අලුත උපන් බිළිඳකු සිටින ඕනෑම මවුපියෙකුට දරුවාගේ අසීමිත හැඬීම අභියෝගයක් විය හැකියි. විශේෂයෙන්ම කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව, පැය ගණන් එක දිගට දරුවෙකු හඬනවා නම්, රාත්‍රී කාලයට ඔවුන් හඬන ප්‍රමාණය බොහොම ඉහළයි. මේ දරුණු ලෙස හැඬීම තමයි “බාලගිරි දෝෂය” කියලා පැරණි වැඩිහිටියන් විශ්වාස කළේ. හැබැයි අද කාලේ පැරණි මත හිස දරාගෙනම ඉන්න අවශ්‍ය නොවන තරමට තාක්ෂණය ඉතාමත් දියුණුයි. බාලගිරි දෝෂය කියලා කියන්නෙත් අද කාලේ වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර සොයාගත්තු තවත් රෝග තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. ඒ තමයි පුංචි දරුවන්ට වැවඳෙන “කෝලික්” (Colic) කියන තත්ත්වය.
මේ තරම්ම වෛද්‍ය විද්‍යාව දියුණු කාලේ පුංචි බබාලා අඬනකොට “බාලගිරි දෝෂය අද නොවේ හෙට” කියලා දොරේ ලියලා අත් බැඳගෙන බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. පැරණි විශ්වාස, පුරුදු ඉදිරියට අරගෙන ගියාට වරදක් නැහැ. හැබැයි දරුවාගේ අපහසුතාවය දුරු කරන්න නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් බොහොම වැදගත්. කෝලික් යනු කුමක්ද, එයට හේතු, රෝග ලක්ෂණ සහ එයට මුහුණ දෙන ආකාරය පිළිබඳව අපි විස්තරාත්මකව බලමු.
කෝලික් යනු කුමක්ද?
කෝලික් යනුවෙන් හැඳින්වෙන්නේ රෝගයක් නොවන නමුත් පුංචි දරුවන්ට අපහසුතාවයක් ඇති කරන තත්ත්වයක්. බොහෝ දුරට මේ කෝලික් තත්ත්වය දකින්න ලැබෙන්නේ බොහොම නීරෝගිව උපන් කුඩා දරුවන් තුළයි. ඒ වගේම තමයි මේ කෝලික් කියන තත්ත්වය තාවකාලික තත්ත්වයක්. කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව, සතියකට දින 3කට වඩා වැඩි කාලයක්, දිනකට පැය 3කට වඩා වැඩි කාලයක්, සති 3කට වඩා වැඩි කාලයක් අඛණ්ඩව හැඬීම මෙහි ස්වභාවයයි. මෙය සාමාන්‍යයෙන් දරුවාට සති 2-4ත් අතර කාලයේදී ආරම්භ වී, සති 6දී පමණ උච්චතම අවස්ථාවට පත් වී, මාස 3-4 පමණ වන විට ක්‍රමයෙන් අඩුවී අතුරුදහන් වේ.
කෝලික්වල රෝග ලක්ෂණ:
දරුවාට කෝලික් තත්ත්වයක් ඇත්දැයි හඳුනා ගැනීමට උපකාර වන පොදු රෝග ලක්ෂණ කිහිපයක් තිබේ:
අසීමිත හැඬීම: දරුවා හදිසියේ කිසිදු හේතුවක් නොමැතිව හඬයි. මෙම හැඬීම සාමාන්‍යයෙන් සවස් වරුවේ හෝ රාත්‍රියේදී වැඩි වේ. කුසගින්න, නිදිමත හෝ වෙනත් අපහසුතාවයක් නැතත් දරුවා ඉතා තදින් වේදනාත්මක ස්වරූපයෙන් හැඬීම මෙහි ලක්ෂණයකි.
ශරීර ඉරියව්වල වෙනස්කම්
දරුවාගේ කකුල් බඩ දෙසට ඇදගෙන සිටීම.
හස්තය තදින් මිට මොළවාගෙන සිටීම.
හඬන අවස්ථාවන්හිදී දරුවා අතපය දරදඬු කරගෙන සිටීම.
හඬන විට මුහුණ තද රතු පැහැයට හැරීම.
පසුපසට නැමෙමින් හැඬීම.
බඩ පිපුනාක් මෙන් පෙනීම.
වාතය පිටවීම හෝ ගුඩුස් යෑම.
අධික ලෙස හැඬීම නිසා දරුවාට නිදා ගැනීමට හෝ කිරි බීමට අපහසු විය හැකියි.
කුඩා දරුවන් හඬන එක සාමාන්‍ය බව අපි විශ්වාස කරන නිසාත්, පෙර සඳහන් කළ බාලගිරි දෝෂය වැනි විවිධ විශ්වාසයන් පවතින නිසාත් බොහෝ දුරට මෙම තත්ත්වයට ප්‍රතිකාර ලබා ගන්න මවුපියන් යොමු වෙන්නේ නැහැ. එය හුදෙක්ම ඔවුන්ගේ නොදැනුවත්භාවයයි. නමුත් මේ තත්ත්වය දරුවාට අපහසුතාවයක් වනවා සේම දරුවා රැකබලා ගන්නා වැඩිහිටියන්ටත් ඉතාම පීඩාකාරී තත්ත්වයක්.
කෝලික්වලට හේතු මොනවාද?
කෝලික් තත්ත්වය ඇතිවෙන්න බලපාන නිවැරදිම හේතුව මෙන්න මේකයි කියලා සනාථ කළ හේතුවක් වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ තත්ත්වයට බලපෑ හැකි යැයි සැලකෙන ප්‍රධාන හේතු කිහිපයකි:
අසම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතිය අලුත උපන් දරුවෙකුගේ අවයව පද්ධතිය තවම හරිහැටි වර්ධනය වී නොමැති නිසා, අමාශය තුළ රැඳෙන වාතය පිටතට නොයාම නිසා වේදනාවක් ඇති විය හැකියි.
ආහාර පිළිබඳ සංවේදීතාව මව ගන්නා සමහර ආහාර (කිරි නිෂ්පාදන, කැෆේන්) මව්කිරි හරහා දරුවාට ලැබී අපහසුතා ඇති කළ හැකියි.
බැක්ටීරියා අසමතුලිතතාවය
ආහාර ජීර්ණ පද්ධතියේ පවතින හිතකර බැක්ටීරියාවල අසමතුලිතතාවය.
හෝර්මෝන ක්‍රියාකාරීත්වය
උදරයේ වේදනාව ඇති කරන හෝර්මෝන බලපෑම.
අධික උත්තේජනය
අධික ආලෝකය, ශබ්ද සහ විවිධ ක්‍රියාකාරකම් නිසා දවසේ අවසානයේ දරුවාට ඇති වන පීඩනය.
කෝලික් ඇති දරුවෙකු සනසන ක්‍රම
නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වුවද, දරුවාට සහනයක් ලබා දීමට ගත හැකි පියවර කිහිපයක් තිබේ:
සමීප බව
“Kangaroo care” (දරුවාව සමට සම ස්පර්ශ වන සේ වඩාගෙන සිටීම) මඟින් දරුවාට ආරක්ෂාව සහ සැනසීම ලැබේ.
පැද්දීම: දරුවා මෘදුව සෙලවීම හෝ තොටිල්ලක දමා පැද්දීම.
සුදු ශබ්ද (White noise)
ෆෑන් එකක ශබ්දය වැනි ඒකාකාරී මෘදු ශබ්ද දරුවා සන්සුන් කරයි.
උණුසුම් ස්නානය
මාංශ පේශි ලිහිල් කිරීමට උපකාරී වේ.
මෘදු සම්බාහනය
දරුවාගේ බඩ මෘදුව දක්ෂිණාවර්තව පිරිමැදීම සහ කකුල් පාපැදියක් පදින්නාක් මෙන් චලනය කිරීම.
ගුඩුස් යැවීම
කිරි දීමෙන් පසු හොඳින් ගුඩුස් යැවීම අනිවාර්ය වේ.
වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කවදාද?
කෝලික් යනු සාමාන්‍ය තත්ත්වයක් වුවද, දරුවාගේ හැඬීම සමඟ උණ, වමනය හෝ වෙනත් අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. කෝලික් යනු තාවකාලික තත්ත්වයක් බවත්, එය දරුවාගේ වර්ධනයේ කොටසක් බවත් මතක තබා ගන්න
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනී
