මිනිසා පියවර තැබිය යුත්තේ ජීවිතය සොයා මිස මරණය සොයා නොවේ. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ මහා මාර්ග දෙස බලන කල පෙනී යන්නේ, බොහෝ දෙනා නොදැනුවත්වම මරණය කරා වේගයෙන් පියවර තබමින් සිටින බවයි. සෑම දිනකම අලුත් වන රිය අනතුරු සංඛ්‍යාලේඛන හුදෙක් ඉලක්කම් සමූහයක් නොව, රෝහල් යහන් මත කෙඳිරිගාන ජීවිත සහ සුසාන භූමි තුළ නිහඬ වූ මිනිස් හදවත්වල අඳෝනාවයි. වාහනවල කාර්මික දෝෂවලට වඩා මිනිස් හදවතේ ඇති වන “නොසැලකිලිමත්කම” නැමැති මාරාන්තික දෝෂය අද මහා මාර්ග ලෙයින් තෙත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත.
අද රිය අනතුරුවල “නිහඬ මාරයා” වී ඇත්තේ රියැදුරා අත ඇති ස්මාර්ට් දුරකතනයයි. රිය පදවන අතරතුර ලැබෙන කෙටි පණිවිඩයකට හෝ ඇමතුමකට යොමුවන තත්පර කිහිපයක අවධානය, ජීවිත කාලයක පසුතැවීමකට මග පාදයි. ඔබ පැයට කිලෝමීටර් 60ක වේගයෙන් රිය පදවන්නේ නම්, තත්පර 3ක් දුරකතනය දෙස බැලීම යනු ඇස් වසාගෙන මීටර් 50ක් වාහනය ධාවනය කිරීම හා සමානය. තාක්ෂණය ජීවිතය පහසු කිරීමට මිස ජීවිතය උදුරා ගැනීමට භාවිත නොකළ යුතු බවත්, රිය අසුනේදී තත්පරයක අවධානය ගිලිහීම මරණයට අතවැනීමක් බවත් අප වටහා ගත යුතුය.
බීමත්කම සහ රිය පැදවීම යනු කිසිසේත්ම එකට නොයා යුතු ප්‍රතිවිරුද්ධ දෙකකි. මද්‍යසාර මඟින් රියැදුරෙකුගේ පෙනීම සහ මොළයේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව අඩාළ කරයි. “මට පුළුවන්” යන අහංකාරයෙන් බීමත්ව රිය අසුනට ගොඩවන පුද්ගලයා, තමා පදවන්නේ වාහනයක් නොව පාලනයෙන් තොර වූ මිනී පෙට්ටියක් බව අමතක කරයි. බීමත් රියැදුරා තමාගේ මරණය පමණක් නොව, මාර්ගයේ යන තවත් අහිංසක පියෙකුගේ හෝ මවකගේ ජීවන බලාපොරොත්තු ද සුනුවිසුනු කර දමයි. මෙය හුදෙක් අහම්බයක් නොව, සමාජයට එරෙහිව දැන දැනම සිදුකරන සාපරාධී ක්‍රියාවකි.
මාර්ගයක ඇති සංඥා පුවරු සහ ලාම්පු සවිකර ඇත්තේ මහා මාර්ගය අලංකාර කිරීමට නොව, රියැදුරාගේ ආරක්ෂාව උදෙසාය. රතු සංඥාව නොසලකා හැරීම, වංගු සහිත මාරක ස්ථානවල ඉරි කපාගෙන ඉස්සර කිරීම සහ මංතීරු නීති උල්ලංඝනය කිරීම අද බොහෝ දෙනකුට වීරකමක් වී තිබේ. විශේෂයෙන්ම මංසන්ධිවලදී අනෙකාට ප්‍රමුඛතාවය ලබා නොදීම සහ හැරවීමේදී සංඥා ලාම්පු භාවිත නොකිරීම නිසා අහිංසක ජීවිත රැසක් මහමඟ බිලි වේ. මාර්ග නීතිය යනු දඩයකින් බේරීමට පිළිපැදිය යුතු දෙයක් නොව, තමාගේත් අන් අයගේත් හුස්ම සුරක්ෂිත කරන එකම වැටකඩොල්ලයි.
අනතුරකදී රියැදුරාට පමණක් දොස් පැවරීම සාධාරණ නැත. ජංගම දුරකතනයේ හෝ හෙඩ්ෆෝන් තුළ අතරමං වී පාර හරහා පැනීමේදී පදිකයන් දක්වන නොසැලකිල්ල ද තම මරණය තමාම කැඳවා ගැනීමකි. කහ ඉර හෝ ගුවන් පාලම පසෙක තිබියදී, රිසි පරිදි පාර මැදින් දිවීම රියදුරෙකු අසරණ කරන ක්‍රියාවකි. රියැදුරන් මෙන්ම පදිකයන් ද තේරුම් ගත යුත්තේ මහා මාර්ගය යනු තනි පුද්ගලයකුගේ දේපළක් නොව, පොදු විනයක් මත පදනම් වූ සංකීර්ණ පද්ධතියක් බවයි. එක් අයෙකුගේ නොසැලකිල්ල තවත් නිර්දෝෂී පුද්ගලයකුගේ අවසානය විය හැකිය.
මෙම මරණයේ මාවතෙන් මිදීමට නම් රියැදුරන් තම වාහනයේ ධාවන යෝග්‍යතාව නිවැරදි ලෙස නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුය. රිය පැදවීමේදී ආසන පටි සහ හිස්වැසුම් පැලඳීම නීතියට එහා ගිය ජීවිත ආරක්ෂණ ක්‍රමයකි. මාර්ගයේදී අනෙකාට ඉඩ දීමේ මනුෂ්‍යත්වය සහ ඉවසීම ප්‍රගුණ කරන්නේ නම්, අද සිදුවන අනතුරුවලින් අඩකට වඩා වළක්වා ගත හැකිය. අප මතක තබා ගත යුත්තේ, මාර්ගයේ විනය යනු ශිෂ්ට සම්පන්න ජාතියක මැනුම් දණ්ඩ බවයි.
අවසාන වශයෙන් අප වටහා ගත යුතු සත්‍යය නම්, මහා මාර්ගය යනු හුදෙක් වාහන ධාවනය කරන තාර පාරක් පමණක් නොව, දහස් ගණන් ජීවිතවල බලාපොරොත්තු රැගෙන යන මාවතක් බවයි. රියැදුරෙකු ලෙස හෝ පදිකයෙකු ලෙස ඔබ දක්වන තත්පරයක නොසැලකිල්ල, තවත් අයෙකුගේ මුළු ජීවිත කාලයකම හුස්ම නතර කිරීමට ප්‍රමාණවත්ය. නීතියට බියෙන් නොව, මිනිසත්කමට ගරු කරමින් මාර්ග විනය රැකීම අප සැමගේ පරම වගකීමකි. මතක තබා ගන්න, ඔබ පරෙස්සමෙන් පදවන සෑම තත්පරයක්ම තවත් ජීවිතයක් සුරැකීමට කරන මහා පරිත්‍යාගයකි. මරණය දොරකඩට එනතුරු බලා නොසිට, අදම මහමඟ විනයගරුක පුරවැසියෙකු වී මාරයා පරාජය කරමු.
TEXT – නිමේෂා රත්නායක
