මේ මීට මාස කිහිපයකට කලින් මගේ ෆේස්බුක් Inbox එකට ඇවිත් තිබුණු ඉතාමත් සංවේදී, දිගු මැසේජ් එකක අවසාන පේළියයි. ඇත්තටම ඒ කතාව කියවද්දී මට දැනුණේ දරාගන්න බැරි වේදනාවක්. මොකද ඒ මවගේ එක දරුවෙක්ට නෙවෙයි, පවුලේ දරුවන් තුන්දෙනෙක්ටම මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා. ඒ අහිංසක දරුවන් තුන්දෙනාම හිටියේ විවිධ උපත් ආබාධවලට ගොදුරු වෙලා.
ඒ මොහොතේ ඒ අසරණ මවට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ. ඒත් මට හිතුණේ එක දෙයයි… “අපේ මිනිස්සුන්ගේ තියෙන මේ නොදැනුවත්කම නිසා, සමාජයේ කොච්චර නම් අහිංසක ජීවිත විනාශ වෙනවද” කියලා.
දරුවන්ගේ උපත් ආබාධ ගැන අඬන අම්මලා තාත්තලාගේ කතාවල මුල හොයාගෙන යද්දී, වාට්ටුවේදී වුණත් අපිට නිතරම අහන්න ලැබෙන කතාවක් තමයි ඔය. අපේ සමාජයේ තවමත් පවුල්වල දේපළ පිටට යනවට තියෙන අකමැත්තට වගේම, පවුල් අතර තියෙන බැඳීම වැඩි කරගන්න කියලා ගොඩක් වෙලාවට ලේ නෑයෝ අතර විවාහයන් සිද්ධ කරන එක.
සමාජයේ ලොකු කතාවක් තියෙනවා “නෑනා මස්සිනා බැන්දොත් අනිවාර්යයෙන්ම ළමයි ආබාධිත වෙනවා” කියලා. මේක 100% ක්ම ඇත්තද? නැත්නම් මිථයාවක්ද? අද අපි මේ ගැන බියගැන්වීම්වලින් තොරව, විද්‍යාත්මක ඇත්ත කතාව හරිම සරලව තේරුම් ගනිමු.
මොකක්ද මේ ජානවල තියෙන රහස?
අපේ ශරීරය හැදිලා තියෙන්නේ අම්මාගෙන් සහ තාත්තාගෙන් ලැබෙන ජාන වලින්. මේ ලෝකේ ඉන්න අපේ හැමෝගෙම ඇඟවල්වල “නිලීන ජාන” කියලා හැංගිලා ඉන්න ජාන වර්ගයක් තියෙනවා. මේවායින් සමහරක් ඇතුළේ යම් යම් ලෙඩ රෝග හැංගිලා තියෙනවා.
හැබැයි මේ හැංගිලා තියෙන ලෙඩේ දරුවෙකුට එන්න නම්, අම්මාගෙනුත්, තාත්තාගෙනුත් දෙන්නගෙන්ම ඒ සමාන ලෙඩ ජාන දෙකම එකට එකතු වෙන්න ඕන! ඔබ පිටස්තර කෙනෙක්ව විවාහ කරගත්තම, ඔයාලා දෙන්නාගේ ජාන සම්පූර්ණයෙන්ම වෙනස් නිසා, අර එකම නරක ජාන දෙකක් එකට එකතු වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි.
එහෙනම් ලේ නෑයෝ බඳිද්දී අවදානම වැඩි වෙන්නේ ඇයි?
නෑනා සහ මස්සිනා කියන්නේ එකම ආච්චිගේ සහ සීයගේ ලේ. ඒ කියන්නේ ඒ දෙන්නාගේම ඇඟවල් ඇතුළේ දුවන්නේ එකම ජාන පරම්පරාවක්. යම් හෙයකින් ඒ පවුලේ පරම්පරාවෙන් එන අර ‘හැංගුණු නරක ජානයක්’ නෑනාගෙත්, මස්සිනාගෙත් දෙන්නගෙම ඇඟේ තියෙන්න පුළුවන්. ඒ දෙන්නා විවාහ වෙලා දරුවෙක් හදද්දී, අර අම්මාගෙත් තාත්තාගෙත් දෙන්නගෙම තියෙන නරක ජාන දෙක දරුවාගේ ඇඟ ඇතුළේදී එකට එකතු වීමේ අවදානම සාමාන්‍ය අයට වඩා වැඩියි.
හැම දරුවටම මෙහෙම වෙනවද? (The Real Statistics)
නැහැ! මේක තමයි සමාජයේ ගොඩක් අය වැරදියට තේරුම් අරන් තියෙන්නේ. ලේ නෑයෝ විවාහ වූ පමණින් හැම දරුවෙක්ම ආබාධිත වෙන්නේ නෑ. බොහෝ නෑනා-මස්සිනා යුවළවලට සම්පූර්ණයෙන්ම නීරෝගි, සෞඛ්‍යසම්පන්න දරුවන් ඉපදෙනවා.
නමුත් වෛද්‍ය විද්‍යාත්මක අවදානම මෙහෙමයි
සාමාන්‍ය (පිටස්තර) දෙමාපිය යුවළකට උපත් ආබාධ සහිත දරුවෙක් ඉපදීමේ අවදානම 2% – 3% ක් පමණ වෙනවා. නමුත් නෑනා මස්සිනා විවාහයකදී ඒ අවදානම 4% – 6% දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ අවදානම පිටස්තර පුද්ගලයන් අතර විවාහයට වඩා දෙගුණයක් හෝ තුන් ගුණයක් වෙන්න පුළුවන්. ප්‍රතිශතයක් විදිහට මේක පොඩි වගේ පෙනුණත්, අවාසනාවකට ඒක ඔබේ දරුවට වුණොත්, ඒක ඒ පවුලට 100% ක ඛේදවාචකයක්.
වැඩි අවදානමක් ඇතිවිය හැකි රෝග තත්ත්වයන් මොනවාද?
තැලසීමියාව: අපේ රටේ ලේ නෑයන් අතර විවාහ නිසා දරුවන්ට බහුලවම පැමිණෙන දරුණු රුධිර රෝගය. (මේ ගැන සම්පූර්ණ විස්තරයක් මගේ කලින් ලිපයකින් මම දැනුවත් කළා).
බුද්ධිමය වර්ධනය ප්‍රමාද වීම
දරුවාගේ මොළයේ වර්ධනය අඩාළ වීම සහ ඉගෙනීමේ දුර්වලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
ශ්‍රවණ සහ දෘෂ්ටි ආබාධ උපතින්ම කන් නෑසීම හෝ ඇස් නොපෙනී යාම.
හෘදයේ සිදුරු සහ උපත් ආබාධ: හදවතේ හෝ වෙනත් ඉන්ද්‍රියන්වල උපතින්ම ඇතිවිය හැකි අක්‍රමිකතා.
මේකට තියෙන ප්‍රායෝගික විසඳුම මොකක්ද?
ඔබ දැනටමත් පවුලේ කෙනෙක්, නැත්නම් නෑනා/මස්සිනා කෙනෙක් එක්ක විවාහ වෙන්න තීරණය කරලා අවසන් නම් හෝ විවාහ වී ඇත්නම්, කලබල වෙන්න හෝ බිය වෙන්න එපා.
මේ සඳහා අද වෛද්‍ය විද්‍යාවේ 100% ක් සාර්ථක සහ අත්‍යවශ්‍ය විසඳුමක් තියෙනවා. ඒ තමයි ජානමය උපදේශනය සහ පෙර-විවාහ රුධිර පරීක්ෂණ (Genetic Counseling & Pre-marital Blood Tests). දරුවෙකු සැලසුම් කිරීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවී (විශේෂයෙන්ම තැලසීමියා පරීක්ෂාව) සිදු කරගන්න. ඔබේ දරුවාට ඇතිවිය හැකි අවදානම කලින්ම හඳුනාගෙන එය වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට පුළුවන්.
කිසිම පවක් නොකළ අහිංසක දරුවෙකුගේ ජීවිතයක් තීරණය වෙන්නේ මවුපියන් ගන්න තීරණ සහ දැනුවත්කම මතයි. මිථයාවන්ට බයවෙන්නත් එපා, අවදානම නොසලකා හරින්නත් එපා.
