බුදු දහම යනු හුදෙක් පරලොව සුගතිය ගැන පමණක් නොව, පුද්ගලයා ජීවත් වන සමාජය තුළ ගුණවත්, නැණවත් සහ ප්‍රියමනාප පුද්ගලයකු ලෙස ජීවත් විය යුතු ආකාරය කියාදෙන ප්‍රායෝගික දහමකි. දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ තම දිවැසින් එක්තරා ස්ත්‍රියක් මරණින් මතු දිව්‍ය ලෝකයේ උපත ලබා සිටිනු දැක, ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් ස්ත්‍රියක් තුළ ගුණාංග පහක් පිහිටා ඇත්නම් ඇය මෙලොව ජීවිතය ජය ගන්නා අතරම, මරණින් මතු සුගතිගාමී වන බවයි.

අචල ශ්‍රද්ධාව (සද්ධෝ ච හෝති)
ස්ත්‍රියකගේ ජීවිතය ආලෝකවත් කරන මූලිකම පදනම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව යනු හුදෙක් ඇදහීමක් නොව, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති කරගන්නා වූ ප්‍රඥාගෝචර පැහැදීමයි. රූපයෙන් කොතරම් ලස්සන වුවත්, ශ්‍රද්ධාව නැති ස්ත්‍රියකගේ සිත නිතරම නොසන්සුන්ය. බාහිර ධනධාන්‍ය සොරුන්ට හෝ ස්වාභාවික විපත්වලට විනාශ කළ හැකි වුවද, සිත තුළ ගොඩනඟා ගත් ශ්‍රද්ධාව කිසිවකුට සොරාගත නොහැකි උතුම්ම ධනයයි.
සොප්පවාසා උපාසිකාවගේ කතාවෙන් පැහැදිලි වන පරිදි, ජීවිතයට පැමිණෙන විවිධ දුක්ගැහැට හමුවේ වුවද නොසැලී සිටීමට ශක්තිය ලැබෙන්නේ ශ්‍රද්ධාව තුළිනි. ශ්‍රද්ධාවන්ත ස්ත්‍රිය නිෙවස තුළ ආගමික වතාවත්වල නිරත වෙමින්, තම දූ දරුවන්ද දැහැමි මඟට යොමු කරමින් මුළු නිෙවසම පින් බිමක් බවට පත් කරයි.
පවට ඇති ලැජ්ජාව (හිරිමා ච හෝති)
‘හිරි’ යනුවෙන් හැඳින්වෙන්නේ තමන්ගේ ගෞරවය සහ කුලය ගැන සිතා පව් කිරීමට ඇති වන ලැජ්ජාවයි. ස්ත්‍රියකගේ සැබෑ ආභරණය රන් රිදී මුතු මැණික් නොව ඇය තුළ ඇති ගුණධර්මයන්ය. තමන් අතින් අකුසලයක් සිදු වුවහොත් එය තමන්ගේ චරිතයට කැලලක් බවත්, තමන්ටම තමන් දෙස බැලීමට නොහැකි වන බවත් සිතා ඇය පවෙන් වළකියි.
හිරි යන ගුණයෙන් යුත් ස්ත්‍රිය තමන්ගේ කය, වචනය සහ සිත ඉතා පිරිසුදුව තබා ගනී. ඇය පංචසීල ප්‍රතිපදාව රකින්නේ බිය නිසා නොව, පව් කිරීම ස්ත්‍රී රත්නයකට නොහොබිනා පහත් ක්‍රියාවක් ලෙස සලකන බැවිනි. එවැනි ලැජ්ජාවක් ඇති තැන විනය සහ සදාචාරය නිරායාසයෙන්ම ආරක්ෂා වේ.
පවට ඇති බිය (ඔත්තප්පී ච හෝති)
‘ඔත්තප්ප’ යනු පව් කිරීමේ ආදීනව හෝ විපාක කෙරෙහි ඇති බියයි. සමාජයේ බොහෝ දෙනෙක් සතුන්ට හෝ අඳුරට බිය වුවද, බුදු දහම උගන්වන්නේ සැබවින්ම බිය විය යුත්තේ අකුසලයට බවයි. අකුසලයක් සිදු කිරීමෙන් ලැබෙන දුක්ඛිත විපාක මෙලොවදී අපවාද ලෙසත්, පරලොවදී සතර අපායේ දුක් ලෙසත් තමන් පසුපස ලුහුබඳින බව ප්‍රඥාවන්ත ස්ත්‍රිය තේරුම් ගනී.
පවට බිය වීම ජීවිතයට මහා ආරක්ෂාවකි. එම බිය නිසාම ඇය කිසිවකුට හිංසා පීඩා නොකරන, අනුන්ගේ දේ පැහැර නොගන්නා, අවංක තැනැත්තියක් බවට පත්වේ. මෙම ‘හිරි-ඔත්තප්ප’ යන ධර්මයන් ලෝකය පාලනය කරන ‘දේව ධර්ම’ ලෙස ද හැඳින්වේ.
අක්‍රෝධී බව (අකෝධනෝ ච හෝති)
ස්ත්‍රියකගේ බාහිර සුන්දරත්වය විනාශ කරන ප්‍රධාන සතුරා ක්‍රෝධය හෙවත් තරහවයි. ක්‍රෝධයෙන් දැවෙන සිතක් ඇති තැනැත්තියගේ මුහුණේ ප්‍රසන්න බව නැති වී යයි. පවුල් ජීවිතයේදී හෝ සමාජයේදී විවිධ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වුවද, ඒවා සිතේ තබාගෙන වෛර නොකිරීම උතුම් ගුණයකි.
ක්‍රෝධ නොකරන ස්ත්‍රිය ඉවසීම පුරුදු කරයි. ඇය තමන්ට අපහාස කරන අයට පවා මෛත්‍රිය දක්වන්නට උත්සාහ කරයි. යම් පුද්ගලයකු සමඟ ඇසුරේදී නිතර තරහ උපදින්නේ නම්, ඇය එම පුද්ගලයා සමඟ ගැටීමට නොගොස් බුද්ධිමත්ව දුරස් වී සිතේ සාමය රැක ගනී. ක්‍රෝධයෙන් තොර සිත සැමවිටම සැහැල්ලුය, සුවදායකය.
ප්‍රඥාවන්ත බව (පඤ්ඤවා ච හෝති)
මෙම සියලු ගුණාංගයන්හි කූටප්‍රාප්තිය ප්‍රඥාවයි. ප්‍රඥාව යනු හුදෙක් පොතපතේ දැනුම නොව, ජීවිතයේ යථාර්ථය හඳුනා ගැනීමේ හැකියාවයි. සියල්ල අනිත්‍ය බවත්, උපන් සත්වයා ජරා මරණවලට ලක්වන බවත් අවබෝධ කරගත් ස්ත්‍රිය ජීවිතයේ ලැබෙන ජය පරාජ හමුවේ කම්පා නොවේ.
සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන් පරිදි, ප්‍රඥාවන්ත ස්ත්‍රිය තම සිතේ ඇති වන සියුම් කෙලෙස් පිළිබඳ අවධානයෙන් සිටියි. ඇය කාලයෙහි අගය දන්නා බැවින් තත්පරයක්වත් අපතේ නොයවා කුසල් දහම්හි නිරත වේ. නිවැරදි තීරණ ගනිමින් පවුලේ ආර්ථිකය හා සමගිය රැක ගැනීමට ඇයගේ ප්‍රඥාව මහඟු උපකාරයක් වේ.
ඉහත සඳහන් කළ ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, අක්‍රෝධය සහ ප්‍රඥාව යන ගුණාංග පහ ස්ත්‍රියකගේ ජීවිතයට දිව්‍යමය වටිනාකමක් එකතු කරයි. මෙම ගුණධර්ම පුරුදු කරන ස්ත්‍රිය ජීවත්ව සිටින කාලය තුළ සමාජයේ ගෞරවයට පාත්‍ර වන අතර, ඇයගේ නිවස සාමය පිරි පාරාදීසයක් බවට පත්වේ. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි, එවැනි ගුණවත් ස්ත්‍රියක් මරණින් මතු ඒකාන්තයෙන්ම සුගතිගාමී වන්නේ ඇය ජීවත් වූ කාලය පුරාම තම සිත දිව්‍යමය ගුණාංගවලින් පෝෂණය කළ බැවිනි. මෙය ස්ත්‍රී පාර්ශිවයට පමණක් නොව, සසර දුක් නිවාලනු රිසි සැමටම පොදු වූ උතුම් මාර්ගයකි.
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
