Monday, April 20, 2026
Epaper
Home Highlightsවැඩිහිටියන් නිවැරදිව බලා ගන්නට කියා දෙන වෘද්ධ වෛද්‍ය විද්‍යාව

වැඩිහිටියන් නිවැරදිව බලා ගන්නට කියා දෙන වෘද්ධ වෛද්‍ය විද්‍යාව

වයස යනු ඉලක්කමක් පමණක් ම වන්නට නම්....

by Shanaka Lakehouse

වයසට යනවට කවුද කැමති. අපි කවුරුත් කැමති, තරුණ වියට. ලස්සනට ඇඳලා පැලඳලා, හොඳට කාලා බීලා, විනෝද වෙලා ඉන්න. බෝ නොවන රෝග නිසයි දැන් දැන් වැඩිහිටියන් පවුලට බරක් වෙලා ඇත්තේ. වැඩිහිටි විය නීරෝගි එකක් වන්නේ නම් ඔවුන් පවුලට, සමාජයට කිසිසේත් ම බරක් නොවේවි.

වයෝවෘද්ධ සමය නීරෝගිව, සතුටින් සහ ගුණාත්මකව ගත කිරීම ඉතාම වැදගත් වේ. ඒ සඳහා ශාරීරික, මානසික සහ සාමාජීය පැතිකඩ සියල්ලම සැලකිල්ලට ගන්නා ජීවන රටාවක් අවශ්‍යයි.

ලංකාවේ ජනගහනය එන්න එන්නම වයස්ගත වේ. වසරක් පාසා අවුරුදු 60ට වැඩි ජනගහනය ගොන්නට එකතුවන පිරිස වැඩි වේ. ලංකාව දකුණු ආසියාවේ වයස්ගත ජනගහනය වැඩිම රටයි. ඉදිරියේදී මේ තත්ත්වය තව තවත් වැඩි වේවි.

වැඩිහිටි ජනගහනය වැඩි වෙද්දි ඔවුන් රැක බලා ගන්නා පිරිස වැඩිවීම අත්‍යවශ්‍ය කරුණක් වුවත්, සිදුව ඇත්තේ එම පිරිස අඩු වීමයි. ඊට හේතූ වී ඇත්තේ පවුල් එන්න එන්නම කුඩා වීමයි. තරුණ ප්‍රජාව අඩු වීමයි. බොහොමයක් දරුවන්ට දූ දරුවන් දැන් විදෙස් රටවල පදිංචිවීම සුලභ කරුණක් වී තිබේ. මේ නිසා ඔවුන්ගේ මාපියන් රැක බලා ගන්නටවත් කෙනෙක් නොමැති තත්ත්වයක් උදා වී තිබීම ඛේදජනකය.

වැඩිහිටි වෛද්‍ය විද්‍යාව හෙවත් වෘද්ධ වෛද්‍ය යනුවෙන් හඳුන්වන්නේ විද්‍යානුකූලව වැඩිහිටියන් රැක බලා ගන්නා අන්දම කියා දෙන විද්‍යාවයි.

මනසින් රෝගී වීම

වැඩිහිටි වියේදී දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදු වේවි. ගතින් රෝගී වනවාට අමතරව මනසින් ද රෝගී විය හැකියි. ඩිමෙන්ෂියාව, මානසික විශාදය හෙවත් ඩිප්‍රෙශන් තත්ත්වයන් ද සුලභව දැකිය හැකියි. බොහොමයක් වැඩිහිටියන් වෙසෙන්නේ තනිවමයි. ඔවුන් ඉවසිය නොහැකි පාළුවකින් හා තනිකමකින් පෙළෙයි. දරුමල්ලන්, මුණුපුරන් නිවෙසේ පැය ගණනාවන් නොසිටීම මෙයට හේතුවයි. තමාට ප්‍රශ්නයක් හෝ කිව හැකි කෙනෙක් නොසිටීම නිසා තනිකම, පාළුව අදවන විට රෝගී තත්ත්වයක් බවට පත්ව තිබේ.

වැටීම හා සමබරතාව ගිලිහී යෑම

මීට අමතරව අප එතරම් නොසිතන විවිධ ව්‍යාකූල තත්ත්වයන්ට වැඩිහිටියන් නොසිතූ පරිදි මුහුණ දෙයි. වැටීම් සහ සමබරතාව ගිලිහී යෑම එවැනි එක් අවස්ථාවකි. වැඩිහිටියන් නිතර නිතර වැටීම්වලට ලක්වනු ඔබ දැක ඇති. වැඩිහිටි වෛද්‍ය විද්‍යාවේදී වැටීම සහ සමබරතාව ගිලිහී යෑම රෝගී තත්ත්වයන් ලෙස සලකා විශ්ලේෂණය කොට එයට ප්‍රතිකාර කරයි. වැටීම නිසා සිදුවන අනතුරු, අස්ථි බද්ධ කිරීම් කෙරෙහි අවධානය යොමු කෙරේ.

පාලනයකින් තොරව මුත්‍රා පිටවීම

මුත්‍රා පාලනයකින් තොරව පිටවීමද වැඩිහිටි වියේ දී දැකගත හැකි තත්ත්වයකි. මෙයද රෝගී තත්ත්වයක් ලෙස සලකා ඊට ප්‍රතිකාර කෙරේ.

ඖෂධවල අතුරුඵල

වැඩිහිටි වියේදී හට ගන්නා රෝග ප්‍රමාණය වැඩි නිසා ගැනීමට සිදුවන ඖෂධ ප්‍රමාණය ද වැඩිවේ. ගන්නා ඖෂධ ප්‍රමාණය වැඩි වීම නිසා, හට ගන්නා විවිධ ව්‍යාකූල තත්ත්වයන්ට ද මුහුණ පාන්නට සිදුවේ. ඖෂධ නිසා හට ගන්නා තත්ත්වයන් දරා ගැනීම අපහසු වේ. වැඩිහිටි වියේදී ශරීරය දුර්වල වීම නිසා ඖෂධවලින් හට ගන්නා අතුරු ආබාධයන්ට මුහුණ දීම පවා අසීරු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ වැඩිහිටියන්ට කෑම අරුචිය, ක්ලාන්තය, මලබද්ධය, අධික නිදිමත ගතිය වැනි රෝග ලක්ෂණ පවා ඇති විය හැකියි.

ඇවිදීම ක්‍රමයෙන් සීමාසහිත වීම

ඇවිදීමට නොහැකි වීම වැඩිහිටි වියේදී හට ගත හැකි තවත් බරපතළ ව්‍යාකූල තත්ත්වයකි. මොවුන් පිටත ඇවිදීම සීමාසහිත වී නිවෙසටම සීමා වෙයි. ඉන්පසු කාමරයටම සීමා වෙයි. පුටුවකට සීමාවී අවසානයේ ඇඳකටම වී මිය යනතෙක් ම ඉන්නට සිදු වේවි.

ඇවිදීමක් සිදු නොවන නිසා මාංස පේශි එන්න එන්නම දුර්වල තත්ත්වයට පත් වෙයි. ශාරීරික දුබලතාව යන්න බරපතළ රෝගී තත්ත්වයකි.

නිවුමෝනියා තත්ත්ව

තරුණ කෙනකුට සාපේක්ෂව කෙනෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයක් ඇතිවුවත් සුව වීමට කල්ගත වේ. ඇතැම් විට නිවුමෝනියාව දක්වාම විහිදෙයි. වැඩිහිටියන් බොහොමයකගේ මරණය සිදුවුන්නේ නිවුමෝනියා තත්ත්වයෙනි.

රෝගී වූ වැඩිහිටියකු සුව වී පෙරළා නිවෙස් බලා ගියත් ඉන්පසුවත් ඔවුන් සිටිනුයේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ තත්ත්වයක නොවේ. ඔවුන් සාමාන්‍ය තත්ත්වයේ දැකිය නොහැකියි. තවත් දුබල වේ.

වැඩිහිටි පුද්ගලයකුට ප්‍රතිකාර කිරීම සංකීර්ණ වන්නේ ඇයි?

ඉහත කී විවිධ රෝගී සහ ව්‍යාකූල තත්ත්වයන්ගෙන් පෙළෙන වැඩිහිටියන්ට ප්‍රතිකාර කරද්දී ඒවා එකිනෙකට බද්ධවූ තත්ත්වයන් වන නිසාම ප්‍රතිකාර කිරීම සංකීර්ණ වේ. ඇතැම්විට වෛද්‍යවරුන් ඖෂධ ලබා දෙන්නේ කුඩා මාත්‍රාවලිනි. ඒ ඔවුන් ඖෂධවලට සංවේදී වැඩි නිසයි.

වෘද්ධ වෛද්‍ය විද්‍යාව ලොව නැතිවම බැරි එකක් බවට පත්ව ඇත්තේ ඒ නිසයි. වැඩිහිටියන්ට ඇති විය හැකි මේ රෝග සියල්ලක් කෙරෙහිම ඔවුන් අවධාරණය කරයි. එය comprehensive geriatric assessment ලෙස නම් කරයි. මෙහිදී සීනි, කොලෙස්ටරෝල් පමණක් නොව ශරීරයේ ඇතිවන සියලු රෝග ලක්ෂණ පරීක්ෂාවට ලක් කෙරෙමින් අවශ්‍ය පරීක්ෂණ සිදු කරයි. තරුණ කෙනෙක් පරීක්ෂාවට ලක් කරනවාට වඩා වැඩි කාලයක් වැඩිහිටි කෙනෙක් පරීක්ෂා කිරීමට ගත වේ. එකින් එකට හඳුනා ගනිමින් අවශ්‍ය දේ කරන්නට වෛද්‍යවරුන් පෙලඹේ. ඒ අනුව නිවැරදි හොඳම ප්‍රතිකර්මය, අවශ්‍යම මොහොතේදී සිදු කෙරේ.

සහන සත්කාර සේවා

වැඩිහිටි රෝගීන් රැක බලා ගැනීම සඳහා ක්‍රියාත්මක වනුයේ සහන සත්කාර සේවාවයි. වැඩිහිටියන්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට, අවසාන කාලය දක්වාම තමාගේ කටයුතු සිදු කරගෙන යෑමට ඉතා විශාල පිටිවහලක් ලබා ‍ෙදයි.

වැඩිහිටි සායන

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු දිවයින පුරා ප්‍රධාන රෝහල් කිහිපයකම වැඩිහිටි සායන පැවැත්වේ. මෙම සායන සහ එම රෝගීන් රෝහල්ගත කළ විට වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ (Geriatrician) අවධානයට ලක් වේ.

අවශ්‍ය අවස්ථාවකදී මෙම විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික අංශයේදී චැනල් කර හමුවීමට ද පුළුවනි.

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?