දැදුරු ඔයේ 08 දෙනෙක් මියයති… අවුරුද්ද මළ ගෙයක් කර නිස්කාරණයේ දියබත් වන ජීවිත ගැන කතාවක්….
යළිත් මිනිස්සු කම්පනය වී ඇත. මෙවර දැදුරු ඔයේ දිය නෑමට ගිය අට දෙනෙකුගේ ජීවිත සම්බන්ධව වන කම්පා කරවන තීන්දුව ලියැවී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. මේ වන විට දිය නෑමට ගිය අට දෙනෙකුගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු මුලින්ම හමු වී ඇත. අතුරුදහන් ව සිටි ඉතිරි 6 දෙනාගේ මළ සිරුරු පසුව හමුවිය.
පසුගිය අප්‍රේල් 16 වනදා එනම් අද පස්වරුවේ පුද්ගලයන් දහතුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොබෙයිගනේ ප්‍රදේශයේ දී දැදුරු ඔයේ දිය නෑමට ගොස් තිබිණි. කිසිවකුත් නොසිතූ මොහොතක ඇති වූ ප්‍රබල ජල ප්‍රවාහයකට හසුව එම පිරිස ගසාගෙන ගොස් තිබේ. දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කර ඇති බවත්, දෙදෙනෙකු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලින් හඳුනාගත්තත් අවසානයේ 8 දෙනෙකු දිය රකුසා බිලිගත් අසුබ ආරංචිය දැනගන්නට ලැබිණි.
මහවැලි ගඟේ නිම වූ සොයුරු සෙනෙහස
මේ අතර මුළු රටම කම්පාවට පත් කළ තවත් සිදුවීමක් වාර්තා වූයේ සේරුනුවර, සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟ අසලිනි. මහින්දපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, කොළඹ රැකියාවල නියැළීමෙන් පසු අවුරුදු නිවාඩුවට ගමට පැමිණ සිටි එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. අප්‍රේල් 14 වැනිදා පස්වරුවේ පියා සහ පුතුන් හතර දෙනෙකු වෙරුගල් ආරු පාලම අසලින් මහවැලි ගඟට බැස්සේ දිය නෑමේ අරමුණිනි.
එහෙත් ක්ෂණිකව මතු වූ ප්‍රබල ජල ප්‍රවාහයත් සමඟ සියල්ල උඩුයටිකුරු විය. සැඩ පහරට හසුවූ පියා සහ එක් පුත්‍රයෙකු අසීරුවෙන් බේරාගැනීමට හැකි වුවද, අනෙක් සහෝදර තිදෙනා දිය රකුසාට බිලිවෙමින් ඇසිපිය හෙළන මොහොතකින් නොපෙනී ගියහ. අවුරුදු 24, 34 සහ 35 වයස්වල පසුවූ, දිවිය ජයගන්නට වෙහෙස වූ ඒ ජවසම්පන්න තරුණ ජීවිත තුනම මහවැලි දිය දහරේ නිහඬ විය.
සිද්ධිය සැලවූ සැණින් සේරුනුවර පොලීසිය සහ නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකක එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. අප්‍රේල් 15 වැනිදා සවස් වන විට සහෝදරයන් දෙදෙනෙකුගේ නිසල දේහයන් හමුවූ අතර, පසුව බාල සහෝදරයාගේ සිරුර ද හමුවීමත් සමඟ මරණ සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගියේය. එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකුගේ දේහයන් එකම නිවෙසක තැන්පත් කරන්නට සිදුවීම තරම් මහා ඛේදවාචකයක් තවත් නැත. ගම්මානයම කම්පාවට පත් කරමින් අවුරුදු සිරිය වෙනුවට මරණයේ වේදනාව හාත්පස ගිලගෙන තිබිණි.
හබරාදූවේදී නිම වූ කටුනායක තරුණයන්ගේ සංචාරය
දකුණු වෙරළ තීරයෙන් ද වාර්තා වූයේ මෙවැනිම කටුක පුවතකි. කටුනායක ප්‍රදේශයේ සිට හබරාදූව ප්‍රදේශයේ සංචාරයකට පැමිණි සොහොයුරන් දෙදෙනෙකු මුහුදේ දිය නෑමට ගොස් රළ පහරට හසුවී මියගියහ මෙලෙස මියගියේ කටුනායක, දුම්රියපොළ පාරේ පදිංචිව සිටි 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ජුඩ් ෂෙවන්ත පෙරේරා සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටි 21 හැවිරිදි ඇන්ටන් සෙනාල් පෙරේරා යන තරුණ සහෝදරයින් දෙදෙනාය.
පවුලේ සාමාජිකයින් සමඟ දකුණු පළාතේ සංචාරයක නිරතව සිටි ඔවුන්, අප්‍රේල් 14 වැනිදා දහවල් කටුනායක පිහිටි සිය නිවෙස බලා ආපසු එන අතරතුර ප්‍රදේශවාසියෙකු විසින් ආරක්ෂිත බවට පැවසූ තොරතුරකට අනුව මෙම වෙරළ තීරයෙන් මුහුදට බැස ඇත්තේ විනෝදයක් අපේක්ෂාවෙනි. තම දරුවන් දෙදෙනා රළ පහරට හසුව මීටර් 100ක් පමණ ඈතට ඇදී යන විටත් අවසන් මොහොත දක්වාම දෑත් එකිනෙකා තදින් අල්ලාගෙන සිටි බව පියා පවසා සිටියේ දැඩි කම්පනයකිනි.
තරුණයන් දෙදෙනා දියේ ගිලෙමින් මතු වෙමින් විනාඩි 10ක පමණ කාලයක් ජීවිතය බේරා ගැනීමට දැඩි අරගලයක නිරත වී තිබේ. අසල හෝටලයක ජීවිතාරක්ෂක භටයන් විසින් ඔවුන් ගොඩට ගෙන හබරාදුව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඔවුන් රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරයකුගේ පරීක්ෂණවලින් තහවුරු විය.
නල්ලච්චිය ජලාශයේ ගිලුණු ගුරු සිසු දෙදෙනා
තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ප්‍රධාන වාරි ඇළ මාර්ගයේ දිය නෑමට ගිය පාසල් ගුරුවරයෙකු සහ පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වී තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ ධනුෂ්ක උදයංග නමැති ගුරුවරයා සහ අනුරාධපුරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි වයස අවුරුදු 19ක් වන හේෂාන් දසුන් නැමැති සිසුවෙකි. ඔවුන් බැඳිවැව සහ තිඹිරිගස්කඩවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම දෙදෙනා උපකාරක පන්ති අවසන් වීමෙන් පසු නල්ලච්චිය ඇළ මාර්ගයේ මංකඩකට දිය නෑම සඳහා ගොස් ඇත. එහිදී අනපේක්ෂිත ලෙස දියේ ගිලී ඇති ඔවුන් දෙදෙනා සැර ජල පහරට හසුවී ගසාගෙන ගොස් තිබේ. එම ස්ථානයේ සිට මීටර් තුන්සීයක් පමණ පහළින් දිය නාමින් සිටි පිරිසක් විසින් ජලයේ ගසාගෙන ආ එක් අයෙකු මුලින්ම දැක ගොඩට ගෙන ඇති අතර, පසුව අනෙක් පුද්ගලයා ද ගොඩට ගැනීමට කටයුතු කර ඇත.
අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පෞද්ගලික ලොරි රථයක් මාර්ගයෙන් ඔවුන් දෙදෙනා තඹුත්තේගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, ඒ වන විටත් ඔවුන් දෙදෙනාම මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මියගිය ගුරුවරයාගේ දේහය තඹුත්තේගම මූලික රෝහලේත්, සිසුවාගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තැන්පත් කර තිබූ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවත් වාර්තා වේ.
මේ අතර, අනුරාධපුර තිසාවැවේ දිය නාමින් සිටියදී දියේ ගිලුණු තවත් පුද්ගලයෙකු බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ. එලෙස දිවි බේරාගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. එම අවස්ථාවේදී ඔහුට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
සංඛ්‍යාලේඛන පවසන බියකරු ඇත්ත
මෙම සියලු සිදුවීම් දෙස බැලීමේදී පොදු ලක්ෂණයක් දක්නට ලැබේ. එනම්, අනතුරට පත් වූ බොහෝ දෙනා එම ප්‍රදේශවලට පිටතින් පැමිණි පුද්ගලයන් වීමයි. නුහුරු දියකඩවල් සහ දිය වැල් පිළිබඳව අවබෝධයක් නොමැතිකම මෙයට ප්‍රධාන හේතුවයි.
වාර්ෂික මරණ සංඛ්‍යාව
සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් 700ත් 800ත් අතර ප්‍රමාණයක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති.
දෛනික සාමාන්‍යය
මෙරට දිනකට පුද්ගලයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණ දිය රකුසාට බිලි වේ.
වැඩිම අවදානම
මියයන පිරිසෙන් බහුතරය අවුරුදු 15ත් 45ත් අතර පසුවන තරුණ පිරිමි පුද්ගලයක් වීම ජාතික පාඩුවකි.
නිරපරාදේ අහිමි වන ජීවිත
මෙම මරණ බොහොමයක් නිවැරදි අවධානයකින් හෝ දැනුවත්භාවයකින් වළක්වා ගැනීමට තිබූ ඒවාය. මත්පැන් භාවිතය, ජලයේ ගැඹුර නොදැන පිහිනීමට යාම, සහ ආරක්ෂිත උපකරණ භාවිත නොකිරීම මේවාට මුල් වේ.
නීරෝගි දිවියක් අපේක්ෂා කරන සැම දෙනාම, මෙවැනි අනතුරු පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. එක් නොසැලකිලිමත් තීරණයක් මුළු පවුලකම හෙට දවස අඳුරු කරන බවත්, දිය රකුසා කිසිවිටෙකත් කඳුළට සමාව නොදෙන බවත් සිහි තබා ගත යුතුය.
TEXT – එමිල් රෝහන්
