ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය සැමවිටම ප්‍රඥාවන්තයන් උදෙසාම පවතින බවත්, එය දුශ්ප්‍රාඥයන්ට අවබෝධ කරගත නොහැකි බවත් අප මුලින්ම වටහා ගත යුතුය. ලෝකයේ පවතින උතුම්ම රසය වන ධර්ම රසය විඳ ගැනීමට නම් අපට යම් මට්ටමක ප්‍රඥාවක් අවශ්‍ය වේ. බෞද්ධයන් වශයෙන් අප ඉගෙන ගන්නා මූලිකම ඉගැන්වීම වන්නේ කර්මය සහ කර්ම ඵලයයි.
බොහෝ දෙනා සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසන පරිදි ‘කරන දේ පඩිසන් දීම’ යන්නම පමණක් බුදු දහමේ උගන්වන නියම කර්මය නොවේ. බුදු දහමට අනුව කර්මය යනු සිතෙහි හටගන්නා චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන බුද්ධ දේශනාවට අනුව අප යමක් කරන්නේ හෝ කියන්නේ සිතින් සිතා බැවින්, ඒ සිතුවිල්ලම කර්මය බවට පත්වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
කර්ම විෂය යනු සිතා අවසන් කළ නොහැකි, අචින්ත්‍ය වූ කරුණකි. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුට මේ පිළිබඳ සම්පූර්ණ අදහසක් ලබාගත නොහැකි අතර, ඒ ගැන ඕනෑවට වඩා සිතන්නට ගියහොත් උමතුභාවයට පවා පත්විය හැකි බව බුදුදහම උගන්වයි. කර්ම විපාක දෙන ආකාරය පිළිබඳව මජ්ඣිම නිකායට අයත් ‘චූල කම්ම විභංග සූත්‍රය’ තුළ ඉතා පැහැදිලි විස්තරයක් ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ තෝදෙයිය බ්‍රාහ්මණයාගේ පුත් සුභ මානවකයා පැමිණ ඇසූ ප්‍රශ්න මාලාවකට පිළිතුරු වශයෙන් මෙම සූත්‍රය දේශනා කරන ලදී.
තෝදෙයිය බ්‍රාහ්මණයා යනු එකල සිටි මහා ආර්ථික විශේෂඥයෙකි. ඔහු මහා ධනවතෙකු වුවද, කිසිවෙකුට කිසිවක් ලබා නොදුන්, දන් නොදුන්, අන්‍යයන්ට බැණ වැදුණු මසුරු අයෙකි. එහි විපාකයක් ලෙස ඔහු මියගොස් තමන්ගේම නිවෙස තුළ බල්ලෙකු වී ඉපදුණු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. පසුව සුභ මානවකයා තම පියාගේ පුනර්භවය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි අතර, තෝදෙයිය විසින් වළලන ලද කෝටි 84ක ධනය පිළිබඳ රහස හෙළිවීමෙන් පසු ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණි.
සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ මිනිසුන් අතර පවතින විවිධත්වයට හේතුව කුමක්ද යන්නයි. සමහරු අල්පේච්ඡ වන විට සමහරු මහානුභාව සම්පන්න වන්නේ ඇයි? සමහරු රෝගී වන විට තවත් පිරිසක් නීරෝගි වන්නේ ඇයි? සමහරු දුප්පත් වන විට සමහරු ධනවත් වන්නේ ඇයි?. මීට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ වදාළේ,
“සත්වයෝ කර්මය උරුම කරගෙන සිටිති, කර්මය දායාදය කරගෙන සිටිති, කර්මය උපත කරගෙන සිටිති, කර්මය නෑයා කරගෙන සිටිති, කර්මය පිළිසරණ කරගෙන සිටිති. සත්වයන් උසස් පහත් කර බෙදා දක්වන්නේ කර්මය මඟින්මය” යනුවෙනි.
චූල කම්ම විභංග සූත්‍රයට අනුව කර්ම විපාක ලැබෙන ආකාරය
මෙම සූත්‍රයට අනුව මිනිස් ජීවිතයක සුඛ දුක්ඛයන් සහ විවිධත්වයන් තීරණය වීමට බලපාන ප්‍රධාන ආකාර කිහිපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.
ආයුෂ දීර්ඝ හෝ කෙටි වීම
නිතර සතුන් මරන, රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති පුද්ගලයා මරණින් පසු නිරයට පත්වන අතර, නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණියහොත් අල්ප ආයුෂ විඳීමට සිදුවේ. සතුන් මැරීමෙන් වැළකී, කරුණාවෙන් යුතුව කටයුතු කරන්නා මරණින් පසු ස්වර්ගයට යන අතර, මනුෂ්‍යයෙකු වුවහොත් දීර්ඝායුෂ ලබයි.
නීරෝගිභාවය සහ රෝගීභාවය
අන්‍යයන්ට තැළීම්, පෙළීම් හා වධහිංසා පීඩා කරන අය මරණින් පසු දුගතියට පත්වන අතර, මනුෂ්‍ය ලෝකයට ආවද බොහෝ ආබාධ හා ලෙඩ රෝග ඇති අයෙකු වේ. අන්‍යයන්ට හිංසා නොකරන, කරුණාවන්ත සිතක් ඇති අය නීරෝගිව, අල්ප ආබාධ ඇත්තන් ලෙස උපත ලබයි.
රූප සම්පත්තිය සහ දුර්වර්ණ වීම
ක්‍රෝධයෙන්, වෛරයෙන් හා කෝපයෙන් කටයුතු කරන, සුළු කරුණටත් කිපෙන පුද්ගලයා මරණින් පසු අපායට යන අතර, නැවත මනුෂ්‍ය ලෝකයට ආවොත් දුර්වර්ණ හෙවත් කැත අයෙකු වේ. කෝපයෙන් තොරව මෛත්‍රී සිතින් සිටින අය රූප සම්පත්තියෙන් යුතුව උපත ලබයි. මෙහිදී දන් දුන්නද මෛත්‍රිය නැති අය ධනවත් වුවත් කැත ලෙස උපදින අතර, මෛත්‍රිය සහ දානය යන දෙකම ඇති අය ලස්සන මෙන්ම ධනවත් අය ලෙස උපත ලබයි.
කීර්තිය, බලය සහ යසස
අනුන්ගේ දියුණුව, ලාභ සත්කාර දැක ඊර්ෂ්‍යා කරන පුද්ගලයා මරණින් පසු අපායට යන අතර, මනුෂ්‍ය ලෝකයේදී සැප අඩු, බලයක් නැති (අල්පේශාක්‍ය) අයෙකු ලෙස උපදී. අනුන්ගේ සැපතේදී සහ දියුණුවේදී අවංකවම සතුටු වන (මුදිතාව ගුණය ඇති) පුද්ගලයා මනුෂ්‍ය ලෝකයේදී මහේශාක්‍ය හෙවත් මහානුභාව සම්පන්න, කීර්තිමත් අයෙකු ලෙස උපත ලබයි.
භෝග සම්පත් සහ ධනවත්කම
ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන ආදිය අවශ්‍ය අයට දන් නොදෙන මසුරු පුද්ගලයා අපායට යන අතර, මනුෂ්‍යයෙකු වුවහොත් දිළිඳු (අල්පභෝගී) අයෙකු වේ. සැදැහැ සිතින් දන් දෙන පුද්ගලයා මහා භෝග සම්පත් ඇති ධනවතෙකු ලෙස උපත ලබයි. මෙහිදී වැදගත් වන්නේ දෙන ප්‍රමාණය නොව, එය දෙනු ලබන ශ්‍රද්ධාව, චේතනාවේ පිරිසිදුකම හා ප්‍රඥාවයි.
උසස් හෝ පහත් කුලවල ඉපදීම
අධික මාන්නයෙන් හා උද්ධච්චකමෙන් යුතුව, වඳින්නට සුදුස්සාට නොවඳින, ගරු කළ යුත්තන්ට ගරු නොකරන පුද්ගලයා මරණින් පසු දුගතියට පත්වන අතර, නැවත මනුෂ්‍යයෙකු වුවහොත් සමාජයේ නීච, පහත් යැයි සම්මත කුලයක උපදී. මාන්නය අතහැර, නිහතමානීව වැඩිහිටියන්ට හා ගුණවතුන්ට ගරු සත්කාර කරන්නා උසස් කුලයක උපත ලබයි.
මහා ප්‍රඥාව සහ මෝහය
කුසල් අකුසල්, වරද නිවරද, සුදුසු නුසුදුසු දේ පිළිබඳව ධර්මානුකූලව විමසීමක් නොකර, හිතුවක්කාරී ලෙස අඥානව හැසිරෙන අය හීන ප්‍රඥාවන්තයන් ලෙස උපදින අතර, සැමවිටම උගතුන්, ගුණවතුන් වෙත ගොස් සත්‍යය හා ධර්මය විමසන, කුසල් දියුණු කරන අය මහා ප්‍රඥාවන්තයන් ලෙස උපත ලබයි.
ජීවිතය ආලෝකවත් කරගැනීම
චූල කම්ම විභංග සූත්‍රය අපට කියා දෙන්නේ අපේ වර්තමාන ජීවිතයේ අප අත්විඳින සැප දුක් සියල්ල අහම්බෙන් සිදුවන දේවල් හෝ දේව මන්දිරයක ලියැවුණු දේවල් නොවන බවයි. ඒ සියල්ල අප විසින්ම පෙර සසරේ කරන ලද කර්මයන්ගේ දායාදයන්ය.
අපට ලැබී ඇති මෙම දුර්ලභ මිනිස් ජීවිතය සසර ගමනේදී සුවපත් කරගැනීමට නම්, අකුසලයෙන් වැළකී කුසල් රැස් කිරීම අත්‍යවශ්‍ය වේ. කර්මය සහ කර්ම ඵලය පිළිබඳ නිවැරදි විශ්වාසය (කම්මස්සකතා සම්මා දිට්ඨිය) ඇතිව, සුදු කර්ම හෙවත් යහපත් කුසල් දහම්හි නියැළීමෙන් තිදොර සංවර කරගෙන, මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයද ආලෝකවත් කරගැනීමට අප සැවොම වගබලා ගත යුතුය.
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
