Monday, April 20, 2026
Epaper
Home Highlightsසජිත් පුතුගේ දෑසින් කඳුළු පිස දැමූ මවගේ අසිරිමත් අරගලය

සජිත් පුතුගේ දෑසින් කඳුළු පිස දැමූ මවගේ අසිරිමත් අරගලය

විදුහල් මාතාවට අබිමන් ගෙනා අභිමන් පුතුණුවන්ගේ ධෛර්යවන්ත කතාව

by Shanaka Lakehouse

​අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී දින කිහිපයක් ගත වී තිබේ. විභාගය සමත් දරුවෝ ගැන මෙන්ම අසමත් දරුවන් ගැනද මෙවර සමාජ මාධ්‍ය හරහා විවිධ මතවාද ගොඩනැඟෙති. ඒ ජයග්‍රහණ සියල්ලම අතුරින් අපට ඇසුණු විශිෂ්ටම සහ සංවේදීම ජයග්‍රහණය වාර්තා වූයේ මාතර රාහුල විද්‍යාලයෙනි. ඒ, වසර ගණනාවකට පෙර සිදු වූ බිහිසුණු රිය අනතුරක් නිසා ශාරීරිකව අඩපණ වූ දිරිය පුතෙකු, සියලු බාධක පරදා වෛද්‍ය විද්‍යාලයට වරම් ලැබීමේ පුවතයි.

​මාරක රිය අනතුරකින් පියා අහිමි වී, තමන්ද ආබාධිත තත්ත්වයට පත් වෙද්දී, දෛවයේ සරදම් පරදා ඔහු අද ජයග්‍රහණයේ හිණිපෙත්තටම නැග ඇත. ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ දෙකක් (Biology, Chemistry) සහ B සාමාර්ථයක් (Physics) සහිතව දිවයිනේ 153 වැනි ස්ථානයත්, මාතර දිස්ත්‍රික්කයේ 09 වැනි ස්ථානයත් දිනාගත් සජිත් ගිම්හාන් පුතුගේ ඒ අසිරිමත් ජයග්‍රහණයේ සැබෑම වීරවරිය ඔහුගේ මවයි. ඒ අසීමිත දාරක ස්නේහයේ අරගලය ගැන ඇය, කේ. එස්. නාමලී මහත්මිය අප සමඟ කතාබහට එක්වූයේ ලෝකයක් දිනා ගත් අභිමානවත් දිරිය මවක් ලෙසිනි.

දිරිය මව නාමලී

ජීවිත කාලය පුරාම ඔබ විඳි ඒ අප්‍රමාණ කැපකිරීම අද මල්පල දරා තිබෙනවා. ඇත්තටම මේ ජයග්‍රහණය දකිද්දී මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

​”ඇත්තටම , මේ සතුට වචනවලට පෙරළන්න මම දන්නේ නැහැ. මගේ පුතාගේ ජයග්‍රහණය පසුපස මම විතරක් නෙවෙයි, තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය මට දුන්න ශක්තිය සහ ධෛර්යය නිසා තමයි පුතාට මේ තරම් දුරක් එන්න හැකි වුණේ. අද මම මේ හඬන්නේ සතුටු කඳුළු. මොකද මගේ පුතා ජීවත් වෙලා ඉන්න එකම මට ආශ්චර්යයක් වුණ කාලයක් තිබුණා…” (ඇය මොහොතක් නිහඬ වූවාය).

ඒ අතීතය හරිම වේදනාකාරී ඇති. සජිත් පුතා මේ අනතුරට මුහුණදෙන කොට එයා හරිම පුංචියි නේද?

​”ඔව්, මගේ පුතා රිය අනතුරට මුහුණ දෙන විට අවුරුදු දෙකක කුඩා අත දරුවෙක්. එදා මගේ සැමියා වන සම්පත්ගේ ගෙදර ගිහිල්ලා එනකොට තමයි අපි මේ අනතුරට මුහුණ දුන්නේ. මගේ සැමියා ගුවන් හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙක්. ඒ අනතුරෙන් අපි තුන්දෙනාම තුවාල ලැබුවා. මගේ ඇස් ඉදිරිපිටම සැමියා මිය ගියා. පුතාගේ මොළයේ ලේ කැටියක් සිරවීමෙන් එයා සම්පූර්ණයෙන් ආබාධිත වුණා. දුව පැන ඇවිදලා සෙල්ලම් කරපු මගේ පුතාට මොකද වුණේ කියලා දෙයියෝ තමයි දන්නේ…” (ඇයගේ දෑසින් කඳුළු කැට කඩා හැලෙයි).

රෝද පුටුවකට සීමා වුණු දරුවෙක් වෛද්‍ය විද්‍යාලය දක්වා රැගෙන යන මේ අසීරු ගමන ඔබ ආරම්භ කළේ කොහොමද?

​”අනතුරට පස්සේ පුතාට පැය පහක අසීරු සැත්කමක් කළා. දරුවට කෙලින් හිටගන්නවත් බැරි මට්ටමක තමයි එදා හිටියේ. නමුත් මම උත්සාහය අත හැරියේ නැහැ. මම දරුවාව අඛණ්ඩව භෞත චිකිත්සක ව්‍යායාමවලට එක්ක ගියා. වයස අවුරුදු දෙකේ සිටම නොකඩවාම අධ්‍යාපනයට යොමු කළා. මුලින්ම හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයෙන් ලකුණු 159ක් ලබාගෙන ශිෂ්‍යත්වය සමත් වුණා. පස්සේ සාමාන්‍ය පෙළට A 09ක්ම ගත්තා. මම හිතාගත්තා මගේ පුතාට කවදාහරි ඇවිදින්න බැරි වුණත්, ලෝකයම දිනන්න පුළුවන් මොළයක් මම හදලා දෙනවා කියලා.”

මාතර රාහුල විද්‍යාලය සහ ගුරුවරුන්ගෙන් ලැබුණු සහයෝගය ගැනත් මතක් කරමු?

​”රාහුල විද්‍යාලයේ විදුහල්පති බී. ටී. ඒකනායක මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය මෙන්ම යාළුවෝ පුතාට දැක්වූයේ පුදුමාකාර ආදරයක්. විශේෂයෙන්ම ජීව විද්‍යා (Biology) විෂය සඳහා හර්ෂත්‍රී ගුරු මහත්මිය ලබා දුන් පෞද්ගලික මඟපෙන්වීම සහ කැපවීම මේ ‘A’ සාමාර්ථයට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම රසායන විද්‍යාවට ඔස්මන් ජයසිංහ ගුරුතුමාත්, භෞතික විද්‍යාවට සමන් දලල්ලගේ ගුරුතුමාත් පුතාට නොමිලේ පන්ති යාමට පහසුකම් සලසා දුන්නා. මේ හැමෝම මගේ පුතාගේ දෑස් පෑදූ දෙවිවරු.”

ඔබ මේ හැමදෙයක්ම කළේ තනිවම නේද? මවක් විදිහට ඒ ආර්ථික ශක්තිය ඔබ සොයාගත්තේ කොහොමද?

​”මගේ සැමියා ගුවන් හමුදාවේ නිසා ඔහුගේ විශ්‍රාම වැටුප ලැබුණා. ඒ වගේම මම දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා රැගෙන යන්න ත්‍රිරෝද රථයක් ගත්තා. ඒ ත්‍රීවිල් එක මම ම පදවමින් ‘හයර්’ කරලත් දරුවා වෙනුවෙන් මුදලක් සොයා ගත්තා. ගුවන් හමුදාවෙන් අපට නිවසක් ලබා දුන්නා. ඒ වගේම රණවිරු අධිකාරිය, මාතර බෝධි ආරක්ෂක අරමුදල, ජනාධිපති අරමුදල සහ ඩේවිඩ් පීරිස් ආයතනයත් පුතාට ශිෂ්‍යත්ව ලබා දෙමින් අතහිත දුන්නා.”

​”මගේ අම්මා තමයි මගේ ජීවිතේ සැබෑම වීරවරිය” – සජිත් ගිම්හාන්

​සජිත් ගිම්හාන් පුතාද සිය ජයග්‍රහණය ගැන අප හා අදහස් දැක්වූයේ නිහතමානීවය.

​”මම දිවයිනෙන්ම 153 වැනි ස්ථානය ලබාගන්න මට උදව් කරපු මගේ අම්මා තමයි මගේ ජීවිතේ සැබෑම වීරවරිය. ඇය ධෛර්යවන්තකමේ ජීවමාන සංකේතයක්. මම කුඩා කාලේ පුවත්පතක දැක්කා ලංකාවේ වෛද්‍යවරියක ඔස්ට්‍රේලියාවේ හොඳම වෛද්‍යවරයා බවට පත්වෙනවා. එදා ඉඳන් මටත් වෛද්‍යවරයෙක් වීමේ සිහිනය තිබුණා. ඇවිදගන්න බැරුව රෝද පුටුවකින් ගිය මට මගේ යාළුවෝ සහ ගුරුවරු කරපු උදව් මහමෙරක් තරමට වටිනවා.”

රාහුල විද්‍යාලයේ විදුහල්පතිනි බී. ටී. ඒකනායක මහත්මිය පවසන්නේ සජිත් පුතා පාසලට පමණක් නොව මුළු රටටම ආදර්ශවත් දරුවකු බවයි. පරාජය හමුවේ සැලෙන දහස් ගණනක් තරුණ ජීවිතවලට සජිත් ගිම්හාන් සහ නාමලී මහත්මිය කියා දෙන්නේ ජීවිතය යනු අත්හැරීම නොව අභියෝග හමුවේ නොසැලී නැඟී සිටීම බවයි. හෙට දවසේ රෝගීන් සුවපත් කරන මනුෂ්‍යත්වයෙන් පිරි වෛද්‍යවරයෙකු ලෙස අපට සජිත් පුතා දැකගත හැකිවනු නොඅනුමානය.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?