Monday, April 27, 2026
Epaper
Home Highlightsයුද ගිනි දැල් මැද සාමයේ ආලෝකය සොයා යන ආලෝකා

යුද ගිනි දැල් මැද සාමයේ ආලෝකය සොයා යන ආලෝකා

by Shanaka Lakehouse

ආලෝකා සමඟ සාම පාද යාත්‍රාව ගමන් ගන්නා මාර්ගය

අප්‍රේල් 21 – අනුරාධපුරයේ සිට දඹුල්ල

අප්‍රේල් 22 – දඹුල්ලේ – මාතලේ

අප්‍රේල් 23 – මාතලේ සිට මහනුවර

අප්‍රේල් 24 – මහනුවර සිට බෙලිගම්මන

අප්‍රේල් 25 – බෙලිගම්මන සිට තෝලන්ගමුව

අප්‍රේල් 26 – තෝලන්ගමුව සිට යක්කල

අප්‍රේල් 27 – යක්කල සිට කැලණිය

අප්‍රේල් 28 – කැලණිය සිට කොළඹ

අප්‍රේල් 29 – කොළඹ

 

දිනෙන් දින යුද ගිනි නැඟෙන ලෝකයට සාමය ප්‍රාර්ථනා කරන්නට මහ මඟ ඇවිද යන ආලෝකා ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් දැන් සිටිය නොහැකිය. මිනිසුන් එකිනෙකා යුද වදිද්දී අවි ආයුධ ගෙන එකිනෙකා නසා ගනිද්දී සාමයේ පණිවිඩය රැගෙන ආලෝකා මේ වන විටත් අපේ රටෙහි පාද යාත්‍රාවේ යෙදෙයි. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසින් පසුගිය අප්‍රේල් 21 වැනිදා ගමන් ඇරඹි මේ සාම පාද යාත්‍රාව අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් අවසන් වීමට නියමිතය.

ඉන්දියාවේ වීථිවල සැරිසැරූ ආලෝකා

සාම පා ගමනක යෙදුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට පළමු වරට ආලෝකාව මුණ ගැසෙන්නේ මීට සිවු වසරකට පමණ පෙරාතුවය. අමෙරිකාවේ ටෙක්සාස්හි ‘හුවොන්ග් ඩාවෝ’ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වියට්නාම් – අමෙරිකන් භික්ෂූන් වහන්සේලා 19 නමක් මෙම පා ගමන ආරම්භ කර තිබිණි.

එනම් 2022 වසරේදී පමණ සාම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුපස ගමන් කරන්නට ආලෝකා කටයුතු කරන්නේ අහඹු ලෙසය. භික්ෂූන් වහන්සේලා ආලෝකාව නැවතත් පලවා හරින්නට කොතෙක් උත්සාහ කළද ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ. විටෙක පලවා හරින ආලෝකා ආපස්සට ගොස් භික්ෂූන් පිටුපස නැවත ගමන් කරයි. ඒ නිසාම භික්ෂූන් පිරිස ආලෝකා සුනඛයාව සිය පාද චාරිකාවේ ස්ථිර සහකරුවෙක් ලෙස සහභාගී කරවා ගැනීමට තීරණය කළේ පලවා හැරීමේ උත්සාහයන් අසාර්ථක වූ නිසාය. අව්ව, වැස්ස, පින්න, මහ මඟ අනතුරු නොතකා ආලෝකා සාම පාද චාරිකාවේ යෙදුණු බව භික්ෂූන් පිරිස පවසති. පාද යාත්‍රාව අතරතුර ආලෝකා රිය අනතුරකට ලක් විය. ඒ අනතුරින් පාදයේ අස්ථියක් බිඳුණු නමුත් ආලෝකා ඒ ආබාධය පවා මායිම් නොකර පාද යාත්‍රාවේ යෙදුණි. පාද යාත්‍රාව අවසන් කිරීමෙන් අනතුරුව භික්ෂූන්ගේ නොමඳ ආදරය දිනා ගත් ආලෝකා භික්ෂූ පිරිස සමඟ අමෙරිකාවට ගමන් කළේය.

අමෙරිකාවේ සැතපුම් දෙදහසකට වැඩි චාරිකාවක්

මෙම භික්ෂූන් පිරිස සිය පාද චාරිකාවේ තවත් අර්ධයක් පසුගිය වසරේ ආරම්භ කළේ අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගෙනය. මෙම ගමන සැතපුම් දෙදහස් හත්සියයක පමණ දුරකින් යුක්ත විය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන්හි ධවල මන්දිරය දක්වා මේ පා ගමනෙහි භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සමඟ ආලෝකාද ගමන් කළේය. මේ ගමන අතරතුර ආලෝකාගේ පාදයේ අස්ථි ආබාධයක් හට ගත් අතර අමෙරිකාවේ දකුණු කැරොලිනාවේ පශූ වෛද්‍යවරයකුගේ මධ්‍යස්ථානයකින් ඌට ප්‍රතිකාර ලැබිණි. එහිදී අනාවරණය වූයේ ඉන්දියාවේදී සිදු වූ රිය අනතුර නිසා හටගත් අස්ථි ආබාධයෙන් මෙම ආබාධය නැවත මතු වී ඇති බවයි. එහිදී ශල්‍යකර්මයකට භාජනය වූ ආලෝකා සුවපත් වූ වහාම නැවතත් අමෙරිකාවේ සාම පාද යාත්‍රාවට එක් විය. එහිදී වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව පාද යාත්‍රාවේ පා ගමනින් මෙන්ම සුවිශේෂී රථයකින් ආලෝකාව පාද චාරිකාවට එක් කර ගැනුණි.

ආලෝකා ගැන…

ආලෝකා Pariah වර්ගයට අයත් සුනඛයෙකි. මේ වන විට ආලෝකා සිවුවැනි වියෙහි පසු වෙයි. සුදු සහ දුඹුරු වර්ණ මුසු සිරුරක් සහිත ආලෝකාගේ නළලෙහි හදවතක හැඩය ගත් සලකුණක් දැක ගත හැකිය. ආලෝකාගේ නළල් තලයේ ඇඳුණු ඒ ආදරයේ සංකේතය ලෝ වැසියන්ගේ ආදරය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු විය. මේ වන විට ආලෝකා Aloka the Peace Dog නමින් ලොව ජනප්‍රියත්වයට පත්ව තිබේ. ආලෝකාගේ ෆේස්බුක් ගිණුමේ අනුගාමික පිරිස ලක්ෂ 11කි. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමික පිරිසද මිලියන තුන ඉක්මවා තිබේ. ඒ අනුව මේ වන විට ලෝකයේ ජනප්‍රියතම සුනඛයා වන්නේද ආලෝකා යැයි කිවහොත් වරදක් නැත.

රටවල් හතරක සාම පාද යාත්‍රා

ආලෝකා මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 4ක සාම පාද යාත්‍රාවේ ගමන් කර තිබේ. ඒ අනුව මේ වන විට ඉන්දියාව, තායිලන්තය, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව සාම පාද යාත්‍රාවේ යෙදී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ පාද යාත්‍රාවේ යෙදෙන ආලෝකා අමෙරිකාවේ සිට පැමිණියේ ගුවන් යානයේ විශේෂ අසුනක් මත හිඳගෙන වීම විශේෂත්වයකි. ආලෝකාට ලෝකයෙන් ලැබෙන නොමඳ ගෞරවය එහිදී මනාව පෙනී යයි. ඒ අනුව මෙම සාම පා ගමනේ ප්‍රධානී භික්ෂුව ලෙස කටයුතු කරන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලම ගුවන් මගී මැදිරියෙහි අසුනක් ආලෝකාට හිමි විය.

ආලෝකාට විශේෂ ආරක්ෂාවක්

භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව අනුරාධපුරයේ සිට වීථි සංචාරය කෙරෙන මෙම සාම පා ගමනෙහි ගමන් කරන ආලෝකාට ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය සහිතව විශේෂ ආරක්ෂාවක් සපයා තිබේ. මේ වන විට ආලෝකා වෙනුවෙන් පැය 24ම ක්‍රියාත්මක කෙරෙන විශේෂ ගිලන් රථයක් ද වෙන් කර තිබීම විශේෂත්වයකි. කෙසේ නමුත් ලොව මිනිසුන් එකිනෙකා මරා ගනිමින් යුද වදිද්දී වීථියක සැරිසැරූ අහිංසක බලු පැටියෙකු සාමය වෙනුවෙන් දරන මේ වෑයම අතිශයින්ම ප්‍රශංසනීයය. එය ලොව සමස්ත මානව සංහතියටම අගනා ආදර්ශයක් බව කිව යුතුය.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?