Monday, May 4, 2026
Epaper
Home සදහම් සෙවණනිතර තරහා යන හිතට මෛත්‍රියේ සිසිලස

නිතර තරහා යන හිතට මෛත්‍රියේ සිසිලස

by Shanaka Lakehouse

අද සමාජයේ බොහෝ දෙනෙක් පවසන පොදු මැසිවිල්ලක් වන්නේ තමන්ට “නිතර තරහා යන” බවයි. ඇතැම් විට මෙය තමන්ගේ ජීවිතයට මෙන්ම අවට සිටින අයට ද මහත් වදයක් බව අපට හැඟෙන්නට පුළුවන. තරහව නරක බව දැන දැනත්, එය පාලනය කරගත නොහැකිව අසරණ වන අවස්ථා එමටය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන්, මේ දරුණු මානසික පීඩාවෙන් මිදෙන ආකාරය පිළිබඳව විමසා බැලීම වටී.

බුදු දහමට අනුව තරහව යනු ‘ව්‍යාපාදය’ හෙවත් ගැටීමයි. ධම්මානුපස්සනාව වඩන ශ්‍රාවකයෙක් තම හිතේ තරහක් උපදින විට “මගේ හිතේ තරහක් ඇත” කියාත්, තරහක් නැති විට “දැන් මගේ හිතේ තරහක් නැත” කියාත් අවදියෙන් යුතුව හඳුනාගත යුතුය.

තරහව ඉබේ උපදින්නක් නොවේ. එය උපදින්නේ ‘පටිඝ නිමිත්ත’ හෙවත් තමන් අකැමැති දෙයක ගැටෙන අරමුණක් ‘අයෝනිසෝ මනසිකාරය’ හෙවත් වැරදි ලෙස මෙනෙහි කිරීම හේතුවෙනි. අප අකමැති වචනයක්, පුද්ගලයෙක් හෝ සිදුවීමක් දෙස වෛරීසහගතව නැවත නැවත බැලීමෙන් හිත ඇතුළේ කේන්තිය නමැති ගින්න ඇවිළේ.

තරහව නමැති ගින්න නිවීමට ඇති ප්‍රධානතම ඖෂධය වන්නේ මෛත්‍රියයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ පරිදි, අප ගැටෙන පුද්ගලයා තුළ ඇති මෛත්‍රී කළ හැකි යම් හෝ යහපත් දෙයක් (මෛත්‍රී නිමිත්තක්) සෙවිය යුතුය.

කෙනකුගේ ක්‍රියාවන් නරක වුවත්, ඔහුගේ වචන යහපත් නම්, එම වචන දෙස බලා මෛත්‍රී කළ යුතුය.

වචන රළු වුවත්, ඔහුගේ ක්‍රියාවන් ගුණවත් නම්, එම ගුණවත් බව දෙස බලා මෛත්‍රී කළ යුතුය.

යමෙකුගේ කය, වචනය යන දෙකම අයහපත් වුවද, ඔහු තුළ ඇති යහපත් අදහසක් හෝ ඔහු කරන කුසලයක් (උදාහරණ ලෙස මවුපියන්ට සැලකීම, දන් දීම) ගැන සිතා සිත මධ්‍යස්ථ කරගත යුතුය.

යමෙකු තුළ කිසිදු යහපතක් දකින්නට නැත්නම්, ඔහු ‘කාන්තාරයක අතරමං වූ අසාධ්‍ය රෝගියකු’ දෙස බලන අනුකම්පාවෙන් යුතුව “අනේ මේ මනුස්සයාට යහපත් මිතුරන් ලැබී තම වැරදි හදාගෙන සුවපත් වේවා” යි කරුණාව උපදවා ගත යුතුය.

 

සුමංගල සිටුවරයාගේ ආදර්ශය

තරහව පාලනය කිරීම සම්බන්ධයෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ විසූ සුමංගල සිටුවරයාගේ කතාව අතිශය වැදගත් වේ. සිටුවරයා කළ සුළු ප්‍රකාශයකට වෛර බැඳි පුද්ගලයෙක්, සිටුවරයාගේ කුඹුරු යායන් හත් වතාවක් ගිනි තැබීය. හත් වතාවක් ගව පට්ටිවල කකුල් කපා විනාශ කළේය. හත් වතාවක් සිටුවරයාගේ නිවෙසට ගිනි තැබීය.

මේ කිසිවකින් සිටුවරයා කම්පා නොවූ නිසා, එම වෛරක්කාරයා අවසානයේ සිටුවරයා මහත් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළ ‘සුගන්ධ කුටියට’ ද ගිනි තැබීය. නමුත් සිටුවරයා ඒ අවස්ථාවේදීත් සිනහමුසු මුහුණින් පවසා සිටියේ, “භාග්‍යවතුන් වහන්සේ සුවසේ වැඩ ඉන්නවා නම් එපමණයි, මට දැන් මීටත් වඩා ලස්සනට සුගන්ධ කුටියක් පූජා කරන්න අවස්ථාව ලැබුණා” කියායි.

ඔහු ප්‍රාර්ථනා කළේ තමන්ගෙන් පළිගන්නා එම නාඳුනන පුද්ගලයාටත් මේ පින අනුමෝදන් වේවා කියාය. මෙවන් උසස් උපේක්ෂාවක් සහ මෛත්‍රියක් ඇති කරගැනීමෙන් සිටුවරයාට නිවන් මඟ විවර විය. නමුත් එම වෛර බැඳගත් පුද්ගලයා කළ අකුසලය නිසා ගෞතම බුද්ධ ශාසනය දක්වාම ‘අජගර ප්‍රේතයෙකු’ වී අහසේ දැවෙමින් දුක් විඳි බව දේශනාවේ සඳහන් වේ.

තරහව දුරු කරගැනීමේ ප්‍රායෝගික පියවර

නිතර තරහ යන අයකු පහත සඳහන් කරුණු අනුගමනය කිරීම වැදගත් වේ.

මෛත්‍රී නිමිත්ත ඉගෙනීම

මෛත්‍රිය පතුරන ආකාරය සහ එහි වටිනාකම ඉගෙන ගැනීම.

මෛත්‍රී භාවනාවේ යෙදීම

දිනපතා අවම වශයෙන් විනාඩි කිහිපයක් හෝ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම.

කර්මය තමන්ගේ දායාදය ලෙස සිතීම (කම්මස්සකතා)

අප වෛර කළහොත් එම අකුසලය අප පසුපසම එන බව මෙනෙහි කිරීම.

නුවණින් විමසීම (පටිසංඛාන)

“තරහ ගැනීමෙන් මට ලැබෙන සෙතක් තිබේද? මම මෙලෙස තරහෙන් සිටියදී මියගියහොත් මට කුමක් වේද?” කියා නිවැරදි ලෙස සිතීම.

කල්‍යාණ මිත්‍ර සේවනය

මෛත්‍රී සහගත, ඉවසීම ඇති අය ඇසුරු කිරීම.

සුදුසු ධර්ම ශ්‍රවණය: තරහ දුරු කිරීමට උපකාර වන දේශනා ශ්‍රවණය කිරීම.

මෛත්‍රියේ ආනිසංස

මෛත්‍රිය වඩන පුද්ගලයාට නීරෝගි සුවය මෙන්ම සනීපයට නින්ද යෑම, සුවසේ අවදි වීම, නරක හීන නොපෙනීම, මිනිසුන්ට හා අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම, දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම සහ මුහුණ ලස්සන වීම වැනි ආනිසංස 11ක් හිමිවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ.

අවසාන වශයෙන්, තරහව යනු අපවම දවාලන ගින්නකි. එම ගින්නෙන් අපේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් විනාශ කර නොගෙන, මෛත්‍රිය නමැති සිසිල් පැන් පොදින් අපේ හිත් සනසා ගැනීමට මේ උතුම් දහම් කරුණු උපකාර කර ගනිමු.

 

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?