ශ්‍රී ලාංකීය ඉතිහාසය යනු රජ දවසෙන් පසු ප්‍රාදේශීය බලවතුන් හා වලව් පදනම් කරගත් ප්‍රභූ පන්තියක් වටා ගෙතුණු සුවිශේෂී කතා පුවත් සමුදායකි. ඉංග්‍රීසි පාලන සමයේදීත්, ඉන් පසුවත් මෙරට ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රය තුළ ප්‍රබල බලපෑමක් එල්ල කළ චරිත රැසක් බිහි විය.
අතීතයේ මෙරට බලය හා තේජස පතුරුවාලූයේ වලව්වල ජීවත් වූ එවැනි සුවිශේෂී ප්‍රභූ පිරිසකි. වර්තමානය වන විට වලව් සංස්කෘතිය සමාජයෙන් කෙමෙන් වැනසී ගොස් තිබුණ ද, ඒ පිළිබඳව පවතින උනන්දුව හා කුතුහලය තවමත් අඩුවී නොමැත. ලංකාවේ ප්‍රසිද්ධ මෙන්ම අතිශය ආන්දෝලනාත්මක වලව්වක් දකුණු පළාතේ මාතර, යටියන ප්‍රදේශයේ පිහිටා තිබේ. අද අප කතා කරන්නේ අද්භූත වලව්වක ස්වභාවය උසුලන, අතීත ශ්‍රී විභූතියේ නිහඬ සාක්ෂිකරුවකු වන ‘සිසිරගිරි වලව්ව’ හෙවත් ‘යටියන වලව්ව’ පිළිබඳවයි.
යටියන යනු අදටත් සාපේක්ෂව සරල ගැමි පරිසරයක් පවතින ප්‍රදේශයකි. එහෙත් යටියන යන නාමය ලෝකයේ පවා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි පිහිටි මේ අති දැවැන්ත මන්දිරය හා ඒ වටා ගෙතුණු පුදුමාකාර සිදුවීම් මාලාව නිසාවෙනි. කාලයත් සමඟ අභාවයට පත්වෙමින් පවතින මෙම වලව්ව එංගලන්ත වාස්තු විද්‍යාවට අනුව නිර්මාණය කරන ලද්දකි. එහි විශාලත්වය සහ හුදකලා බව නිසාම, ප්‍රදේශවාසීන් අතර මෙම වලව්ව තුළ අද්භූත බලවේග හෝ ගුප්ත ක්‍රියාකාරකම් පවතින බවට දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාසයක් පවතී. මිනිස් සිත් තුළ මුල් බැස ගත් එවැනි විශ්වාසයන් පසෙක තැබුවද, සිසිරගිරි වලව්වේ ඉතිහාසය ඕනෑම අයකු මවිතයට පත් කිරීමට සමත්ය.
මෙම වලව්ව 1916 වසරේදී ඉදිකරන ලද්දේ ප්‍රතාපවත් ධනවතකු වූ ඩී.ඒ. රණවීර මහතා විසිනි. ඔහු ලාංකේය ඉතිහාසයේ ඉතා සුවිශේෂී චරිතයක් වන්නේ ඉංග්‍රීසි පාලකයන් සමඟ සෘජුව තරග කරමින් දේශීය ධනය තහවුරු කළ පුද්ගලයකු බැවිනි. සුදු වේට්ටියත්, සුදු කබායත් හැඳි සරල ගැමියකු ලෙස පෙනී සිටි රණවීර මහතා, එකල සුදු ජාතිකයන් සතුව තිබූ වතු අධිරාජ්‍යයන් අබිබවා යමින් තමන්ගේම වතු දේපළ රැසක් ගොඩනැඟුවේය. ඔහු සතුව මාතර, දෙනියාය, හැටන් සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හි අක්කර දස දහස් ගණනක තේ හා රබර් වගාවන්හි තනි අයිතිය තිබූ බව පැවසේ. මාතර මහා ධනවතකු වූ ඔහු ‘යටියන මහතා’ යන නාමයෙන් එකල ප්‍රසිද්ධියට පත් විය.
යටියන මහතාට මෙතරම් මහා ධනස්කන්ධයක් ලැබීම පිළිබඳව ජනප්‍රවාදයේ එන රසවත් කතාවක් තිබේ. ඔහු මුල් කාලයේ ජීවත් වී ඇත්තේ යටියන ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටි කුඩා නිවසකය. දිනක් ඔහුගේ බිරිය වූ කඹුරුපිටියේ හාමිනේ අසල පිහිටි ඉඩමක ළිඳකින් වතුර කළයක් රැගෙන එද්දී ඇගේ වස්ත්‍රය ලිහිල් වී ඇත. එය සකසා ගැනීමට ඇය වතුර කළය බිම තබා ඇති අතර, නැවත එය ගැනීමට සූදානම් වෙද්දී ඇය දුටු දෙයින් මවිතයට පත්ව තිබේ. ඇගේ වතුර කළය නිකම්ම බුබුළු දමමින් උතුරන්නට පටන් ගෙන ඇත. ඇගේ කෑගැසීමට දුවගෙන ආ යටියන මහතා ද මෙම පුදුම සහගත සිදුවීම දැක මවිත විය. වහාම මේ පිළිබඳව දෛවඥයන්ගෙන් හා ශාස්ත්‍රකරුවන්ගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එම ස්ථානය ඉතා බලවත් භූමියක් බවත්, එම කළය උතුරන ලද ස්ථානය මැදි වන සේ විශාල නිවෙස ඉදි කරන ලෙසත්ය. එම උපදෙස් අනුව සිසිරගිරි වලව්ව නිර්මාණය කිරීමෙන් පසු ඔවුන් ඉතාමත් වාසනාවන්ත ලෙස ධනවතකු වූ බව ජනතාව විශ්වාස කරති.
යටියන මහතාගේ ධනය හා පෞරුෂය පිළිබඳව කියැවෙන තවත් ප්‍රකට කතාවක් වන්නේ මහනුවර ක්වීන්ස් (රැජින) හෝටලය මිලදී ගත් පුවතයි. එකල එම හෝටලය විකිණීමට වෙන්දේසි කරන අවස්ථාවේ යටියන මහතා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී එහි ගොස් තිබේ. ඔහුගේ පෙනුම දුටු සුදු ජාතිකයන් ඔහුට සමච්චල් කළ ද, වෙන්දේසියේ වැඩිම ලංසුව තැබුවේ ඔහුය. ඔහුගෙන් “මේ රෙදි කෝට්කාරයාට මේක ගන්න සල්ලි තියෙනවාද?” යැයි ඇසූ සුදු ජාතිකයාට ඔහු දී ඇත්තේ පුදුමාකාර පිළිතුරකි. “ඔබට මේකට සල්ලි ඕන කොයි රටේ බැංකුවකින්ද? මට එංගලන්තයේ බැංකුවලත් සල්ලි තියෙනවා” යනුවෙන් පවසා ඔහු ලොවම මවිත කර තිබේ.
එසේම වරක් ලංකාවට අලුතින් ගෙන්වූ ජගුවර් රථ තුනක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී ද ඔහුගේ ඇඳුම නිසා ඔහුට අපහාස විඳින්නට සිදුවිය. එහි කළමනාකරුට තමන් කවුදැයි නොකියාම, එහි තිබූ රථ තුනම එවෙලේම මුදල් ගෙවා මිලදී ගෙන යටියන වලව්වට රැගෙන යාමට තරම් ඔහු ප්‍රබල විය. මෙවැනි සිදුවීම් නිසා යටියන යන නාමය ජාත්‍යන්තර මට්ටමින් පවා එකල ප්‍රසිද්ධියට පත් විය.
වර්තමානය වන විට මෙම සුවිසල් මන්දිරය පාලු ස්වභාවයක් ගෙන ඇත. බොහෝ අය පවසන්නේ වලව්වේ ඉහළ මාලයේ ගල් පෙරේතයකු සිටින බවත්, එයට තට්ටු කරන විට ලේ වැගිරෙන බවත්ය. එහෙත් මේවා හුදු කටකතා පමණක් බවත්, වලව්වේ සැබෑ උරුමකරුවන් නගරබදව පදිංචියට යාම සහ විදේශගත වීම නිසා නඩත්තුවක් නොමැතිව මෙය පාළු වී ඇති බවත් පැහැදිලිය. වලව්ව ඉදිරිපිට අදටත් යටියන මහතාගේ, කඹුරුපිටිය හාමිනේගේ සහ ඔවුන්ගේ පුත් ඩොලර් රණවීර මහතාගේ සොහොන් කොත් දැකගත හැකිය. එදා රුපියල් 75,000ක වැනි එකල හැටියට අති විශාල මුදලක් වැය කර ඉදිකළ මෙම වාස්තු විද්‍යාත්මක උරුමය අද වන විට ගරා වැටීම මහත් කනගාටුවකි.
සොබාදහමේ නියමය පරිදි සියල්ල කාලය හමුවේ විනාශ වී යන බව මෙම සිසිරගිරි වලව්ව දෙස බලන විට මැනවින් පසක් වේ. එදා බලයෙන් හා තේජසින් වැජඹුණු ඒ යුගය දැන් අවසන්ය. ගරා වැටෙන සෑම ගඩොලක්ම, දිරා යන සෑම ලීයක්ම අතීතයේ මෙහි විසූ මිනිසුන්ගේ සහ ඔවුන්ගේ ධනස්කන්ධයේ තාවකාලික බව සිහිපත් කර දෙයි. මෙම වලව්වේ බිත්තිවලට කතා කළ හැකි නම්, ඒවා නිසැකවම පවසනු ඇත්තේ යටියන මහතාගේ අභිමානය හා ඒ වටා ගෙතුණු සැබෑ ඉතිහාසය පිළිබඳවයි. අද වන විට පාලු වී ගියද, යටියන සිසිරගිරි වලව්ව යනු තවමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සලකුණකි.
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනි
