සමන් අල්මේදා යන නාමය ඇසූ පමණින් ඇතැම් විට ඔබට ඔහුව එකවරම මතකයට නොනැඟෙනු ඇත. එහෙත් යර්ස් බොස් (Yes Boss) ටෙලිනාට්‍යයේ ආරක්ෂක නිලධාරී පිංතූ යැයි කී සැණින් ඔබේ මුවගට අනිවාර්යයෙන්ම සිනහවක් නැඟෙනු නොඅනුමානය. දවසේ වැඩ කටයුතු නිමවා මහන්සියෙන් නිවෙසට පැමිණි අප, රූපවාහිනිය ඉදිරිපස වාඩි වී බඩ අල්ලාගෙන හිනා වූයේ ඔහුගේ ඒ අපූරු රංගනය නිසාවෙනි. විජය නන්දසිරි, ලකී ඩයස් හා සේමිනී ඉද්දමල්ගොඩ වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ එක්ව යර්ස් බොස් හරහා ගෙන ආ හාස්‍ය අත්දැකීම අප සිතෙහි ඔහුගේ රංගනය පිළිබඳ නොමැකෙන මතකයන් ගෙන එන්නක් විය.
ඔහුගේ කලා ගමනේ ආරම්භය ද සුවිශේෂී වූවකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවකයකු ලෙස කටයුතු කරමින් සිටි ඔහුට, මහරගම ප්‍රදේශයේදී ප්‍රවීණ රංගන ශිල්පී හැරී විමලසේන මහතාව මුණගැසී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 1994 වසරේදී හැරී විමලසේන, ජෝ අබේවික්‍රම සහ දයා අල්විස් යන ප්‍රවීණයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ තහංචි ටෙලිනාට්‍යයේ චරිතයක් සඳහා ඔහුට ආරාධනා හිමි විය. එම ටෙලිනාට්‍යය විකාශනය වීමෙන් පසු ඔහුට රංගන ක්ෂේත්‍රයෙන් දිගින් දිගටම විවිධ චරිත සඳහා ටෙලිනාට්‍යවලට හා චිත්‍රපටවලට ආරාධනා ගලා එන්නට විය.
එතැන් පටන් සිය කලා ගමන සාර්ථකව ආරම්භ කළ ඔහු සබඳ පබිලිස්, සකිසඳ එලියස් වැනි අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය හරහා අපේ ජීවිතවල පීඩනය මඳකට හෝ අඩු කිරීමට සමත් විය. සිය රංගන දිවිය තුළ චිත්‍රපට 35කටත්, ටෙලිනාට්‍ය 150කටත් අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙමින් ඔහු අපේ රිදී තිරයත්, පුංචි තිරයත් හැඩ කළ අග්‍රගණ්‍ය කලාකරුවෙකි. ඔහුගේ හාස්‍ය රංගන කුසලතාවයෙන් සිදු කළ නිර්මාණ හැරුණුකොට පුංචි වලව්ව ටෙලිනාට්‍යයේ දුලිකා මාරපනගේ වියපත් පෙම්වතා ලෙස කළ රංගනය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් විය. එපමණක් නොව මෑතකාලීනව නිර්මාණය වූ ‘ද නිවුස් පේපර්’ සහ ‘පාස්පෝට්’ යන චිත්‍රපටවල රඟපෑ ‘පෝටර්ගේ’ සහ ‘තැරැව්කාරයාගේ’ චරිත හාස්‍යයෙන් තොරව ඔහු විසින් සිදු කළ මනා රංගනයන්ය.
එහෙත්, දශක කිහිපයක් පුරාවට අපව සිනහ ගැන්වූ ඒ සොඳුරු මිනිසා අද වන විට රෝගාතුරව නිහඬ වී සිටියි. ඔහුගේ අග්න්‍යාසයේ හටගත් ගෙඩියක් හේතුවෙන් දැඩි සේ පීඩා විඳින අතර, එය විශාල වීම නිසා මේ වන විට ඔහුගේ පිත්තාශයට ද හානි වී ඇත. ඔහු මේ වන විට ඒ සඳහා අවශ්‍ය ශල්‍යකර්මයකට ද භාජනය වී විවේකීව ජයවර්ධනපුර රෝහල අසල ඔහුගේ නිවෙසෙහි ජීවත් වේ. ඔහුගේ පවුලේ අයගේ සහයෝගයත් රංගන ක්ෂේත්‍රයේ සමීපතම කිහිපදෙනෙකුගේ සහයෝගය හා සුවදුක් විමසීමත් ඔහුට ගෙනෙන්නේ ඉතා සුවදායක බවකි.
අපට නිමක් නැතිව සිනහව ගෙනා ඒ ආදරණීය මිනිසා අද අපෙන් සිනහවක්, සත්කාරයක් බලාපොරොත්තුවෙන් අසරණව සිටියි. මේ අසීරු අවස්ථාවේදී ඔහුට ශක්තියක් වීම කලාවට ආදරය කරන අප සැමගේ යුතුකමකි. වෛද්‍යවරයකුගේ උපදෙස් මත සිදු කෙරෙන ප්‍රතිකාර සඳහා යම් මූල්‍යමය දායකත්වයක් ලබා දීමට හෝ ඔහුට උපකාර කිරීමට කැමැති කාරුණික හදවත් ඇති ඔබට, 0770470482 දුරකතන අංකය හරහා ඔහු සම්බන්ධ කර ගත හැකිය.
සිනහවෙන් අපේ හදවත් පිරවූ ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා සුරීනි, ඔබට ඉක්මන් සුවය අත්වේවා යැයි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු!
TEXT – ගවේශ් කළරූ වීරසිංහ
