන් සමඟ කල් ගෙවූ හින්නි පුතා සවස ගෙදරට එන විට තාත්තා කෝපයෙන් එළිපත්තට වී බලා සිටියේය. නැවත නිෙවසට එන අතරමග හින්නි පුතා පොල්දූව ඇලෙන් අල්ලා ගත් මාළු සමඟ මඤ්ඤොක්කා තම්බාගෙන කඩ බට පිරෙන්නට සප්පායම් වූයේ මිතුරන්ද කැටුවය. එය ඇසින් දුටු තාත්තාගේ හිතවතෙක් ඒ බව තාත්තාට සැල කර තිබුණි.
එදින තාත්තාගේ අණට කීකරු නොවු හින්නි පුතාට වේවැලෙන් පහර කන්නට සිදු විය. වේවැළෙන් පහර කෑ පහරේ කායික වේදනාවත් පොල්දූව ඇලේ මාළු අල්ලාගෙන කෑ බව තාත්තා දැන ගත් නිසා දැනුණු චිත්ත ලජ්ජාවත් හින්නි පුතාගේ සිතට දැඩිව දැනුණි.
එයින් වඩාත් කලකිරීමට පත්ව සිටි හින්නි පුතා පෙරළා ගමෙන් පිට ෙවන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. එහිදී සිරිසුමන හෙවත් හින්නි පුතාට උපකාර කරන්නේ ගම් වැසි මිතුරෙකු වූ සරණපාලය. සරණපාලගේ උදව්වෙන් කළුතර හෝටලයක වේටර් රැකියාවක් කරන සිරිසුමනට එයින් ලැබුණේ සොච්චම් වැටුපකි. ඒ නිසා නැවතත් ගමට පැමිණෙන සිරිසුමන තරුණයා නැවතත් ගමෙහි කලක් ගත කර නැවතත් සරණපාලගේ උදව්වෙන් රත්මලානේ ගොවිපළක රැකියාවකට එන්නේ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟය. ගොවිපළේ වැඩපල කරන අතරතුර සිය පුංචි අම්මාගේ පුත්‍රයා එහි පැමිණ සිය නිෙවසේ නැවතී රැකියාවට යන එන ලෙස කියා සිටියේය.
ඒ අනුව කළුබෝවිල පිහිටි සුවාරිස් නම් සිය ඥාතියාගේ නිවසේ සිට රත්මලාන ගොවිපළේ සේවයට යන්නට එන්නට සිරිසුමනට හැකි විය. අනතුරුව සුවාරිස් අයියාගේ උදව්වෙන් දර මඩුවක සේවයට එක් වන සිරිසුමන එහි කරත්තයක පටවාගෙන දර ප්‍රවාහනය කරන්නට කටයුතු කළේය. දර ප්‍රවාහනයට අමතරව දර පැළීම, දර අලෙවිය වැනි කාර්යයන්ද තරුණ සිරිසුමනට පැවරුණි. කරත්තයේ දර ප්‍රවාහනය කරන අතරතුර දිනක සිරිසුමනට පිළියන්දල පදිංචි මාමා කෙනෙක් හමු විය.
ඒ අනුව බෝකුන්දර මාමාගේ නිෙවසේ නතර වන්නට ලද ඇරයුම පිළිගත් සිරිසුමනගේ දෛවය වෙනස් කරන රැකියාව හිමි වන්නේ බාප්පාගේ මග පෙන්වීමෙනි. සිරිසුමනගේ බාප්පා ඔහුට විජේසේකර නම් මුද්‍රණාල හිමියෙක් හඳුන්වා දුන්නේය. විජේසේකර විසින් සිරිසුමනව මරදාන ජේ.සී. කුරේ මුද්‍රණාලයට යොමු කළේය. එහිදී අච්චු අකුරු සකස් කිරීමට ඉගෙන ගත් සිරිසුමන මුද්‍රණාලයේ මුද්‍රණය කරන පොත්පත් කියවන්නටද පුරුදු විය. අනතුරුව එවකට ග්‍රන්ථ ප්‍රකාශනයේ නම් දැරුවෙක් වූ ඩී.පී. දොඩංගොඩ සමාගම හා එක් වූ සිරිසුමන එහිදී පොත් බැඳීමේ වෘත්තිය ඉගෙන ගත්තේය.
අනතුරුව 1957 වසරේදී මිතුරෙකු හා එක්ව මාලිගාකන්දේ පොත් බැඳුම්හලක් ආරම්භ කරන විට සිරිසුමන 21 හැවිරිදි වියෙහි පසු විය. මේ සමයේ තරුණ සිරිසුමන විද්‍යෝදය පිරිවෙනේ වැඩ විසූ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමිගේ ඇසුර ලැබුවේය. නිතරම සිරිසුමනගේ කටයුතුවලට ආශීර්වාද කළ ආනන්ද මෛත්‍රිය හිමියෝ ඔහුට කොපින් නම් මුද්‍රණ යන්ත්‍රයක් තෑගි කළේය. අනතුරුව දෙමටගොඩ ප්‍රරෙද්ශයේ තනිවම මුද්‍රාණාලයක් අරඹන සිරිසුමන ගොඩගේ මහතා එහි නිමැවෙන පොත්පත් සියයට 10කට වට්ටමක් සහිතව විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් හිමිවරුන්ට සහන ක්‍රමයට අලෙවි කළේය. ඒ හරහා සිරිසුමන ගොඩගේ තරුණයා වඩාත් ජනප්‍රියත්වයට මෙන්ම ජනාදරයට ලක් විය. අනතුරුව සේවකයින් සිව් දෙනෙක් බඳවා ගන්නා තරමට මුද්‍රණාලය කාර්යබහුල විණි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට පොත් සැපයීමේ ඇණවුමද සිරිසුමන ගොඩගේ මහතාගේ මුද්‍රණාලයට හිමි වීම විශේෂත්වයකි.
1970 වසරේ මරදානේ ගොඩනැඟිල්ලක් බදු පදනම යටතේ ලබා ගත් ගොඩගේ මහතා එහි පොත් හලක් විවෘත කළේය. කල් යත්ම එම ගොඩනැඟිල්ලම මිලට ගත් ගොඩගේ මහතා අද දැක ගත හැකි ගොඩගේ පොත් මැඳුර එහි ප්‍රතිෂ්ඨාපනය කළේය.
එදා සිට දශක ගණනාවක් පුරා ලේඛන කලාවේ ආධුනිකයන්ට කිසිදු පැකිලීමකින් තොරව අත දෙන්නට ගොඩගේ මහතා දෙවරක් සිතුවේ නැත. අද රටේ නම් දරන ලේඛකයන් බොහෝමයකුගේ ගත් කතුවර දිවියේ තිඹිරි ගෙය වූයේ ගොඩගේ පොත් සාප්පුවේ ගොඩගේ මහතා අසුන් ගෙන හුන් කුඩා කාමරයයි. ඒ කාමරයේ විස්කෝතුවක් හා කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පිරිනැමෙන කහට කෝප්පයෙන් මුවට ලැබෙන ප්‍රරෙබා්ධයට වැඩි සතුටක් සිරිසුමන ගොඩගේ මහතා විසින් ලේඛකයාගේ අත්පිටපත මත තබන ඔහුගේ අත්සනින් ලේඛකයාගේ මුහුණේ ඇඳෙයි.
සිය සමාගම යටතේ ගත්කතුවරුන් ලෙස ලේඛනයේ යෙදෙන ලේඛකයන්ගේ කුමන හෝ අවශ්‍යතාවකදී වුව සිරිසුමන ගොඩගේ මහතා උපකාර කරන්නට දෙවරක් නොසිතන බව ලේඛකයන්ගේ අදහස්වලින් සනාථ වෙයි. ලේඛකයකුගේ අවමංගල්‍යයක්, කොටහළුවක්, මගුල් ගෙයක් වැනි උත්සව අවස්ථාවක ඔවුන් අත මුදල් අගහිඟකම් ඇත්නම් ඒ සඳහා උපකාර කරන්නට සිරිසුමන ගොඩගේ මහතා නොපැකිළව ඉදිරිපත් වන්නේ මහා පින්වන්තයෙකු ලෙසිනි.
මරදාන අවට ආනන්ද, නාලන්ද, අශෝක, ගෝතමි, ආනන්ද බාලිකා, රත්නාවලී ඇතුළු පාසල්වල සිසු සිසුවියන් සිය පාසල් නිම වී ගොඩගේ පොත්හලට ගොඩ වදින්නේ ගොඩගේ මහතා ද රැඳී සිටින ගොඩගේ පොත් සාප්පුවේ ඉහළ මාලයේ ඇති පරණ පොත් රාක්ක වෙතය. එහි වටිනා ග්‍රන්ථ රුපියල් දහයක් වැනි සුළු මුදලට පවා අලෙවි කරන තරමට ගොඩගේ මහතා ගුණ දහමින් මහ පොහොසතෙකි. බාල මහලු තරුණ කා සමඟත් කතා බස් කරන ගොඩගේ මහතා සමඟ කතා කරන වචන පෙළක පවා ඇත්තේ මහත් අරුතකි. ඉඳින් පුංචි දරුවාගේ සිට වයෝවෘද්ධ වැඩිහිටියා දක්වා පාඨකයන්ට, ලේඛකයන්ට මිල කළ නොහැකි සේවාවක් ඉටු කළ රත්තරන් හදවතක් ඇති පින්බර ශ්‍රීමතාණෙනි ඔබට අප නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
TEXT – ආර්. පී. මිහිරාන්
