ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පසුගිය සන්ධ්‍යා අපූරු සංගීත සැඳෑවක් පැවැත්විණි. ඔකෙස්ට්‍රා සංගීත ප්‍රසංගයක් වූ එය ‘ද වයිබ් ඔෆ් අ ෆයර් ෆ්ලයි’ ලෙස නම් කර තිබිණි. එය කොතරම් මනෝරම්‍ය දැයි පැවසුවහොත් එහි ගැයුම් වැයුම් සියල්ලම පාහේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මහත් පැසසුමට ලක් විය. මේ සංගීත ප්‍රසංගය ඉදිරිපත් කළේ අවුරුදු විසි පහක තරුණ දරුවෙකි. ඔහු නමින් වේග දම්සිංහ නම් විය. ඔහු සංගීතයෙන් මහත් සුරුවිරුකම් පාන යෞවනයෙකි. ගිටාර්, ඇකෝඩියන්, මවුත් ඕගන්, හාමනිකා, ඕගන් සහ කීබෝඩ් ආදී වශයෙන් වාද්‍ය භාණ්ඩ රැසක්ම මැනවින් වාදනය කිරීමේ හැකියාව ඔහුට පවතී.
මේ ප්‍රසංගයේදී ඔහු විසින් නිර්මාණය කළ සුවිශේෂී සංගීත ඛණ්ඩ හයක් එළිදැක්විණි. වැල්කයිරි, බ්‍රිටිෂ් මවුන්ටන්, වයිබ් ඔෆ් ෆයර් ෆ්ලයිස්, හමින් බර්ඩ් ඇතුළු නම් 6කින් මෙම සංගීත ඛණ්ඩ නම් කර තිබිණි. මෙම ප්‍රසංගයේ සංගීත කටයුතුවල ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ සංගීතවේදී ජගත් වික්‍රමසිංහයන්ය. ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් විසි දෙනකුගෙන් සමන්විත වාද්‍ය වෘන්දයක් මෙහි සංගීතයෙන් දායක වූහ.
මෙහිදී වේග නිර්මාණය කළ සංගීත ඛණ්ඩ ජාත්‍යන්තර තරගවලට පවා යොමු කළ හැකි මට්ටමේ පවතින බව ජගත් වික්‍රමසිංහ මහතාගේ අදහස විය. එහිදී වේග, සිය මිත්තණිය ඔහු වෙනුවෙන් රචනා කළ ‘බිංදු බිංදු’, ‘සමන් මලක්’ යන ගීත දෙකද ගායනා කළේය. වේග දම්සිංහගේ මිත්තණිය වන මාලනී විජේවීර යනු සී.ටී. ප්‍රනාන්දු ගායනා කරන ‘මා බාල කාලේ’ ළමා ගීතයේ රචිකාවියයි. එපමණක් නොව වේගගේ මව වූ සුමුදු විජේවීර රචනා කළ ‘ලෙට් මී බී මී’ ගීතයද වේග මෙහිදී ගායනා කළේය.
එම ගීත ඇතුළුව සිංහල සහ ඉංග්‍රීසි සම්භාව්‍ය ගීත 20කින් මෙම ප්‍රසංගය වර්ණවත් විය. ඔහුගේ යූ ටියුබ් නාළිකාවේ ඔහු ගැයූ ‘Cover Song’ කිහිපයක්ද මෙහිදී වේග ගායනා කළේය. වේග මෙහිදී ඇකෝඩියනය, හාමනිකාව, ඕගනය, ගිටාරය යන වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් අතිශය මනරම් වාදන ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය. සංගීතයේ අංශ රැසකින් දක්වන හපන්කම්වලට අමතරව ඔහු ප්‍රංශ භාෂාව ඇතුළු භාෂා ත්‍රිත්වයකම චතුර කුසලතා ඇත්තෙකි. සැබැවින්ම ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ මාර්තු 29 වැනිදා සන්ධ්‍යාව වර්ණවත් වූයේ වේගගේ දක්ෂතාවලිනි.
වයස අවුරුදු විසි පහක තරුණයකුගේ සංගීත ප්‍රසංගයක් ගැන මෙතරම් උත්කර්ෂයක් කුමටද? සැබැවින්ම මෙම ප්‍රසංගය වඩාත් උත්කර්ෂවත් වන්නේ අන් කිසිවක් නිසා නොවේ; වේග යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් නිසාය. ඔහු ඔටිසම් රෝග පරාසය යටතේ ‘ඇස්පර්ජර් සින්ඩ්‍රෝමය’ට අභියෝග කරමින් ලොව ජය ගන්නට උත්සාහ කරන්නෙකි. විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙක් ලංකාවේ පැවැත්වූ පළමු ඒකල ඔකෙස්ට්‍රා සංඟිත ප්‍රසංගය මෙය වීම උත්කර්ෂයට නැගිය යුත්තක් නොවේද? වේග අපට කියා දෙන්නේ ඕනෑම අභියෝගයකට අභියෝග කරමින් ලොව නැඟී සිටිය හැකි බව පවසන විසල් පාඩමකි.
ඒ නිසා තවදුරටත් වේග යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් නොවේ. ඔහු අප කාටත් වඩා සුවිශේෂී තරුණයෙක් බව ලොවට පසක් කර තිබේ. ඉදින් සෑම විශේෂ අවශ්‍යතා සහිත අයකුටම ඊට අභියෝග කරමින් රටේ අන් කාටත් වඩා තමා සුවිශේෂී හැකියාවන් සහිත අයකු බව පෙන්විය හැකිය. එහෙත් ඊට කරුණාව, දයාව ආදී මානුෂීය ඖෂධ ලබා දීමට තරම් සමාජය කාරුණික විය යුතු බවද පසක් කරමු.
TEXT – ටිරුනි ඉමාසා
