Monday, April 27, 2026
Epaper
Home විශේෂාංගකොළඔ අහස යට සැඟවුණු හුදකලාව

කොළඔ අහස යට සැඟවුණු හුදකලාව

by Shanaka Lakehouse

දිනය නිමාවී හිරු බැස යන හෝරාවට කොළඹ අහස රත්පැහැ වෙද්දී, ලෝකයම දකින්නේ විදුලි බුබුළුවලින් ඒකාලෝක වූ මනරම් නගරයකි. නෙළුම් කුලුනෙ විචිත්‍රවත් ආලෝකයත්, අධිවේගී මාර්ගවල නොනැවතී ඇදෙන වාහන පේළිත්, අහස සිඹින දැවැන්ත ගොඩනැඟිලිත් මැද කොළඹ දිස්වන්නේ දියුණුවේ සහ කාර්යබහුලත්වයේ සංකේතයක් ලෙසය. නමුත් ඒ මනරම් ආලෝකයට සහ කොන්ක්‍රීට් තට්ටුවලට යටින්, කිසිවකුට නොඇසෙන හුදකලාවේ සැබෑ කතාවක් සැඟවී තිබේ. ගම් දනව්වලින් කොළඹට මිනිසුන් ඇදී එන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. එහෙත් වසර කිහිපයක් ගතවන විට, ඒ බලාපොරොත්තු හඹා යන වෙහෙසකර ගමනේදී බොහෝ දෙනෙකුට තමන්වම මගහැරී යන අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන බස් නැවතුම්පොළක හෝ කාර්යාලයක සිටියත් අද බොහෝ දෙනෙක් අත්විඳින්නේ “සෙනඟ මැද තනිවීම” නම් වූ කටුක යථාර්ථයයි.

අද කොළඹ ජීවිතය සම්පූර්ණයෙන්ම ලියැවී ඇත්තේ මුදල් මතය. සෑම හුස්මක්ම, සෑම පියවරක්ම රුපියල් ශතවලින් මනින තත්ත්වයට පත්ව ඇත. ගමේදී නිකම්ම ලැබුණු පිරිසුදු වාතාශ්‍රය වෙනුවට මෙහිදී මිනිසුන්ට පිරිසුදු වාතය පවා මිලදී ගැනීමට සිදුවන තරමට පරිසරය දූෂණය වී තිබේ. මුදල් පසුපස හඹා යන මේ ගමනේදී මිනිසුන්ට “විවේකය” යන්න අමතක වී ගොස් ඇත. මිනිස් සබඳතාවලට වඩා රුපියලට මුල්තැන දීම නිසා මිනිසුන් තුළ ඇති සහකම්පනය සහ මනුෂ්‍යත්වය කෙමෙන් හීන වී යයි. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තෙක්ම දුවන මේ “මී මැසි තරගය” අවසානයේ අපට ඉතිරි කරන්නේ තෙහෙට්ටුව සහ හුදකලාව පමණි. බැංකු ගිණුමේ ඉලක්කම් වැඩි කරගන්නට දුවන මිනිසාට, පසෙකින් සිටින මිනිසාගේ කඳුළ දකින්නට තරම් කාලයක් හෝ මානසික නිදහසක් අද ඉතිරිව නැත.

කොළඹ යනු විවිධ මාදිලියේ හීන උරගා බලන කර්මාන්ත ශාලාවකි. මෙහි මහ මංමාවත් අතුගාන කම්කරුවාගේ සිට, දැවැන්ත ගොඩනැඟිලි ඉදිකරන මේසන් බාස්ලා සහ අත්වැඩ දෙන්නන් දක්වා වූ පිරිස මේ නගරයේ රෝදය කරකවති. දවස පුරා දහඩිය හෙළා රුපියල් දහස් ගණනක් උපයන කම්කරුවා, හැන්දෑවට ගම් පළාතේ සිටින අඹුදරුවන්ගේ හඬ දුරකතනයෙන් අසා සැනසෙන්නේ කොන්ක්‍රීට් බිමක නිදාගන්නා අතරතුරයි.

පෞද්ගලික ආයතනවල ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කරන වැඩිහිටි පියවරුන් මුළු රාත්‍රිය පුරා නිදිවර්ජිතව සිටින්නේ තමන්ගේ දරුවකුගේ අනාගතය සරු කිරීමටය. සුපිරි වෙළඳසල්වල සහ ඇඟලුම් අලෙවිසල්වල පැය ගණනාවක් හිටගෙන සේවය කරන තරුණියන්, පාරිභෝගිකයන්ට සිනහවකින් සංග්‍රහ කළත් ඔවුන්ගේ හදවත් තුළ ඇත්තේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත බියකි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හෝ බැංකු ක්ෂේත්‍රයේ නිරත වන්නන් පිටතින් උසස් ලෙස පෙනුණත්, පරිගණක තිරයක් ඉදිරිපිට ඔවුන් ගෙවන හුදකලා හෝරාවන් ඔවුන්ව මානසිකව තෙහෙට්ටු කරයි.

විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන සොයා ගම්වලින් එන තරුණ තරුණියන්ට කොළඹ මුලින්ම පෙනෙන්නේ අලුත් ලෝකයක් ලෙසය. නමුත් කාලයත් සමඟ දේශන ශාලාවල සහ පුස්තකාලවල පොත්ගුල් මැද ඔවුන් තනිවෙති. විභාග පීඩනයත්, නගරයේ අධික ජීවන වියදමත් හමුවේ බොහෝ සිසුන් රාත්‍රියේ බෝඩිං කාමරයක “නූඩ්ල්ස්” පැකට්ටුවකින් කුසගින්න නිවාගන්නේ දෑසට උනන කඳුළු පිසදාගනිමිනි. මෙම නගරයේ තදබදය වඩාත්ම බලපාන්නේ අහිංසක දරුවන්ටය. ගම් පළාත්වල මෙන් නිදහසේ දුව පැන ඇවිදින්නට, වෙල් ඉපනැල්ලක සෙල්ලම් කරන්නට හෝ පිරිසුදු වාතය හුස්ම ගන්නට අද කොළඹ දරුවන්ට ඉඩක් නැත. ඔවුන්ගේ ලෝකය බොහෝවිට සීමා වී ඇත්තේ මහල් නිවාසයක කුඩා බැල්කනියකට හෝ ස්මාර්ට් දුරකතනයක තිරයකටයි. වාහනවලින් නිකුත් වන දැඩි දුමාරය සහ දූවිල්ල මැද දරුවන්ට සැබෑ සොබාදහම අහිමි වී ගොස් ඇත. ගමේදී අත්විඳින නිදහස් සෙල්ලම් පිටිය වෙනුවට කොළඹ දරුවන්ට උරුම වී ඇත්තේ කොන්ක්‍රීට් තාප්ප හතරකි. මෙම තත්ත්වය දරුවන්ගේ මානසික හා ශාරීරික වර්ධනයට දැඩි ලෙස බලපාන අතර, ඔවුන් කුඩා කල සිටම හුදකලාවට සහ යාන්ත්‍රික ජීවිතයකට හුරු වීමට මෙය ප්‍රධාන හේතුවක් වී තිබේ. මවුපියන් මුදල් සෙවීමේ අරගලයක යෙදී සිටින අතරතුර, දරුවන් හුදකලා කාමරවල තාක්ෂණික මෙවලම් සමඟ ලොකු මහත් වන්නේ නියම මිනිස් ඇසුරක් නොලබමිනි.

අතේ ඇති ස්මාර්ට් දුරකතනය ලෝකයම සමීප කර ඇති බව පෙනුණ, ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ළඟ සිටින මිනිසා දුරස් වීමයි. පසෙකින් සිටින මිතුරා සමඟ හදවතින් කතා කරනවා වෙනුවට තිරයක් දෙස බලාගෙන ඉමෝජි හරහා සිනහව බෙදාගන්නා පරපුරක් අද බිහිවී ඇත. අතීතයේ කොළඹ නගරයේ තිබූ සාමූහික හැඟීම අද ස්වයංක්‍රිය පද්ධති සහ උස තාප්ප හමුවේ මැකී ගොස් ඇති අතර, තාක්ෂණය දියුණු වන තරමට “මිනිස් ස්පර්ශය” අපෙන් ගිලිහී ගොස් තිබේ. තමන්ගේ හදවතේ බර කියන්නට කෙනෙකු නැතිව ළතැවෙන බොහෝ දෙනෙක් හැන්දෑවට ගාලු මුවදොර වෙරළේ තනිව අහස දෙස බලා සිටින්නේ සැබෑ මනුෂ්‍ය ඇසුරක් සොයමිනි. මහල් නිවාසවල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන මිනිසුන්, තම අසල්වැසියා කවුදැයි පවා නොදන්නා තරමට එකිනෙකාගෙන් වෙන් වී ඇති අතර, ඒ සෑම තාප්පයකටම පිටුපසින් ඇත්තේ හුදකලාවෙන් පීඩා විඳින හදවත්ය.

කොළඹ අහස යට මෙලෙස තනි නොවී සිටීමට නම්, අප නැවතත් මනුෂ්‍යත්වයේ නවාතැන් සොයා යා යුතුය. සැබෑ ජීවිතය සහ සතුට රැඳී ඇත්තේ බැංකු ගිණුමේ ඉලක්කම් මත හෝ සමාජ මාධ්‍යවල “ලයික්ස්” මත නොව, මග තොටේදී හමුවන මිනිසෙකුට දක්වන කාරුණික සිනහවක සහ අපහසු වෙලාවක දිගු කරන දෑතකය. ලොකු මන්දිරයක තනිවෙනවාට වඩා කුඩා නිවෙසක ආදරය බෙදාගැනීම වටිනා බව අප වටහා ගත යුතුය. කොළඹ යනු හුදෙක් සිතියමක ලක්ෂ්‍යයක් නොව, එය දහස් ගණන් මිනිසුන්ගේ හුස්ම වැටෙන, වේදනාව සහ බලාපොරොත්තුව මුසු වූ ජීවමාන රංග පීඨයකි. එහිදී තනි නොවී සිටීමට නම්, අප මුලින්ම මිනිසෙකු ලෙස තවත් මිනිසෙකුගේ හදවතට එබී බැලිය යුතුමය. මුදල් පසුපස හඹා යන ගමන මොහොතකට නතර කර, නිදහස් වාතාශ්‍රයක් හුස්ම ගනිමින්, සැබෑ මිනිස් සබඳතාවල වටිනාකම තේරුම් ගැනීම කොළඹ වැනි නගරයක ජීවත් වීමට අත්‍යවශ්‍ය කරුණකි.

 

TEXT – නිමේෂා රත්නායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?