ජාතික රූපවාහිනී පරිශ්‍රයේ පසුගියදා පැවැති “රූපවාහිනී අවුරුදු කුමරා සහ කුමරිය” මහා මංගල්‍යයේදී, සහස්‍ර සංඛ්‍යාත තරුණ තරුණියන් පරදා ‘ජනප්‍රිය දිනමිණ අවුරුදු කුමරා’ ලෙස අභිෂේක ලැබුවේ බොරලැස්ගමුවේ සෙනුක දිල්මාන් තරුණයායි. 21 හැවිරිදි වියේ පසුවන සෙනුක සිය නිහතමානීත්වය සහ කැපවීම තුළින් අද වන විට කාගේත් අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ.
බොරලැස්ගමුවෙන් රූපවාහිනී තිරය කරා පැමිණි සෙනුක රත්තනපිටිය ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා ඇත. මෝටර් රථ ඉංජිනේරු ශිල්පය හැදෑරූ ඔහු දැනට මහරගම ඩිපෝවේ ඉංජිනේරු අංශයේ සේවය කරමින් සිය වෘත්තීය ජීවිතය හැඩගසා ගනිමින් සිටියි.
සෙනුකගේ මෙම ජයග්‍රහණයේ කතාව ආරම්භ වන්නේ අහම්බයකිනි. “මම ඇත්තටම මෙවැනි තරගයකට එන්න හිතලවත් තිබුණේ නැහැ. මගේ හිතවත් කවිඳු අයියා තමයි මටත් නොකියා මේ තරගයට අයදුම්පතක් දාලා තිබුණේ. මට රූපවාහිනියෙන් ඇමතුමක් ලැබෙද්දී මම හිතුවේ කවුරු හරි මට විහිළුවක් කරනවා කියලා. ඒ තරමටම මට මේක අදහාගන්න බැරි වුණා,” සෙනුක සිය මතකය අවදි කරන්නේ සිනහවක් සමඟිනි.
මෙම ගමනේදී තමන්ට ශක්තියක් වූ පිරිස පිළිබඳ සෙනුක කෘතවේදීව මතක් කර සිටියි. “විශේෂයෙන්ම ජාතික රූපවාහිනියේ නිෂ්පාදන කණ්ඩායමේ පැතුම් මහතා ඇතුළු පිරිස ලබාදුන් සහයෝගය වචනයෙන් විස්තර කරන්න බැහැ. පුහුණුවීම් කටයුතුවලදී අපට වෙහෙස දැනෙන්න නොදී අවශ්‍ය වතුර ටික පවා ළඟටම ලබා දෙමින් ඔවුන් අපව බලාගත්තා. ඒ සහයෝගය සහ සහෝදරත්වය අපේ මානසික ශක්තිය වැඩි කළා.”
තරගය සඳහා සහභාගි වීමට ගිය දිනයේ දහස් ගණනක් පිරිස දැක සෙනුක අධෛර්යයට පත් වුවද, ඔහුගේ මව වූ සන්ධ්‍යා කුමාරි මහත්මිය සහ පියා හර්ෂ කුමාර මහතා ඔහුට ශක්තියක් වූහ. “අංක 1314 යටතේ මම තරගයට හිටියේ. හැම වටයකටම අම්මා මාත් එක්ක ආවා. හතරවැනි වටයේදී මම තරගයෙන් ඉවත් වෙලා යන්න හදද්දී, මගේ ළඟ හිටපු මල්ලි කෙනෙක් තමයි කිව්වේ ‘තව පොඩ්ඩක් ඉමු’ කියලා. ඒ වචනය නොවෙන්න මම අද මෙතැන නැහැ.”
මෙම තරගාවලිය සෙනුකගේ ජීවිතයට ජයග්‍රහණය පමණක් නොව වටිනා ජීවන පාඩම් රැසක් ද එක්කර තිබේ. “වෙලාවට වැඩ කිරීමේ වැදගත්කම ගැන මම ලොකු අත්දැකීමක් ලැබුවා. විනාඩියක් පරක්කු වුණත් අපට දඬුවම් ලැබුණා. ඒ හික්මීම මගේ ඉදිරි ගමනට ලොකු රුකුලක්.”
තම පවුලේ එකම දරුවා ලෙස මවුපියන්ගේ ආදරය මැද හැදී වැඩුණු සෙනුක දිල්මාන් දැන් රංගන ක්ෂේත්‍රය පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටියි. වෘත්තීය ජීවිතය මෙන්ම කලා ක්ෂේත්‍රය ද සමබරව ජයග්‍රහණය කිරීමට සෙනුක තුළ ඇත්තේ දැඩි අධිෂ්ඨානයකි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය මැද, හෙළ අනන්‍යතාව සහ තරුණ ජවය එක්තැන් කරමින් ජාතික රූපවාහිනිය මෙහෙයවූ “රූ කිරුළ 2026” අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලිය පසුගියදා උත්කර්ෂවත් ලෙස නිමාවට පත් විය. එහිදී ප්‍රේක්ෂක මනාපය දිනාගනිමින් ලේක්හවුස් ආයතනයේ “තරුණී” ජනප්‍රියතම අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ කොස්වත්තේ හිරුණි නතාෂා ජයමහ මෙනවියයි.
26 හැවිරිදි හිරුණි කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇය දැනට ‘City of Dreams’ ආයතනයේ අලෙවි අංශයේ සේවය කරන අතරතුර, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරන්නීය. සිය ජයග්‍රහණය පිළිබඳ ඇය පවසන්නේ මෙවැන්නකි.
“ඇත්තටම මගේ මිතුරිය සචිනි තමයි මාව මේකට යොමු කළේ. රැකියාව සහ අධ්‍යාපනය මැද කාලය වෙන් කිරීම අසීරු වුණත්, මෙවැනි ජාතික වේදිකාවකින් ලැබෙන පෞරුෂය අනාගතයට වැදගත් වේවි කියලා මම හිතුවා. රූපයට එහා ගිය බුද්ධිමත් පෞරුෂයක් කාන්තාවකට තිබිය යුතු බව මා විශ්වාස කරනවා.”
මාස දෙකක පුහුණු වැඩමුළුවලදී චන්දන වික්‍රමසිංහ, උදාරි වර්ණකුලසූරිය සහ රොසෑන් ඩයස් වැනි ප්‍රවීණයන්ගෙන් ලද මඟපෙන්වීම ඇගේ පෞරුෂය ඔප්නැංවීමට හේතු වී ඇත. ඇවිදීම පමණක් නොව, බුද්ධිමත්ව ප්‍රශ්නවලට පිළිතුරු දීම සහ සමාජීය ආචාරධර්ම පිළිබඳව ද එහිදී ඔවුහු දැනුවත් වූහ.
අවසාන මහා තරගයට පෙර දින ඇය ලිස්සා වැටී හිස තුවාල වුව ද, සෙසු තරගකාරියන්ගේ සහෝදරත්වයෙන් යුත් උදවු සහ දිරිගැන්වීම් මත ඇය සාර්ථකව තරගයට ඉදිරිපත් වූවාය. ඇගේ මෙම ගමනට මවුපියන් වන මහේන්ද්‍ර ජයමහ සහ ප්‍රියදර්ශනී විජයරත්න ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් ලැබුණු සහයෝගය අතිමහත්ය.
සංචාරක ක්ෂේත්‍රයේ ඉහළටම යෑම සහ විදේශයක වෘත්තීය අත්දැකීම් ලැබීම හිරුණිගේ ප්‍රධාන අපේක්ෂාවයි. මීට අමතරව නිවේදන ක්ෂේත්‍රයට ද දායක වීමට ඇය කැමැත්තෙන් පසුවෙයි. පාසල් සමයේ පටන්ම නිවේදනයට සහ රංගනයට දස්කම් පෑ හිරුණි නතාෂා, “රූ කිරුළ” හරහා සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ.
TEXT – දුමින්ද කාරියවසම්
