අමා ශාක්‍යා විජේසේකර කැටිපේආරච්චි රිදී තිරයේ සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පිනියකි. මෙවර තරුණී අම්මාවරුනේ විශේෂාංගය හැඩ වන්නේ ඇගේ මව, ඈ හා බැඳුණු සුන්දර මතකයන්ගෙනි. ඇගේ මව මෙන්ම පියාද අපේ රටේ දක්ෂ කලාකරු දෙපළකි. අමාගේ මව පුංචි තිරය මෙන්ම රිදී තිරයද කලක් තිස්සේ ඔපවත් කළ චන්ද්‍රා කළුආරච්චියි. ඇගේ පියා හෙළ සංගීතයේ මියුරු හඬකින් අප පිනවූ ලක්ෂ්මන් විජේසේකරයි. අමා විසින් සිය අම්මා ගැන තරුණී අප සමඟ අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
අපි පුංචි කාලයේ අපේ අම්මා ගොඩක් කාර්යබහුලයි. අම්මා ගොඩක් වැඩ කරපු කෙනෙක්. ඒ කාලේ අපේ අම්මා හිටියේ ජනප්‍රියත්වයේ ඉහළම තැනක කිවුවොත් වැරදි නෑ. ඒත් ඇය කොතරම් කාර්යබහුල වුණත් අපි ගැන සොයා බලා කටයුතු කරන්නට අතපසු නොකළ බව කිව යුතුයි. මගේ පාසල් සමයේ හැම දෙමාපිය රැස්වීමකටම ආවේ අපේ අම්මා. ඇය කාලය කළමනාකරණය කරගෙන හැම වැඩක්ම පිළිවෙළට කළා. පුංචි කාලේ අපි හැම ප්‍රශ්නයක්ම, කරදරයක්ම කියන්නේ තාත්තාට වඩා අම්මාට. අම්මා නිතරම අපි එක්ක කටයුතු කළේ මිතුරියක් වගේ. ඇය සත්තකින්ම මගේ හොඳම මිතුරියක් වගේ අපේ ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නා. ඒ ප්‍රශ්න දරා ගනිමින් ඒවාට පිළිතුරු දුන්නා. ඉතින් අම්මා සහ අප අතර තිබුණු මිතුරු ලීලාව, ඇයට අපව කළමනාකරණය කරගෙන හදන්න වඩන්න පහසුවක් වුණා. අපි කැමැති දේවල් අපට ලබා දෙන්න ඇය නිතරම වෙහෙසුණා. කිසිම විටක අපට අඩුපාඩුවක් නොකළ තරම්.
අම්මා සමඟ ගෙවුණු පුංචි කාලයේ ඇයගේ මතකයෙන් ගිලිහී නොගිය සිදුවීමක් අමා පැවසුවේ මේ අයුරිනි.
පුංචි කාලෙ නිතරම මං අසනීප වෙනවා. ඉතින් පුංචි කාලේ දවසක් මට නිව්මෝනියාව හැදුණා. එදා මට ගොඩක් අසාධ්‍ය වුණා. ඉතින් අම්මාට ඒ කාලේ කොතරම් වැඩ තිබුණත් නියමිත දිනයට වෙලාවට කොළඹ ළමා රෝහලට මාව අරගෙන යනවා. ඒත් එක්තරා කාලයක මාව ප්‍රතිකාර සඳහා දිනපතාම රෝහලට රැගෙන යන්නත් අම්මාට සිදු වුණා. මගේ නිව්මෝනියා රෝගය නිට්ටාවටම සුව වන තුරු අම්මා මාස දෙකක් පමණ ඒ කාර්යය නොපිරිහෙලා ඉටු කළා. ඉතින් ඇය මුළු ජීවිතයම කැප කළේ අප වෙනුවෙන්මයි.
ආදර්ශවත් මවක ලෙස චන්ද්‍රා කළුආරච්චි සිය දරුවන්ට ජීවිතය කියා දෙන්නට භාවිත කළේ අපූරු උපක්‍රමයන්ය.
අම්මා එක්ක ඕනෑම දෙයක් කතා කළ හැකි තරමේ සබඳතාවක් අප අතර තිබුණා. අම්මා නිතරම හිතුවේ, කටයුතු කළේ වයසට වඩා තරුණ හිතකින්. ඕනෑම කෙනෙකුගේ වයස තේරුම් ගෙන ඒ පුද්ගලයා සමඟ සුහදව කටයුතු කිරීමේ ගුණයකුත් අම්මාට තිබුණා. අම්මා එක්ක කාලය ගත කරද්දී සමාජය ගැන බොහෝ කරුණු අපට කියා දෙනවා. ඒක අම්මාගේ සිරිතක් වගේම පුරුද්දක්. අපි එයින් බොහෝ දේ ඉගෙන ගත්තා. එහෙත් ඇය කවදාවත් අපට මෙය නොකළ යුතුයි, මේ වැඩේ කරන්න එපා යනුවෙන් බලපෑම් කරලාත් නෑ. ඇය නිතරම අපට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නා. අපිත් ඇය පෙන්වා දුන් මාර්ගයේ ගමන් කළා. සමාජයේ සිදුවන සත්‍යය අපට ඇය වටහා දුන්නා. මේ දේ කළොත් මේ දේ වෙනවා. එසේ වුවත් එය ගණන් ගන්න එපා. ඒවා සාමාන්‍ය දේවල් යනුවෙන් ඇය අපට නිතරම මේ සමාජය ගැන කියා දුන් හැටි මට අද වගේ මතකයි. ඉතින් අපිට මොනයම් සිදුවීමකදී වුව විස්මය, අරුමය කියන සිතුවිලි පහළ වෙන්නේ නෑ. ඒවා හරිම සාමාන්‍ය දේවල් බව අපි තේරුම් ගන්නවා. ඉතින් අපි දැනුත් ජීවිතය ගෙවන්නේ අම්මා කියා දුන් ආකාරයට අනුවයි.
අපේ අම්මා නිතරම ස්වාභාවිකත්වයට ඉඩ දුන් කෙනෙක්. ඇය බොහොම සරල නමුත් ගැඹුරු චරිතයක්. අපේ අම්මා තරම්ම අප පරිණත චරිත නොවුණත් ඇයගෙන් ලැබුණු පන්නරය නිසා අපි අද සමාජයේ හොඳ ස්ථාවරයක ජීවත් වෙනවා.
කුමන වයසක පසුවුවද ජීවිතයේ මතු වන ප්‍රශ්නයකදී දරුවකුට මවකගෙන් තරම් නිවැරදි පිළිතුරක් ලැබෙන්නේ නැත. එවන් තැන්වලදී අම්මා කටයුතු කළ ආකාරය අමා මෙසේ විස්තර කළාය.
අපිට ජීවිතයේ ප්‍රශ්නයක් මතු වූ විට ඇය ඉතාම පරිණත ආකාරයෙන් කටයුතු කළා. ප්‍රශ්නයක් ආවාම කලබල නොවී ඊට අවශ්‍ය දේ කරන්නට මං ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්. ඇය හැමවෙලේම ප්‍රශ්නය කිරලා මැනලා විසඳුම සොයා ගන්නවා. අනතුරුව ඊට මුහුණ දෙන ආකාරය ඇය මැනවින් පැහැදිලි කළා.
අපේ රටේ කලා පවුල් අතර ලක්ෂ්මන් විජේසේකර – චන්ද්‍රා කළුආරච්චි පවුලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුහු ආදර්ශවුත් පවුල් ජීවිතයක් ගත කළහ. මේ එහි ඇසින් දුටු සාක්ෂි ඇති අමා අපට කියූ කතාවයි.
මගේ අම්මා සහ තාත්තා නිතරම කටයුතු කළේ ලොකු අවබෝධයක් සහිත ආදරයකින්. ඒ වගේම දෙන්නා නිතරම හොඳ මිත්‍රත්වයකින් කටයුතු කළා. අම්මාට ලොකු ඉවසීමක් තිබුණා. ඒ ඉවසීම නිසා අම්මාට තාත්තා එක්ක ජීවත් වීම පහසු වුණා. තාත්තාත් බොහොම සරල නමුත් දැඩි තීරණවල සිටි අයෙක්. ඒ වුණත් අම්මාගේ ඉවසීමේ ශක්තිය නිසාම තාත්තාත් එක්ක ඉතාම ආදරණීය ජීවිතයක් ගත කරන්නට ඇයට හැකි වුණා. අම්මා නිතරම තාත්තාගේ වැඩවලට ගෞරව කළා. තාත්තාත් නිතරම අම්මාගේ වැඩවලට ගෞරව කළා. ඉතින් දෙන්නා අතර නිතරම අන්‍යෝන්‍ය ගෞරවයක් තිබුණා. දෙන්නාගේ සිතුම් පැතුම් දෙන්නට දෙන්නා තේරුම් අරගෙන හොඳ අවබෝධයකින් කටයුතු කළ බව කිව යුතුයි.
ඉතින් ඒ කුටුම්බය ඇතුළේ අප හැදෙද්දී ඔවුන්ගේ ගෞරවනීය සම්බන්ධය අපි දුටුවා. ගෞරවනීය සම්බන්ධයක් කියන්නේ ප්‍රශ්න, හැලහැප්පීම් නෑ කියන එක නොවෙයි. අම්මා තාත්තා අතර මතභේද අඬදබර ඇති වුණත් ඔවුන් දෙදෙනා ඒවා හරි අපූරුවට විසඳා ගන්නා ආකාරය අපි දැක්කා. ආදරය නැසෙන්නේ නැතිව ඒ ප්‍රශ්න විසඳා ගත් ආකාරය ඉතාම පරිණතයි. මොන ප්‍රශ්නය ආවත් ජීවිතය බෙදා ගෙන පවුලක් විදිහට ඉතා සහයෝගයෙන් කටයුතු කරන්නට අම්මාට සහ තාත්තාට හොඳ අවබෝධයක් සහ වගකීම්සහගත බවක් තිබුණා. තාත්තා රෝගී වුණාම අම්මා ඔහුගේ කටයුතු සියල්ලම ඉටු කළා වගේම අම්මා රෝගී වුණාම තාත්තා ඇගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කළ හැටි මට මතකයි. ඉතින් අපේ අම්මා සහ තාත්තා අතර තිබුණේ එවන් විශාල ගෞරවනීය සහ උතුම් සම්බන්ධතාවක්.
TEXT – ආර්.පි.මිහිරාන්
