බෞද්ධ සාහිත්‍යයේ එන ඝෝෂක සිටුපුතුගේ කතා පුවත යනු කර්මය සහ කර්ම ඵලය සත්ත්වයා පසුපස ලුහුබඳින ආකාරයත්, කුසලයක ඇති මහානුභාව සම්පන්න ශක්තියත් මැනවින් විදහා දක්වන උතුම් දේශනාවකි. අප සසරේ කරන කුඩා හෝ අකුසලයක් මෙන්ම අසීමිත ශ්‍රද්ධාවෙන් සිදුකරන කුසලයක් ද අත් නොහැර විපාක දෙන අයුරු මෙයින් මොනවට පැහැදිලි වේ.

කෝතුහාලිකගේ අතීත කතාව සහ දරු සෙනෙහස බිඳවැටීම
මෙම කතා පුවත ආරම්භ වන්නේ අතීත දඹදිව අජිත නම් දේශයේ ඇති වූ දරුණු දුර්භික්ෂයකිනි. ආහාර පාන නොමැතිව ජනතාව පීඩා විඳිද්දී, කෝතුහාලික නම් පුද්ගලයා තම බිරිය වූ කාලි සහ කුඩා පුතු වූ කාපි සමඟ ජීවිතය බේරාගැනීම සඳහා වෙනත් රටකට පලා ගියේය. දීර්ඝ ගමනක නියැළීමෙන් ඔවුහු දැඩි ලෙස වෙහෙසට පත් වූහ. කුසගින්න ඉවසා ගත නොහැකි තැන කෝතුහාලික තම බිරියට යෝජනා කළේ කුඩා දරුවා අතරමඟ දමා යන ලෙසයි.
මවගේ දැඩි අකමැත්ත මැද වුවද, අවසානයේ කෝතුහාලික විසින් දරුවා ගසක් යට දමා ගිය නමුත්, මවගේ විලාපය නිසා නැවත දරුවා රැගෙන ආවේය. එහෙත් අවාසනාවකට මෙන් දැඩි හිරු රශ්මිය සහ කුසගින්න දරාගත නොහැකි වූ ඒ කුඩා දරුවා පියාගේ අතේම මිය ගියේය. මෙය පියෙකු අතින් සිදු වූ බරපතළ අකුසලයක් ලෙස සසර ගමනට එක් විය.
තාවකාලික සිතුවිල්ලකින් බල්ලෙකු ලෙස උපත ලැබීම
දුෂ්කර ගමන නිමා කරමින් මෙම යුවළ එක් ගොපල්ලෙකුගේ නිෙවසකට පැමිණියහ. එහිදී ගොපල්ලා විසින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පිළිගන්වා ඉතිරි වූ ප්‍රණීත කිරිබත් කෝතුහාලිකට ලබා දුන්නේය. එම අවස්ථාවේදී ගොපල්ලා තමා ළඟ සිටි බැල්ලකට ද කිරිබත් පිඬක් ලබා දෙනු දුටු කෝතුහාලිකට, තමාට වඩා ඒ සතා වාසනාවන්ත යැයි සිතී ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් ඇති විය. එදින රාත්‍රියේ අධික ලෙස ආහාර අනුභව කිරීම නිසා ඇති වූ අජීර්ණයකින් කෝතුහාලික මියගිය අතර, ඔහු අවසන් මොහොතේ ඇති කරගත් ඒ පහත් සිතුවිල්ල හේතුවෙන් අර බැල්ලගේ කුසෙහි පිළිසඳ ගත්තේය.
පසේ බුදුන් වහන්සේ කෙරෙහි දැක්වූ අසීමිත භක්තිය
සුනඛයෙකු ලෙස උපත ලැබූ ඔහු, පෙර භවයේ පුරුද්ද නිසාම තම ස්වාමියා වූ ගොපල්ලා සමඟ දිනපතා පසේ බුදුරජාණන් වහන්සේ වැඳීමට ගියේය. පසේ බුදුන් වහන්සේ කෙරෙහි වූ දැඩි සෙනෙහස නිසාම මෙම සුනඛයා උන්වහන්සේ වඩිනා මඟ දෙපස සිටි වනසතුන් පලවා හැරීමටත්, ආරක්ෂාව සැලසීමටත් පුරුදු විය. වරක් පසේ බුදුන් වහන්සේ මඟ වැරදි ලෙස වැඩම කළ විට, සුනඛයා උන්වහන්සේගේ සිවුරු පොටෙන් ඇද නිවැරදි මග පෙන්වීමට තරම් පුදුමසහගත අවබෝධයකින් කටයුතු කළේය.
කාලයකට පසු පසේ බුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතය බලා අහසින් වැඩම කළහ. උන්වහන්සේ නොපෙනී යන තෙක් අහස දෙස බලා සිටි සුනඛයා, ඇති වූ අසීමිත ශෝකය හා භක්තිය නිසා හෘදය පැළී මියගොස් තව්තිසා දෙව්ලොව දිව්‍ය පුත්‍රයෙකු ලෙස උපත ලැබීය. සත්ත්ව ආත්මයක වුවද උතුමෙකු කෙරෙහි දැක්වූ ගෞරවය ඔහුට දිව්‍ය සම්පත් ලබා දුන්නේය.
ඝෝෂක ලෙස මනුලොව උපත සහ මරණීය උපද්‍රව හත
දිව්‍ය ලෝකයෙන් චුත වූ ඔහු නැවත මනුලොව උපත ලැබුවේ කොසඹෑ නුවරයි. එහිදී ඔහුගේ පෙර අකුසල කර්ම (දරුවා මියයාමට සැලැස්වීම) විපාක දෙන්නට පටන් ගත්තේය. කොසඹෑ සිටුවරයා තමාට ඇති විය හැකි තර්ජනයක් ගැන බිය වී, මෙම දරුවා මරා දැමීමට අවස්ථා හතකදී විවිධ උපක්‍රම යෙදීය:
ගව ගාලට දැමීම
ගවයන්ට පෑගී මියයනු ඇතැයි සිතා ගව ගාලේ දොරකඩ තැබූ විට, ගව නායකයා දරුවා වටා සිටගෙන ආරක්ෂාව සැලසීය.
කරත්ත පාරේ තැබීම
කරත්තවලට යටවනු පිණිස පාර මැද තැබූ විට, ගොනුන් කරත්තය නතර කර දරුවා මඟ හැර ගියහ.
සොහොනට දැමීම
හිවලුන් කනු පිණිස අමු සොහොනේ දැමූ විට, එළු දෙනක විසින් දරුවාට කිරි දී පෝෂණය කළාය.
පර්වතයෙන් හෙළීම
කන්දකින් පහළට හෙළූ අවස්ථාවේදී පවා ඔහු පන් පිලක් මතට වැටී ජීවිතය බේරාගත්තේය.
වළං පෝරණුවට දැමීම
වළං හදන පුද්ගලයා ලවා පෝරණුවේ පුලුස්සා මරා දැමීමට උත්සාහ කළද, පෙර පින් බලයෙන් සිටුවරයාගේම සැබෑ පුතු එම ස්ථානයට ගොස් අනතුරට ලක්ව මිය ගියේය.
මරණීය ලිපිය
දරුවා මරා දමන ලෙස ලියූ ලිපියක් සමඟ ඔහුව ඈත ගමක සිටුවරයෙකු වෙත යැවීය.
වාසනාවන්ත විවාහය සහ සිටු තනතුර
අවසන මරණීය ලිපිය රැගෙන ගිය තරුණයාට, අතරමඟදී හමු වූ සිටු දියණියක එම ලිපිය රහසින් කියවා එහි අන්තර්ගතය වෙනස් කළාය. එහි සඳහන් වූයේ මෙම තරුණයාට තම දියණිය විවාහ කර දී විශාල මන්දිරයක් සාදා දෙන ලෙසයි. පෙර කරන ලද කුසලයේ මහිමයෙන් ඔහු එම සිටු දියණිය සමඟ විවාහ වී මහා ධනයකට හිමිකම් කීවේය. අවසානයේ ඔහු ඝෝෂක සිටු තනතුර ලබා ගත්තේය.
ඝෝෂක සිටුපුතුගේ කතා පුවතින් අපට ලැබෙන පණිවිඩය ඉතා පැහැදිලිය. අප කරන අකුසලය සෙවණැල්ල මෙන් අප පසුපස ලුහුබඳිමින් විපාක දෙයි. ඝෝෂක කුඩා කාලයේ විඳි දුක් ගැහැට ඒ අකුසලයේ ප්‍රතිඵලයි. නමුත් සත්ත්ව ජීවිතයකදී පවා පසේ බුදුන් වහන්සේ කෙරෙහි දැක්වූ අසීමිත ගෞරවය හා ආරක්ෂාව සැපයීමේ කුසල ශක්තිය, ඔහුට ජීවිත අවදානම් හතකින් බේරීමටත්, උතුම් සිටු සම්පත්තියක් ලැබීමටත් හේතු විය. එබැවින්, කුසලය සැමවිටම සත්ත්වයා ආරක්ෂා කරන මහා බලවේගය බව වටහාගෙන ජීවිතය යහපත් මඟට යොමු කර ගැනීම බෞද්ධ අප සැමගේ වගකීමකි.
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
