Monday, April 27, 2026
Epaper
Home Highlightsටියුෂන් නොව පෝෂණයයි

ටියුෂන් නොව පෝෂණයයි

ඔබේ දරුවා ගිරවෙකු කරනවාද? නිර්මාණශීලි බුද්ධිමතෙකු කරනවාද?

by Shanaka Lakehouse

වර්තමාන තරගකාරී සමාජ රටාව තුළ බොහෝ මවුපියන්ගේ එකම සිහිනය සහ ඉලක්කය වී ඇත්තේ තම දරුවා කෙසේ හෝ සමාජයේ දක්ෂයෙකු බවට පත් කිරීමයි. මේ උතුම් අරමුණ වෙනුවෙන් ඔවුන් අද වන විට තෝරාගෙන ඇති ප්‍රධානතම මාවත වන්නේ අමතර පන්ති හෙවත් ටියුෂන් කලාවයි.

පාන්දරින් අවදි වී, තමන්ගේ ශරීර බරටත් වඩා බරැති පොත් බෑගයක් කර තබාගෙන, පන්ති කාමරයෙන් පන්ති කාමරයට හතිලමින් දුවන දරුවා අද දවසේ සාමාන්‍ය දසුනක් බවට පත්ව තිබේ. නමුත් මේ වෙහෙසකර තරගය තුළ දරුවාට ඇත්තටම අහිමි වන්නේ කුමක්දැයි අප මොහොතකට හෝ සිතා බැලුවාද? දරුවාට අහිමි වන්නේ නීරෝගි මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන නිසි පෝෂණය සහ විවේකයයි. දරුවන් සිටින සෑම මවුපියකුම තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළද, බොහෝ විට අත්‍යවශ්‍යම යුතුකම නොදැනුවත්කම නිසා මඟහැරී යන බව කනගාටුවෙන් වුවද කිව යුතුය.

මොළයේ වර්ධනය සහ පෝෂණයේ සබඳතාව

විද්‍යාත්මක දත්තයන්ට අනුව, මිනිස් මොළයේ සමස්ත වර්ධනයෙන් 90%ක්ම සිදුවන්නේ වයස අවුරුදු පහට පෙරය. මෙය දරුවකුගේ ජීවිතයේ තීරණාත්මකම අවධියයි. පාසල් යන වයසේදී ද මොළයේ සෛල අතර සම්බන්ධතා (Synapses) ශක්තිමත් වීමට නම් මොළයට නිරන්තරයෙන් ඉන්ධන අවශ්‍ය වේ. එම ඉන්ධන සපයන්නේ ටියුෂන් ගුරුවරයා නොව, දරුවා දිනපතා ගන්නා දෛනික ආහාර වේලයි. පෝෂණයෙන් තොරව දරුවා පන්ති යැවීම, ඉන්ධන නොමැති වාහනයක් බලහත්කාරයෙන් ධාවනය කිරීමට උත්සාහ කිරීම වැනි නිෂ්ඵල ක්‍රියාවකි.

මොළයේ වර්ධනයට අවශ්‍ය පෝෂක අතරින් යකඩවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 15% ක්ම යකඩ ඌනතාවයෙන් පෙළෙති. දරුවකු මෙලොව එළිය දුටු මොහොතේ සිට මොළයේ ව්‍යුහාත්මක වර්ධනයට යකඩ පෝෂණය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් අවුරුදු දෙකට අඩු වයසේදී දරුවකු යකඩ ඌනතාවයෙන් පෙළේ නම්, එම දරුවාගේ මොළය වර්ධනය නිසි ලෙස සිදු නොවන අතර එය ස්නායු පද්ධතියේ සදාකාලික දුර්වලතා ඇති කිරීමට හේතු වේ. එසේ කුඩා කළ මොළය නිසි ලෙස වර්ධනය නොවූ දරුවකු පසු කාලයේදී කොතරම් මිල අධික ටියුෂන් පන්තිවලට යොමු කළද, මොළයේ ග්‍රහණ ශක්තිය ඉහළ නැංවිය නොහැකිය.

නිවැරදි ආහාර තේරීම

දරුවකුගේ මොළය වර්ධනයට අවශ්‍ය යකඩ ප්‍රමාණය ශාකමය ආහාරවලින් පමණක් සපුරා ගැනීම තරමක් අපහසුය. ශරීරයට පහසුවෙන් උරා ගන්නා යකඩ (Heme Iron) බහුලව ඇත්තේ සත්ත්ව ආහාරවලය. රතු මාළු, මස්, කුකුළ් මස්, හාල්මැස්සන් සහ කරවල වැනි ආහාරවල අඩංගු යකඩ ශරීරයට ඉතා වේගයෙන් අවශෝෂණය වේ. කිරි, බිත්තර සහ එළවළුවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම තරමක් සංකීර්ණ වන අතර, එවැනි ආහාර ලබා දෙන විට යකඩ අවශෝෂණය වැඩි දියුණු කිරීමට විටමින් C බහුල දෙහි ඇඹුල්, ගොරකා හෝ සියඹලා වැනි දේශීය එක් කිරීම නිවැරදි ක්‍රමයයි. මීට අමතරව, ගොටුකොළ, සාරණ, තම්පලා සහ කතුරුමුරුංගා වැනි තද කොළපාට පලා වර්ග දරුවාගේ ආහාර වේලට එක් කිරීම අත්‍යවශ්‍ය වේ. බෝංචි, සෝයාබෝංචි සහ මුංඇට වැනි ධාන්‍ය වර්ග දරුවාට වඩාත් හිතකර ලෙස සකස් කර දීමෙන් ඒවායේ ඇති පෝෂණය උපරිමයෙන් ලබාගත හැකිය.

මානසික නිදහස සහ ප්‍රීතිමත් හෝමෝන

නූතන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවා සැමවිටම පොතපතේම නිරත කරවීම දැකිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මොළයේ ප්‍රීතිමත් හෝමෝන ලෙස හඳුන්වන ඩොපමින් (Dopamine) මට්ටම අඩුවේ. මෙය දරුවාගේ නිර්මාණශීලි චින්තනය අඩපණ කිරීමට හේතු වේ. පර්යේෂණ පෙන්වා දෙන්නේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන අතරතුර දරුවෙකුට නිදහසේ සෙල්ලම් කිරීමට කාලය ලබා දීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය 20% කින් පමණ ඉහළ යන බවයි. සෙල්ලම් කිරීම යනු කාලය නාස්ති කිරීමක් නොව, එය මොළයේ සෛල අලුත්වැඩියා කරන සහ මතක ශක්තිය ස්ථාවර කරන ස්වාභාවික ක්‍රියාවලියකි.

යකඩ ඌනතාවයෙන් පෙළෙන දරුවන්ගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමෙන් මෙය හඳුනාගත හැකිය. එවැනි දරුවන් නිතරම අලස ස්වභාවයක් පෙන්වන අතර, ඉක්මනින් විඩාවට පත් වේ. ඔවුන්ගේ මතක ශක්තිය සහ අවධානය යොමු කිරීමේ හැකියාව දුර්වලය. ඔවුන් කොතරම් පැය ගණනක් පාඩම් කළද, එහි ප්‍රතිඵල ඉතා අවම මට්ටමක පවතී. එවැනි දරුවන්ට මුලින්ම අවශ්‍ය වන්නේ තවත් අමතර පන්තියක් නොව, නිසි පෝෂණයෙන් පිරි ආහාර වේලක් මඟින් සුවපත් වීමයි.

නින්ද සහ මතක ශක්තිය

තවත් අමතක නොකළ යුතු කරුණක් වන්නේ නින්දයි. දිනකට අවම වශයෙන් පැය 06ක් කවත් තැන්පත් නින්දක් නොලබන දරුවකුට තමන් ඉගෙන ගන්නා දේ මොළය තුළ තැන්පත් කර ගැනීම අපහසුය. අලුයම 4ත් 5ත් අතර කාලය පාඩම් කිරීමට සුදුසුම කාලය වුවද, එය අර්ථවත් වන්නේ දරුවා රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නින්දක් ලබා ඇත්නම් පමණි. නිදි වැරීමෙන් සිදු වන්නේ මොළයේ සෛල විඩාවට පත් වී මතක ශක්තිය තවදුරටත් දුර්වල වීමයි.

බුද්ධිමත් මවුපියන්ගේ වගකීම

තම දරුවන් අනාගතයේදී උසස් තත්ත්වයේ පුද්ගලයින් කරවීමට සිහින දකින මවුපියන්, දරුවාගේ නිසි පෝෂණය ගැන සැලකිලිමත් වීම මූලිකම වගකීමකි. අපේ අරමුණ විය යුත්තේ දරුවන් බැලුම් බෝල සේ ලස්සනට පුම්බන්නට උත්සාහ කිරීම නොව, ඔවුන්ව යකඩ බෝල සේ ඇතුළතින් ශක්තිමත් කිරීමයි. ශක්තිමත් සිරුරක් සහ මනා පෝෂණයක් ඇති දරුවා ස්වභාවයෙන්ම නිර්මාණශීලිව සිතීමට පෙලඹේ. දක්ෂ දරුවකු යනු හුදෙක් ගිරවකු සේ පොතේ ඇති දේ කටපාඩම් කර විභාග සමත්වන දරුවා නොවේ. සැබෑ දක්ෂයා යනු නීරෝගි දිවියක් ගත කරමින්, ලෝකය දෙස අලුත් විදිහකට බලන දරුවාය.

එබැවින් ටියුෂන් පන්ති සඳහා වැය කරන අධික මුදලින් කොටසක් දරුවාගේ නිවෙසේදී ලබාදෙන පෝෂණය වෙනුවෙන් ආයෝජනය කිරීම බුද්ධිමත් මවුපියන් සතු වගකීමකි. එමඟින් රටටත්, සමාජයටත්, පවුලටත් සැබෑ වටිනාකමක් ඇති පුද්ගලයන් බිහි කිරීමට මඟ පෑදෙනු ඇත. නිර්මාණශීලි දරුවකු යනු හෙට දවසේ ලෝකය ජය ගන්නා සැබෑ බුද්ධිමතාය.

 

TEXT – ශෂිනි කෞශල්‍යා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?