Monday, May 4, 2026
Epaper
Home විශේෂාංගසම්මතයේ හිරවූ සමාජයක ස්වාධීන කාන්තාවගේ අභිමානය සහ අරගලය

සම්මතයේ හිරවූ සමාජයක ස්වාධීන කාන්තාවගේ අභිමානය සහ අරගලය

by Shanaka Lakehouse

අපේ සමාජයේ කාන්තාවකගේ ජීවිතය බොහෝ විට ගෙතෙන්නේ “සම්මතයන්” කිහිපයක් වටාය. උපත, අධ්‍යාපනය, රැකියාව, ඉන්පසු විවාහය සහ මාතෘත්වය යන මේ රේඛීය ගමන් මගෙන් බැහැර වන ඕනෑම කාන්තාවක් සමාජයේ දැඩි විවේචනයට හෝ අනුකම්පාවට ලක්වීම අරුමයක් නොවේ. විශේෂයෙන්ම, යම් වයසක් ඉක්මවූ පසුත් විවාහ නොවී තනිකඩව සිටින කාන්තාව දෙස සමාජය බලන්නේ කිසියම් “අඩුවක්” සහිත, අසම්පූර්ණ තැනැත්තියක ලෙසිනි. නමුත් සැබවින්ම තනිකඩ බව අඩුවක්ද? නැතිනම් එය තේරීමක්, නිදහසක් සහ නවීන ලෝකයේ ප්‍රගතිශීලී හැරවුම් ලක්ෂ්‍යයක්ද?

ශ්‍රී ලාංකික සන්දර්භය තුළ පවුල යනු සමාජයේ මූලික ඒකකය ලෙස සැලකේ. එහි වරදක් නැතත්, ගැටලුව පැන නඟින්නේ පවුලක් නොමැතිව තනිව සිටින කාන්තාවකගේ පෞරුෂය හෑල්ලුවට ලක් කරන විටය. ඉතිහාසයේ සිටම කාන්තාව හඳුන්වා ඇත්තේ තවකෙකුගේ ආරක්ෂාව යටතේ සිටිය යුතු අයෙකු ලෙසයි. කුඩා කල පියා යටතේත්, තරුණ වියේදී ස්වාමියා යටතේත්, මහලු වියේදී පුතුන් යටතේත් ඇය සිටිය යුතුය යන ‘මනුස්මෘති’ සංකල්ප තවමත් අපේ උපවිඥානයේ මුල් බැස තිබේ. “තනිකඩ කාන්තාව” යන්නට සමාජය විසින් ආරෝපණය කර ඇති ලේබල කිහිපයකි. “කසාදයක් කරගන්න බැරි වුණ අවාසනාවන්තිය”, “වැඩිහිටි අවිවාහක කාන්තාව” හෝ “දැඩි මතධාරී ගැහැනිය” වැනි පටු නිර්වචන හරහා ඇයගේ වෘත්තීය දක්ෂතා හෝ මානුෂීය ගුණාංග යටපත් කර දමනු ලැබේ. බොහෝ විට විවාහක කාන්තාවන් මුහුණ දෙන ගෘහස්ථ පීඩනයන් ගැන කතා නොකරන සමාජය, තනිකඩ කාන්තාවකගේ “තනිකම” ගැන පමණක් අතිශයෝක්තියෙන් කතා කිරීම උපහාසාත්මකය.

තනිකඩව සිටීමට තීරණය කළ හෝ අහඹු ලෙස තනිකඩ වූ කාන්තාවකගේ මාවත මල් යහනාවක් මෙන් නොවේ. ඇයට ක්ෂේත්‍ර කිහිපයකින් පීඩනයන් එල්ල වේ. එනම්,

පවුලේ සහ නෑදෑයන්ගෙන් එල්ල වන මානසික ප්‍රහාර ඕනෑම මංගල උත්සවයකට ගිය විට ඇයට මුහුණ දීමට සිදුවන පළමු ප්‍රශ්නය “කවදාද අපිට කේක් කවන්නේ?” යන්නයි. මෙවැනි ප්‍රශ්න ඇයගේ පෞද්ගලිකත්වයට කරන දැඩි ආක්‍රමණයකි. එසේම සමහර විටෙක මවුපියන් පවා තමන්ගේ දියණිය තනිකඩව සිටීම පවුලේ ගෞරවයට හානියක් ලෙස සලකන අවස්ථා තිබේ.

රැකියා ස්ථානයේ නොපෙනෙන වෙනස්කම්

සමහර විට තනිකඩ කාන්තාවන්ට රැකියා ස්ථානයේදී අමතර වැඩ කොටසක් පවරනු ලැබේ. “ඇයට බලාගන්න පවුලක් නැහැනේ” යන පටු සිතුවිල්ල මෙයට හේතුවයි. ඇයගේ පෞද්ගලික කාලය පිළිබඳ ගෞරවය මෙහිදී බොහෝ විට ගිලිහී යයි. එයද තනිකඩ කාන්තාව මුහුණ දෙනු ලබන විශාල ප්‍රශ්නයකි.

නිවාස සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු

තනිව ජීවත් වන කාන්තාවකට නි‍ෙවසක් කුලියට ගැනීමේදී පවා සමාජය ඇය දෙස බලන්නේ සැකයකිනි. ඇයගේ ආරක්ෂාව මෙන්ම ඇයගේ චරිතය පිළිබඳවද විවිධ කටකතා නිර්මාණය කිරීමට අසල්වැසියන් සැදී පැහැදී සිටිති.

හුදෙකලාව සහ භීතිය

හදිසි අසනීපයකදී හෝ මූල්‍ය අර්බුදයකදී වහාම සහායට කෙනෙකු නොමැති වීම පිළිබඳව ඇති වන ස්වාභාවික බිය ඇයගේ මානසික සුවයට බාධාවක් විය හැකිය.

මනෝවිද්‍යාත්මකව බලන කල “තනිකම” සහ “හුදෙකලාව” යනු එකිනෙකට වෙනස් අන්ත දෙකකි. තනිකම යනු තමාට අවශ්‍ය සහයෝගය හෝ සබඳතා නොමැති වීම නිසා දැනෙන වේදනාකාරී හිස්තැනකි. නමුත් හුදෙකලාව යනු තමන්ගේම ඇසුර ප්‍රිය කිරීම සහ තමන් සමඟම සාමයෙන් සිටීමයි. බොහෝ ස්වාධීන තනිකඩ කාන්තාවන් අත්විඳින්නේ මෙම ‘හුදෙකලාව’යි. ඔවුන් තමන්ගේ සතුට වෙනත් පුද්ගලයකුගේ අනුමැතිය මත රඳවා නොගෙන තමන් තුළින්ම එම සතුට සොයා ගනු ලබයි. මෙය අධ්‍යාත්මිකව සහ මානසිකව ඉතා උසස් තත්ත්වයකි.

මෙයට සමාජය කුමන මිනුම්දඬු දැමුවද, තනිකඩ කාන්තාවකට තම ජීවිතය අර්ථවත් ලෙස ගත කිරීමට ඇති හැකියාව අතිමහත්ය. ඒ සඳහා ඇය සපුරාගත යුතු උපාය මාර්ග නම්

මූල්‍යමය ශක්තිය ගොඩනගා ගැනීම

කාන්තාවකගේ ලොකුම ශක්තිය ඇයගේ ආර්ථික නිදහසයි. තමන්ගේම ආදායම් මාර්ගයක්, ඉතුරුම් සහ ආයෝජන පවත්වා ගන්නා කාන්තාවකට අන් අයගේ පීඩනයන්ට එරෙහිව නැඟී සිටීමට ආත්ම විශ්වාසය ලැබේ.

තමාගේ වටිනාකම හඳුනා ගැනීම ඔබේ වටිනාකම තීරණය වන්නේ ඔබේ විවාහක තත්ත්වය මත නොවේ. ඔබ සමාජයට කරන සේවය, ඔබේ දක්ෂතා සහ ඔබේ ගුණාංග පිළිබඳව ආඩම්බර වන්න.

සමාජ සහයෝගිතා ජාලයක් ගොඩනැඟීම

තනිකඩ බව යනු හුදෙකලා වීම නොවේ. තමාට සමාන අදහස් ඇති මිතුරන්, වෘත්තීය සගයන් සහ ඥාතීන් සමඟ ශක්තිමත් බැඳීම් පවත්වා ගැනීමට කටයුතු කරන්න.

ඝෘණාත්මක ප්‍රශ්නවලට ඝෘජු පිළිතුරු

“මම මගේ මේ ජීවන රටාව ගැන සතුටු වෙනවා” යනුවෙන් පවසන්නට මැලි නොවන්න. ඔබ සතුටින් සිටින බව දකින විට, අන් අයට ඔබව විවේචනය කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යයි.

තනිකඩව සිටීම තුළ කාන්තාවකට ලැබෙන සුවිශේෂී වාසි

ස්වයං තීරණ ගැනීමේ බලය තමාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක, කිසිවකුගෙන් අවසර නොගෙන තීරණ ගැනීමට ඇයට ඇති නිදහස අගනේය.

පෞද්ගලික වර්ධනය

තමන්ගේ වෘත්තීය දියුණුව, අධ්‍යාපනය හෝ විනෝදාංශ වෙනුවෙන් 100%ක් කාලය යෙදවිය හැකිය.

මානසික සාමය

අතෘප්තිමන් විවාහ ජීවිතයක ඇති වන ගැටලු, මානසික වධහිංසා සහ අනවශ්‍ය බැඳීම්වලින් තොර නිදහස් මනසක් ඇයට හිමිය.

විවාහය යනු ජීවිතයේ පැවැත්ම සඳහා ඇති එක් විකල්පයක් මිස “අනිවාර්ය සාධකයක්” නොවේ. සමහර කාන්තාවන් තනිකඩව සිටීමට තීරණය කරන්නේ වගකීම්වලින් පැන යාමට නොව, තමන්ට වඩාත් ගැළපෙන සහකරුවෙකු හමු නොවීම හෝ තමන්ගේ නිදහස අගය කරන නිසා විය හැකිය. අප කළ යුත්තේ තනිකඩ කාන්තාව දෙස අනුකම්පාවෙන් බැලීම නොව, ඇයගේ ස්වාධීනත්වයට සහ පෞද්ගලික තේරීමට ගරු කිරීමයි. ඇයට අවශ්‍ය වන්නේ ආරක්ෂාව මිස අවලාද නොවේ. එසේම ඇයට අවශ්‍ය වන්නේ පිළිගැනීම මිස ලේබල්ගත කිරීම නොවේ. තවද තනිකඩ බව යනු “හිස්තැනක්” නොව, එය ඔබ කැමති වර්ණවලින් පුරවා ගත හැකි “හිස් කැන්වසයකි”. ඔබ තනිකඩ කාන්තාවක නම්, මතක තබා ගන්න – ඔබේ ජීවිතයේ වීරවරිය ඔබමය. ඔබ අසම්පූර්ණ නැත. ඔබ දැනටමත් පූර්ණ පුද්ගලයෙකි. ඔබ ඔබේම ලෝකයේ රැජිනකි.

 

TEXT – පවනි උමේෂා (කැලණි විශ්වවිද්‍යාලය)

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?