Monday, May 4, 2026
Epaper
Home Highlightsජීවිතය ගිනි ගන්නා නි‍ෙවසක් වැනිද?

ජීවිතය ගිනි ගන්නා නි‍ෙවසක් වැනිද?

by Shanaka Lakehouse

මනුෂ්‍ය ජීවිතය යනු අස්ථිරත්වයේ සහ අනිත්‍යතාවයේ සුන්දර මෙන්ම ගැඹුරු සංකේතයකි. ලෝකයේ ජීවත් වන සෑම සත්ත්වයකුටම පොදු වූ එකම ධර්මතාව මරණය වුවද, මිනිසා තුළ ඇති ප්‍රබලතම බිය වන්නේ ද මරණ බියයි. විශේෂයෙන්ම පවුලක ජීවනාලිය බඳු මවක හෝ බිරියක ලෙස ඔබ, ජීවිතයේ සැඳෑ සමයේදී පසුතැවීමට පත් නොවී සිටීමට නම්, අද සිටම අාධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මරණ බිය දුරු කර ගැනීමට මඟ පෙන්වන මෙම කරුණු, අපගේ ජීවිතය නිවැරදි මඟට ගැනීමට මහඟු අත්වැලක් වනු ඇත.

මනුෂ්‍ය ජීවිතය යනු ඇසිපිය හෙලන සැණින් ගෙවී යන ඉතා කෙටි කාලයකි. එය වසර 100ක් ලෙස උපරිමයෙන් සැලකුවද, අප සැබවින්ම ගත කරන්නේ ඝෘතු 300ක් හෝ දින 36,500ක් වැනි ඉතා සුළු කාලයකි. බොහෝ දෙනෙක් තරුණ මදයෙන් මත් වී, මරණය තමන් කරා නොඑන බව සිතමින් පස්කම් සැපෙහිම ගිලී සිටිති. බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි වයස අවුරුදු 120ක් වූ වයෝවෘද්ධ බ්‍රාහ්මණයන් දෙදෙනාගේ කතාව අපට කියා දෙන්නේ ද මෙයයි. තමන් මහලු වුවද, මරණයට බිය නැතිව මුහුණ දීමට තරම් කිසිදු කුසලයක් හෝ පින්කමක් කර නොමැති බව ඔවුහු පාපෝච්චාරණය කළහ. ධර්මයේ හැසිරිය යුතු කාලයේ ඒ ගැන නොසිතන පුද්ගලයා, අවසානයේදී මාළු නැති විලක බලා සිටින නාකි කොකෙකු මෙන් තැවෙන බව අප වටහා ගත යුතුය. ජීවිතයේ ගෙවී යන සෑම සැණින් ම අප මරණයට සමීප වන බව සිහිපත් කිරීම, අපව තව තවත් ගුණධර්මවලට සමීප කරයි.

වචනයේ සංවරය සහ එහි භයානක විපාක

අප එදිනෙදා ජීවිතයේදී සරලව සිතා පවසන පුංචි වචනයක් වුවද සසර පුරා මහා විපාක ගෙන දීමට සමත් වේ. ඔබ අතින් සිදුවන එක් බොරුවකට ආත්ම භාව 100ක් පුරා දුක් විඳීමට සිදුවිය හැකි බව පැරණි කතා පුවත් මඟින් පැහැදිලි කෙරේ. අප පවසන වචන අපගේ ස්වාභාවයට ගැළපෙන පරිදි සංවර කර නොගතහොත් එහි විපාක අමිහිරි වනු ඇත. අතීතයේ අම්බපාලිය ගණිකාවක් වීමටත්, උජුත්තරා කුදු වීමටත් මූලික වූයේ ඔවුන් සසරේදී වචනය සංවර කර නොගැනීමයි.

විහිළුවට පවා අකුසල් කිරීමේ ඇති භයානකකම අම්බ සක්කර පේත වස්තුවෙන් මනාව පැහැදිලි වේ. අනුන්ගේ ඇඳුම් විහිළුවට සැඟවූ පුද්ගලයකුට, සසරේදී රූමත් ශරීරයක් ලැබුණද ඇඳුම් නොමැතිව ප්‍රේතයෙකු වීමට සිදු විය. එබැවින් කය, වචනය සහ සිත යන තිදොර සංවර කර ගැනීම පරලොව යන ඕනෑම අයකුට ඇති එකම ආරක්ෂාවයි. ඔබ නි‍ෙවසේදී දරුවන්ට හෝ වෙනත් සාමාජිකයකුට බැණ වැදීමට පෙර, ඒ වචන ඔබේම සසර ගමන අඳුරු කරනු ඇති බව සිහිපත් කරන්න.

ගිනි ගන්නා ගෙයක උපමාව සහ දානයේ අගය

අපගේ ජීවිතය නිරන්තරයෙන්ම ජරාවෙන්, ව්‍යාධියෙන් සහ මරණයෙන් ගිනි ගනිමින් පවතී. ගිනි ගන්නා නිවෙස කින් බේරාගත හැක්කේ ඉන් පිටතට විසි කරන වටිනා භාජන පමණක් වන්නා සේම, මරණයෙන් පසු අපට ඉතිරි වන්නේ අප විසින් පරිත්‍යාග කරන ලද හෝ දානය ලෙස ලබා දුන් දේ පමණි.

බිරියක ලෙස ඔබ පවුල වෙනුවෙන් කරන කැප කිරීම් මෙන්ම, අසරණ යමකුට දක්වන කරුණාව ඔබේ පරලොව ජීවිතය ආලෝකවත් කරයි. තමන් සතු දේ කෙරෙහි දක්වන දැඩි ලෝභය මරණ මංචකයේදී බියක් ලෙස පැමිණෙන අතර, අත්හැරීම පුහුණු කිරීම මරණයට සිනාසෙමින් මුහුණ දීමට ශක්තිය ලබා දෙයි. අප වටා ඇති සියලු භෞතික සම්පත් තාවකාලික බව වටහා ගනිමු. සිත වර්ධනය කිරීමේ වැදගත්කම

මරණයේදී අපගේ සිත පවතින ස්වභාවය ඊළඟ උපත තීරණය කරන ප්‍රධානතම සාධකයයි. වෛද්‍යවරයකුගේ මඟ පෙන්වීමෙන් ශරීරය නීරෝගි කර ගැනීමට අප ගන්නා උත්සාහයට වඩා වැඩි වෙහෙසක් සිතේ නීරෝගි බව රැකගැනීමට යෙදිය යුතුය. ධර්මාශෝක රජතුමා මහා පින්කම් කළද, අවසාන මොහොතේ ඇති වූ කෝපය නිසා තිරිසන් යෝනියක උපත ලැබූ බව අසා ඇත්තෙමු. එහෙත් බිම්බිසාර රජතුමා දරුණු වධ හිංසා මැද වුවද සංවර වූ සිත නිසා සුගතියේ උපත ලැබීය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලුණු කැටයක උපමාව මෙහිදී ඉතා වටී. වතුර කෝප්පයකට ලුණු කැටයක් දැමූ විට එය ලුණු රස වුවද, විශාල ජලාශයකට ලුණු කැටයක් දැමූ විට එහි රසය වෙනස් නොවේ. එලෙසම, සීලයෙන් සහ භාවනාවෙන් සිත වර්ධනය කළ තැනැත්තාගේ අකුසල කර්මයන්හි බලපෑම කුසලයේ බලය හමුවේ යටපත් වී යයි. අපගේ ශරීරයේ සුෂුම්නාව හෝ ස්නායු දුර්වල වී රෝගී වූවත්, සංවර වූ සිත මරණ බියෙන් අපව කලඹ වීමට ඉඩ නොදෙයි.

මරණ බිය දුරු කර ගැනීමට ඇති එකම රහස වන්නේ මරණ මංචකය තෙක් බලා නොසිට දැන් සිටම කුසල් දහම්හි නියැළීමෙන් ජීවිතය අර්ථවත් කර ගැනීමයි. තිදොර සංවර කර ගනිමින්, අකුසලයෙන් වැළකී ජීවත් වන ඔබට මරණය යනු බියක් නොව සතුටින් පිළිගත හැකි ස්වාභාවික අවස්ථාවකි. සංවර වූ කය සහ වචනයත්, වඩන ලද සිතත් මෙලොව පරලොව දෙලොවටම ඇති එකම සැනසීම බව පසක් කර ගනිමු.

 

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?