අම්මාගේ සෙනෙහස, රැකවරණය සහ කැප කිරීම නොවන්නට අප කාටවත්ම අද මේ ලෝකයේ පය ගසා ශක්තිමත්ව ජීවත් වන්නට බැරිය. කුඩා කලලයක්ව දස මසක් සිය කුසෙහි වැඩෙන සමයේ පටන් මෙලොවට බිහිවන තුරුත්, මෙලොවට බිහිව ඇයගේ අත්ල මත නැළැවි නැළැවී ලෝකය දකින විටත් දයාබර මවකගේ සෙනෙහස හැර දරුවකුට අන් කවරෙක්ද? අද රටක් වටින, රටට වැඩ ඇති පුතුන් දූවරුන් හැම කෙනෙක්ම පාහේ මවකගේ සෙනෙහස ආදරය උපරිමයෙන්ම භුක්ති වින්දෝය. මේ එවන් රටක් වටින පුතෙක් සිය මෑණියන් ගැන ‘තරුණී’ අම්මාවරුනේ හමුවේ පළ කළ අදහස්ය. ඔහු අන් කවුරුත් නොව අද වන විට දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනා ගෙන ඇති වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාය.
“මගේ අම්මාගේ නම තුසේ පෙරේරා ලියනරාලලාගේ මේරි ඕලුගල. ඇය වෘත්තියෙන් හෙදියක්. එහෙත් ඇය විශ්‍රාම ගියේ උසස්වීම් ලබා මේට්‍රන් කෙනෙක් විදිහට. ඒ වගේම මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මං පවුලේ එකම දරුවා. ඒ නිසා මට පුංචි කාලේ ඉඳන්ම කිසිදු අඩුපාඩුවක් තිබුණේ නෑ කිවුවොත් නිවැරදියි. අම්මා තාත්තා මට තිබුණු ආදරය කොතරම්ද කිවහොත් මං මෝටර් සයිකලයක් ඉල්ලුවාම මට අරන් දුන්නේ ට්‍රේල් බයික් එකක්. ඒ වගේම අවුරුදු දහ අට කිට්ටු වෙද්දීම මට ඩ්‍රයිවින් පවා ඉගැන්වුවා.
මං පුංචිම කාලේ හැදුණේ වැඩුණේ බළන්ගොඩ මගේ ආච්චි අම්මා ළඟ. මං පුංචි කාලේ හෝඩිය ඉගෙන ගත්තේ බළන්ගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ තිබූ පෙර පාසලේ. ඒ කාලයේ අම්මාගේ නංගිලා හතර දෙනා වන සෙලීන්, මොරීන්, හයිසින්ත්, මාග්‍රට් මගේ පුංචි අම්මලා මට ගොඩක් උදවු කළා. මොන්ටිසෝරි යන්න ඇඳුම් පවා මහලා දුන්නේ මගේ පුංචි අම්මලා විසින්.
අපේ ආච්චි බෞද්ධ වුණත් අපේ සීයා ඇදහුවේ කතෝලික ආගම. ආච්චි මාව පුංචි කාලේ අකුරු කියවන්නට එක්ක ගෙන ගියේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ළඟට. අපේ අම්මාගේ ඉල්ලීමක් අනුව ආච්චි, බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලවා මට අකුරු කියෙව්වා කියලා මං දැනගත්තේ තරුණ කාලයේදීයි. මගේ ජීවිතයේ යාන්තම් හෝ මතකයේ රැඳුණු පැරණිම මතකය වන්නේත් එයයි. ඉතින් මං බළන්ගොඩ මෛත්‍රී හාමුදුරුවන් ළඟ අකුරු කියවපු හැටි අදටත් යාන්තමට මගේ මතකයේ තියෙනවා.
පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මං පාසල් අධ්‍යාපනය සඳහා කොළඹ එනවා. ඒ අනුව මාව කොළඹ වේළුවන විද්‍යාලයට ඇතුළත් කරනවා. අපේ අම්මා ඒ කාලයේ වැඩ කළේ මරදාන කලීල් නර්සින් හෝම් එකේ. සමහරදාට තාත්තා කාර්යබහුල වුණු දවස්වලදී මං අම්මත් එක්ක බස් එකේ හොස්පිට්ල් එක ළඟට යනවා.
ඉතින් ඔය කාලේ හරි අපූරු සිදුවීමක් වුණා. ඒක මගේ මතකයේ අදටත් රැව් පිළිරැව් දෙනවා. මං ඒ වන විට ඉගෙන ගත්තේ 2 වැනි වසරේ. අපේ පාසලෙන් දෙහිවල සත්තු වත්ත බලන්න චාරිකාවක් සංවිධානය කර තිබුණා. තාත්තා කාර්යබහුල නිසා එදා අම්මා මාව රෝහලට එක් කරගෙන ගිහින් එතැනදී රෝහලේ සේවකයෙක් සමඟ චාරිකාවට සම්බන්ධ කළා. ඒ දවස්වල රෝහලට යන පාරේ ‘ජොනතන්’ කියලා ප්‍රසිද්ධ ස්ටුඩියෝ එකක් තිබුණා. එදා රෝහලට යන අතරේ ජොනතන් ස්ටුඩියෝ එක ළඟදී ස්වාමින් වහන්සේ නමක් පිඬු සිඟා වඩින ආකාරය මං දුටුවා. ඒ කාලේ මට ඒ ගැන අවබෝධයක් නෑ. “අම්මේ ඇයි අර හාමුදුරුවෝ කඩවල් ළඟ නතර වෙවී එන්නේ?” මං අම්මගෙන් ඇහුවා. ඉතින් ඒ වෙලාවේ අම්මා ඒ ගැන මට පැහැදිලි කළා. හැමදාම අම්මා මට උදේ පාන්දරම ඇහැරිලා බත් පාර්සලයක් හදලා දෙනවා. එහි තිබුණේ මං කැමැතිම උම්බලකඩ සම්බෝලයක්, බිත්තරයක් සමඟ බත්. “අම්මා මං මගේ බත් පාර්සලය අර හාමුදුරුවන්ට පූජා කරන්නද?” කියලා මං එදා කිසිදු පැකිළීමකින් තොරව විමසුවා. අම්මාත් කිසිදු පැකිළීමක් නැතිව ඊට එකඟ වුණා. එය තමයි මා විසින් ලබා දුන් පළමු දානය. ඒක මට කවදාවත්ම අමතක නොවන සිද්ධියක්.
පුංචි කාලේ ඉඳන්ම මං නොසෑහෙන්න දඟයි. මං වේළුවන විද්‍යාලයෙන් අයින් කරන්නෙත් පන්තියේ ළමයෙක්ගේ අතක් කරකවපු හින්දායි. ඒ වන විට මං තුන්වැනි වසරේ ඉගෙනුම ලැබුවා. ඊට පස්සේ තාත්තා මාව ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කළා. මං වසර ගණනාවක් එහි නේවාසිකාගාරයේ හිඳිමින් පාසල් අධ්‍යාපනය ලැබුවා. ඒ කාලය මගේ ජීවිතයට බොහෝ දේවල් එකතු වුණු කාලයක්. මං ඒ කාලේ බොහෝ දේ ඉගෙන ගත්තා. රටේ විවිධ පළාත්වලින් පැමිණි විවිධ ආගම් සහ සංස්කෘතීන් අදහන ළමයි එහි සිටියා. එහිදී ලද විවිධ සංස්කෘතීන්ගේ ඇසුර මගේ ජීවිතයේ මෙතෙක් ලැබූ ජයග්‍රහණවලට හේතු වූ බව කිව යුතුයි. ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ පුතා දමිත් ෆොන්සේකාත් මගේ සමකාලීනයෙක්. ඒ කොහොම වුණත් මගේ දැඟලිලිවල නම් කිසිම අඩුවක් වුණේ නෑ. අම්මයි තාත්තයි ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගත්තා.
අපේ අම්මා කතෝලික, තාත්තා බෞද්ධ. අම්මා, තාත්තා දෙන්නාම පන්සල් යනවා, පල්ලිත් යනවා, බෝධි පූජා තියනවා. පුංචි කාලයේ ඉඳන්ම මාව වෛද්‍යවරයකුගේ මට්ටමට ගෙන ඒම අම්මාගේ අපේක්ෂාව වුණා. ඔය අතරේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් මට අයින් වෙන්න සිද්ධ වුණේ මගේ දඟ වැඩ නිසාමයි.
එතකොට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා මං ඉන් සමත් වෙලා හිටියේ. අම්මාගේ අපේක්ෂාව වුණේ මාව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරවන්නයි. ඒත් මට ඒ ගැන කැමැත්තක් සහ විශ්වාසයක් තිබුණේ නෑ. මේ අතර මං ආයෙත් උසස් පෙළ කරන්නට කොළඹ ආවා. මං ඇතුළත් වුණේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට. එහිදී මං උසස් පෙළ සඳහා තෝරා ගත්තේ වාණිජ විෂයයන්. මාව තර්ස්ටන් එකට භාර දුන්නේ මගේ අම්මා සහ මාමා. ඉතින් මාව පාසලට භාර දීලා අම්මා ගෙදර යන්නත් කලින් මං ඉස්කෝලේ තාප්පෙන් පැනලා යාළුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා. එය දුටු අම්මාගේ හිතවතෙක් අම්මාට ඒ ගැන දැනුම් දීලා තිබුණා. එදා අම්මා මට හොඳටම බැණලා තර්ජනය කළා.
ඒ වගේම මගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු කළේ තර්ස්ටන් විද්‍යාලයයි. තර්ස්ටන් එකට ගිය දෙවැනි දවසේම එහි වාර්ෂික මැරතන් තරගාවලිය පැවැත්වුණා. මං ඊට සහභාගි වුණා. මං එහි දෙවැනි ස්ථානය දිනා ගත්තා. ඒ අතර තර්ස්ටන් විදුහලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ධාවන අංශය වාර්තාවක් සහිතව මං ජය ගත්තා. ඒ ජයග්‍රහණයත් සමඟ මගේ මිතුරන් පාසලේ කෙඩෙට් කණ්ඩායමට මට ඇතුළත් වෙන්නැයි දිරිමත් කළා. ඉතින් ඔය විදිහට මං එහිදී කෙඩෙට් කළා. ඊට අම්මාගෙන් විරෝධයක් එල්ල වුණේ නෑ. හැබැයි ඒ වන විට අම්මා ගොඩාක් කැමැති වුණේ මං පොලිස් නිලධාරියෙක් වනු දැකීමටයි. ඒත් රටේ යුද්ධයක් පැවැති වකවානුවක මගේ ආසාව වුණේ යුද හමුදාවට බැඳෙන්නට. ඒත් මං පොලීසියට, ගුවන් හමුදාවට, යුද හමුදාවට, නාවික හමුදාවට ආදි ලෙස හැම තැනකටම අයැ දුම්පත් යොමු කළා. ඒ හැම තැනකින්ම මට කැඳවීම් ආවා. ඒත් ඒ අතරින් මං පොලීසියට බැඳුණේ අම්මාගේ කැමැත්තට. ආධුනික පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස මං එහිදී කටයුතු කළා. ඒත් යුද්ධයක් පැවැති කාලයක යුද හමුදාවට බැඳෙන්නැයි මගේ හදවත මට නිතරම වධ දුන්නා. එය මට දරා ගන්න බැරි වුණා. අන්තිමට මගේ හදවතට මං ඉඩ දුන්නා. ඒ නිසා මං විශේෂ කාර්ය බළකාය සමඟ එක්වන්නට තීරණය කළා. ඒත් ඒ වෙලාවේ ඊට අම්මා විරුද්ධ වුණේ නෑ. මං යුද පිටියට ගියත් අම්මා කවදාවත්ම එපා කීවෙත් නෑ. ‘පරිස්සමින් ගිහින් එන්න පුතේ’ යැයි ඇය මට ආශීර්වාද කළා. ඉතින් මගේ ජීවිතයේ මෙතෙක් ලැබූ ජයග්‍රහණයන්ට අම්මාගෙන් වගේම මං ඉගෙන ගත් හැම පාසලකින්ම ලැබුණු පන්නරය ඉතා වැදගත් වූ බව කිව යුතුයි.
ඔය අතරේ මං නැවතත් සාමාන්‍ය පොලිස් රාජකාරියට ආවා. එදා සිට අද දක්වාම මං පොලිස් සේවයේ නිරත වෙනවා. මට මෙයින් අයින් වෙන්න හිතුණු වාර අනන්තයි. ඒත් දැන් මේ රස්සාවට මං ගොඩාක් ආදරෙයි. ඒ වගේම මගේ මෙහෙයුම් දකිමින් අම්මා ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම අම්මා නැත්නම් අද මං පොලිස් සේවයේ නෑ. ඒ ගැන අම්මා එක්ක මට ඒ කාලේ තරහකුත් තිබුණා. ඒත් දැන් එහෙම නෑ. මං දැන් අම්මාගේ තීරණය ගැන ගොඩාක් සතුටු වෙනවා.
සිය ජීවිත කතාවේ මවගේ නමින් ලියැවුණු පරිච්ඡේදය ගැන අදහස් දැක්වූ රොහාන් ඕලුගල අනතුරුව මවගේ චරිත ලක්ෂණ ගැන මෙසේ අදහස් පළ කළේය.
“අම්මා බොහොම පරිත්‍යාගශීලී චරිතයක්. ඒ වගේම ඇය ආගන්තුක සත්කාරයටත් ගොඩක් කැමතියි. සමාජ සේවා කටයුතු, පන්සල් පල්ලිවලට ආධාර කිරීම් ඇය සිදු කරන්නේද නොපැකිළවමයි. වයස නිසා දෝ දැන් ටිකක් ඇය සතුව හිතුවක්කාර ගතිත් තියෙනවා. ගෙදරට කෙනෙක් ආවාම ඒ කෙනාට තේ එකක් හදා දෙන්නම ඕනෑ. ඇය හිතුවක්කාරව සැර වෙන්නේ ඉතින් ඒ වගේ කාරණාවලදී තමයි.
ඒ වගේම අම්මා මට කවදාවත්ම දොසක් කියලා නෑ. ඒත් අම්මා ටිකක් සැරයි. මාව නිවැරදි මාර්ගයට යොමු කරවන්නට මට අවවාද කළත්, මා සිදු කළ වරද නිතරම කියමින් ඇය මගේ හිත කවදාවත්ම පෑරුවේ නැති බව කිව යුතුයි. අම්මා ඇගේ සහෝදරයන්ට බොහොම ආදරෙයි. ඇය ඇගේ අම්මාට සහ තාත්තාට හොඳින් සැලකුවා. ආච්චි අම්මාව ඇගේ ළඟ තබාගෙන සලකන එක ඇගේ ජීවිතයේ තිබුණු හීනයක්.
අදටත් අම්මා මගේ නිවෙස ඉන්නේ. ඇයට දැන් අවුරුදු අසූ හයක්. ඉතින් මගේ අම්මාව මං ආදරයෙන් රැක බලා ගන්නවා. අම්මාට මං ගොඩාක් ආදරෙයි.”
TEXT – ආර්.පී. මිහිරාන්
