Monday, May 4, 2026
Epaper
Home විශේෂාංගමීදුම අතර සැඟවුණු අබිරහස

මීදුම අතර සැඟවුණු අබිරහස

by Shanaka Lakehouse

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් සහ නිර්මාණයෙන් හැඩවුණු ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය පසුගියදා (23 දා) ශ්‍රී ලංකාවේ රිදී තිරයට මුදා හැරුණි. පසුගිය වසරේ ජුනි මාසයේ නිකුත් වූ රිවර්ස්ටන් චිත්‍රපටය සත්‍ය කතාන්දරයක් ඇසුරින් සිදු කළ නිර්මාණාත්මක සිනමා වෑයමක් වන අතර එය ජාත්‍යන්තර සම්මාන උ‍‍ෙලළවලදී නොමඳ පැසසුමට, ගෞරව බුහුමනට සහ සම්මානයට පාත්‍ර වූවක් වීමද කැපී පෙනේ. එසේ ජාත්‍යන්තරයේ නොමඳ ගෞරවාභිමානයට ලක් වූ රිවර්ස්ටන් මේ වන විට ශ්‍රී ලංකාවේ සිනමාශාලාවලදී සිනමාලෝලි ප්‍රේක්ෂක ඔබටත් නැරඹිය හැකිය. ලංකාවේ ප්‍රවීණ රංගධරයන් වන මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගු ණතිලක මෙහි ප්‍රධාන චරිත රඟ දක්වති. ඒ අනුව මෙහි අධ්‍යක්ෂ ලලිත් රත්නායක සහ ප්‍රධාන චරිතවලට පණ පොවන මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර සහ ශ්‍යාම් ප්‍රනාන්දු තරුණී පුවත්පත සමඟ අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.

අවදානමක් නැති තැන නිර්මාණයක් නෑ

අධ්‍යක්ෂ ලලිත් රත්නායක

2025 ජුනි මස නිකුත් වුණු රිවර්ස්ටන් රිදී තිරයට ගේන්න මාස 10ක් ගත වුණේ ඇයි?

අධ්‍යක්ෂ ලලිත් රත්නායක

අධ්‍යක්ෂ ලලිත් රත්නායක

‘රිවර්ස්ටන්’ (Riverston) නිර්මාණය හරහා අප උත්සාහ කළේ ලාංකීය සිනමාවට මඳක් වෙනස් මානයක අත්දැකීමක් එකතු කරන්නයි. ලංකාවේ චිත්‍රපට පෝලිම සහ ශාලා හිඟය හමුවේ මාස 10ක් යනු සාපේක්ෂව කෙටි කාලයක්. ඉතින් කෙටි කලකින් රිවර්ස්ටන් රිදී තිරයට ගෙන ඒමේ ගෞරවය හිමි විය යුත්තේ අපේ බෙදා හැරීමේ ජාලයට සහ නිෂ්පාදන කණ්ඩායමටයි. තවද චිත්‍රපටයේ ඇති කාලෝචිත තේමාව නිසා ප්‍රදර්ශකයන් තුළ තිබූ උනන්දුව මෙතරම් ඉක්මනින් ප්‍රේක්ෂකයා හමුවට ඒමට ලොකු රුකුලක් වුණා.

මේ වගේ ප්ලොට් එකක් සිනමා නිර්මාණයකට පෙරළීම පහසු නැහැ. ඉතින් ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

‘රිවර්ස්ටන්’ වැනි සංකීර්ණ සහ ගුප්ත (Mystery/Thriller) ස්වරූපයක් ඇති කතාවක් සිනමාවට නැඟීම අභියෝගයක්. රිවර්ස්ටන් පරිසරයේ ඇති මීදුම සහ සීතල මෙන්ම එහි ඇති හුදෙකලා බව අපට අවශ්‍ය මනෝභාවය නිර්මාණය කිරීමට උදවු වුණා. තාක්ෂණික ශිල්පීන්ගේ කැපවීම නොවන්නට මේ දෘශ්‍ය අත්දැකීම ලබා ගන්න බැහැ.

මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික, ශ්‍යාම් ඇතුළු චිත්‍රපටයට දායක වූ සියලු දෙනාගෙන් මෙහි සාර්ථකත්වයට ලැබුණු සහය ගැනත් කියමු.

ඔවුන් සියලු දෙනාම තමන්ගේ චරිතය අධ්‍යයනය කරමින්, රූගත කිරීම්වලදී දුෂ්කර දේශගුණික තත්ත්වයන් පවා නොතකා දුන් සහාය මෙහි සාර්ථකත්වයට ඝෘජුවම බලපෑවා.

මේ වගේ ප්ලොට් එකක් සිනමා නිර්මාණයකින් සමාජගත කිරීම අවදානමක් යැයි සිතුණේ නැද්ද?

සිනමාකරුවකු ලෙස මගේ තිර විශ්වාසය, අවදානමක් නැති තැන නිර්මාණයක් නැති බවයි. සමාජයේ කතා නොකරන හෝ මඟහැර යන මාතෘකා ගැන කතා කිරීමේදී යම් විවේචනයක් එල්ල විය හැකි බව අප දැන සිටියා. නමුත් සිනමාව යනු විනෝදාස්වාදය පමණක් නොව, ප්‍රශ්න කිරීම් කරන්නටත් හොඳ වේදිකාවක්. ඒ නිසා ඒ අවදානම මම සතුටින් භාර ගත්තා.

රිවර්ස්ටන් මේ තාක් ලැබූ ජයග්‍රහණ, ගෞරව, සම්මාන ගැන අධ්‍යක්ෂවරයා ලෙස ඔබගේ අදහස…

‘රිවර්ස්ටන්’ මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් ලද ඇගයීම් සහ සම්මාන ගැන අධ්‍යක්ෂවරයා ලෙස මම නිහතමානීව සතුටු වෙනවා. සම්මානවලට වඩා මට වැදගත් වන්නේ සිනමා ශාලාවෙන් පිටතට යන ප්‍රේක්ෂකයාගේ මුහුණේ ඇති තෘප්තිය සහ ඔවුන් මේ ගැන ඇති කරන කතාබහයි. එය තමයි මම ලබන ලොකුම සම්මානය.

ඔබගේ තවත් ෆිල්ම් එකක් (බොම්බයි මොටායි) ළඟදීම අපට නරඹන්න ලැබේවි නේද?

ඔව්, මගේ ඊළඟ නිර්මාණය ‘බොම්බයි මොටායි’ ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්. එය ‘රිවර්ස්ටන්’ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් වේවි.

 

ස්මාර්ට් විදිහට කතාව රචනා කර තිබුණා

මහේන්ද්‍ර පෙරේරා

සිනමාවේ ඔබ රඟ දක්වන චරිත එකිනෙකට වෙනස්. ඉතින් චරිත විවිධ වෙන්නට රංගනයේදී චිත්‍රපට තෝරා බේරා ගැනීමක් කරනවාද?

ඇත්තටම රංගනයේදී චිත්‍රපට තෝරා බේරා ගැනීමක් නැහැයි කියන්නත් බැහැ. ඒත් මම අන්තවාදී ලෙස චිත්‍රපට තෝරාගෙන රඟපාන්නේ නැහැ. රඟපෑමට පෙර පිටපත, එම අවස්ථාව දෙස බැලීම සිදු වෙනවා. ඒත් ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයෙන් පස්සේ පුංචි තිරයෙන් සෑහෙන දුරට මම ඈත් වුණා. එදාට වඩා අද ටෙලිනාට්‍යවල රස විඳින්නට තියෙන ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. රංගන කාර්යයේදී රසවිඳීමක් තිබිය යුතුයි.

ඔබ පෙර රංගනයෙන් දායක වූ පොලිස් චරිතවලට වඩා රිවර්ස්ටන්හි සාජන් උදයසිරි චරිතය වෙනස් වන්නේ කොහොමද?

මෑත කාලයේ කොස්තාපල් පුඤ්ඤසෝම, හොරා පොලිස්, පැරඩයිස් චිත්‍රපටවල මම පොලිස් චරිතවලට පණ පෙව්වා. එහිදී ප්‍රසන්න විතානගේග් පැරඩයිස් චිත්‍රපටයේදී මට කරන්න ලැබුණේ කොස්තාපල් පුඤ්ඤසෝම සහ හොරා පොලිස්වලට වඩා හාත්පසින් වෙනස් චරිතයක්. කොස්තාපල් පුඤ්ඤසෝම, හොරා පොලිස් චිත්‍රපට දෙකේම මම දායක වුණේ ප්‍රහසන චරිතවලට.

ඒත් පැරඩයිස්හි මා පණ පෙවූ සාජන් බණ්ඩාරගේ චරිතය, මුම්බායි විචාරක සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට පවා නාමයෝජනා ලැබුවක්. එහිදී ඉන්දියාවේ සෑහෙන පිරිසක් මාව හඳුනා ගත්තා. එය මට සුවිශේෂී අවස්ථාවක්. අනතුරුව මම පොලිස් චරිතයක් රඟ දක්වන්නේ රිවර්ස්ටන් චිත්‍රපටයේයි. මම එහි පණ පොවන්නේ සාජන් උදයසිරිගේ චරිතයට. එහිදී මම සිංගප්පූර් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්හි, Best Performance වෙනුවෙන් සිංගප්පූර් ඒෂියා සිල්වර්ස්ක්‍රීන් සම්මානය දිනා ගත්තා. එය මීට පෙර ගීතා කුමාරසිංහ විසින් දිනාගෙන තිබුණා. අනතුරුව අනෝමා ජිනාදරි සහ ජෝ අබේවික්‍රම මහතා ද මෙම සම්මානය දිනාගෙන තිබූ බව කිව යුතුයි. එහි මට දැනෙන විශේෂත්වය අන් කිසිවක් නොව නීටා ප්‍රනාන්දු, අනෝමා ජිනාදරි සහ ජෝ අබේවික්‍රම මෙම සම්මානය දිනාගත් චිත්‍රපට සියල්ලේම මමත් රංගනයෙන් දායක වී තිබීමයි.

නීටා ප්‍රනාන්දු රඟපෑ පවුරු වළලු චිත්‍රපටයට මම රංගනයෙන් මෙන්ම කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. අනෝමා ජිනාදරි රඟපෑ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ වගේම ජෝ අබේවික්‍රම රඟපෑ පුර හඳ කළුවර චිත්‍රපටයේත් මා රඟපෑ බව කිව යුතුයි. ඉතින් මේ සම්මානය සහ ඒ සබඳතාව මගේ රංගන දිවියට ලැබුණු ආශීර්වාදයක් ලෙස මම සලකනවා. එය ඉතාම සන්තෝෂයට ද කරුණක්. මේ සම්මානයට මා සමඟ ආසියානු රටවල දොළොස් දෙනෙක් නිර්දේශ වෙලා තිබුණා. ඉතින් එහි වඩාත් සතුටට කාරණාව වන්නේ මා සමඟ රිවර්ස්ටන්හි රඟපෑ රන්දික ගුණතිලකත් මෙම සම්මානය උදෙසා නාමයෝජනා ලබා තිබීමයි. රන්දික සිටින්නේ මට වඩා පරම්පරා කිහිපයක් පිටුපසින් වුණත් මෙහිදී මා සමඟ රන්දික මේ සම්මානයට නිර්දේශ වීම විශාල සතුටක්. ඉතින් පැරඩයිස්හි වගේම රිවර්ස්ටන්හි මා රඟ දැක්වූ පොලිස් චරිත දෙකම ඉතා සංකීර්ණ භූමිකාවන් නිරූපණය කළා. ඒ චරිත රඟ දැක්වීමට පෙර සොයා යා යුතුව තිබූ තොරතුරු, මේ චරිත නිරූපණය විය යුතු ආකාරය ගැන අධ්‍යක්ෂවරයා සතු වූ දර්ශනය ඉතා සංකීර්ණයි. ඉතින් රංගනයේදී එය උකහා ගැනීමට මම විශාල උත්සාහයක් ගත්තා.

මෙවන් කතා පසුබිමක් සහිත චිත්‍රපටයක රඟ දැක්වීම කිසියම් අවදානමක් යැයි සිතුණේ නැද්ද?

ඇත්තටම මෙහි පිටපත අතට ගෙන කියැවූ සැණින් මගේ හිතෙත් ඔය සිතුවිල්ල ඉපදුණා. මම මෙහි අධ්‍යක්ෂ ලලිත්ගෙන්, මේ චිත්‍රපටය පෙන්න ගන්න ලැබෙයි ද කියලා ඇහුවා. එහෙත් ලලිත් මේ චිත්‍රපටයේ කතාව රචනා කර තිබුණේ සත්‍ය සිදුවීමෙන් ඇසුරින්ම නොවේ යැයි මා විශ්වාස කරනවා. සත්‍ය සිදුවීම් ඇසුරින් ඉතා ස්මාර්ට් විදිහට ඔහු මේ කතාව රචනා කර තිබුණා. සත්‍ය සිදුවීම්වලින් ප්‍රේක්ෂකයා ඉන්ස්පයර් වන ආකාරයෙන් මෙය නිර්මාණය කර ඇති බව කිව යුතුයි. ඒ නිසා මට චිත්‍රපටයේ රඟපාන්න බයක් තිබුණේ නැහැ. ඒ වගේම චිත්‍රපටය රඟ දක්වද්දී ලලිත්ගේ අධ්‍යක්ෂණයත් එක්ක ඒ අවදානම පහව ගියා. එතරම්ම නිර්මාණශීලිව එය නිර්මාණය කර තිබුණා. චිත්‍රපටය බලන විට රසිකයන්ට දැනෙන කම්පනයත් සමඟ එය නිසැකවම ඔවුන්ට වැටහේවි.

ලලිත් රත්නායක චිත්‍රපටයක අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබට හමු වූ පළමු අවස්ථාව මෙය නේද?

චිත්‍රපටයක අධ්‍යක්ෂවරයෙක් ලෙස ලලිත්ව හමු වූ පළමු අවස්ථාව මෙය වුවත් නිර්මාණ රැසකම මට ඔහුව සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස මුණ ගැසුණා. ටෙලිනාට්‍ය ගණනාවකම අප දෙදෙනාගේ ඇසුර, මිත්‍රත්වය තේරුම් ගැනීම තිබුණු බව කිව යුතුයි.

ප්‍රවීණයෙක්, ජ්‍යෙෂ්ඨයෙක් ලෙස තරුණ පරම්පරාව එක්ක රඟපාද්දී දැනෙන හැඟීම විස්තර කළොත්..

නව පරපුර එක්ක රඟපාද්දී මාත් ඒ පරම්පරාවේ යැයි හැඟෙනවා. මම ප්‍රවීණයි කියලා හැඟීමක් මට එන්නේ නැහැ. මා සමඟ මෙහි රඟ දැක්වූ රන්දික, ප්‍රියන්ත, ශ්‍යාම් කිසි විටක එකිනෙකා පරයා යන ආකාරයෙන් රඟපාන්න උත්සාහ කළේ නැහැ. මෙහි ප්‍රධාන චරිත රඟ දැක්වූ අපි හැම විටම සමබරව රංගන කාර්යය ඉටු කළා. සාර්ථක රංගනයකට එය ඉතා වැදගත්. මේ කතාවේ මුල සිටම ප්‍රධාන චරිත ලෙස අප හතර දෙනාව හඳුනා ගත හැකියි. එහෙත් කතාව අවසානය නාභිගත වන තැනදී රන්දික ප්‍රධාන චරිතය ලෙස ඉස්මතු වෙනවා. ඒත් කතාව ආරම්භයේ සිටම අපි හතර දෙනාම සියයට දාහක් රස විඳිමින් මෙහි රංගනයේ නියැළුණා කිවුවොත් වැරදි නැහැ. ඒ රස විඳීමත් සමඟ ලලිත්ගේ අධ්‍යක්ෂණය මුසු වී අපට නිර්මාණාත්මක රංගනයක් දැක්වීමට හැකි වුණා.

ඒ වගේම මෑත භාගයේ මා රංගනයේ දායක වූ මාරියා, මිස්ටර් ඇන්ඩ් මිසිස් චිත්‍රපට දෙකම දිවයිනට බලපෑ සුළි කුණාටුවෙන් රටේ ඇති වුණු හදිසි තත්ත්වය නිසා ප්‍රේක්ෂකයන් අතරට බලාපොරොත්තු වූ අයුරින් ගියේ නැහැ. ඒ ගැනත් හිතේ යම් කනගාටුවක් තිබෙනවා.

 

වස්තු විෂය දැන ගත්තාම වඩාත් ආසක්ත වුණා

ප්‍රියන්ත සිරිකුමාර

මේ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන ‘විෂම භාග’ චිත්‍රපටයේත් මම රංගනයෙන් දායක වුණා. ඒ ඇසුර නිසාම ලලිත් මට මේ චිත්‍රපටයටත් ඇරයුම් කළා. ඇත්තටම ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණය යටතේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වනවා කියන්නේ හොඳ අභ්‍යාසයක් වගේම හොඳ අත්දැකීමක්. ඒ සමඟ ඔහුගේ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට උසස් රසවින්දනයක් ලබා දෙන බව මම විශ්වාස කරනවා. අපිත් බලාගෙන ඉන්නේ හොඳ නිර්මාණයක්, චිත්‍රපටයක් එන තුරුයි. ඉතින් රිවර්ස්ටන් කියන්නේ හොඳ නිර්මාණයක්. එහි ප්‍රධාන චරිතයකට පණ පෙවීම විශාල සතුටක්.

මෙහි පිටපත කියවා වස්තු විෂය දැන ගත්තාම මම ඊට වඩාත් ආසක්ත වුණා. මේ වස්තු විෂය කවුරුත් කතා නොකළ මාතෘකාවක්. ඉතින් එය නිර්මාණාත්මකව අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයාට දැනෙන අයුරින් නිර්මාණය කර ඇති බව මම වටහා ගත්තා. ලලිත් රත්නායක කියන්නේ හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම නිර්මාණශීලි පිටපත් රචකයෙක්. ඔහුගේ නිර්මාණ ඉතාම නැවුම්. හැම විටම සමාජයේ කතා කළ යුතු නමුත් සැඟවී තිබෙන සමාජයට බලපෑම් කරන මාතෘකා ඔහු නිර්මාණාත්මකව දකිනවා.

චිත්‍රපටයට පසුබිම් වූ මාතෘකාව නිර්මාණාත්මකව දැක්වීමට අධ්‍යක්ෂවරයා වගේම රංගන ශිල්පීනුත් දැක්වූ දායකත්වය ගැන ඔබගේ අදහස..

මේ චිත්‍රපටයට පසුබිම් වූ මාතෘකාව පසුගිය සමයේ දේශපාලනය, නීතිය වැනි පසුබිම් යටතේ කතාබහට ලක් වූ ප්‍රබල මාතෘකාවක්. ඉතින් නිර්මාණශීලි අධ්‍යක්ෂවරයෙක් ලෙස ලලිත් මෙහි ප්‍රස්තුතයට රිංගලා මිනිස් හැඟීම් දැනීම් මතු කර ගන්නට උත්සාහ කර තිබෙනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සම්මාන රැසකින් මේ චිත්‍රපටය පිදුම් ලැබුවා. ඉතින් අධ්‍යක්ෂවරයාගේ වෑයම සාර්ථක යැයි කියන්නට ඊට වඩා උදාහරණ අවශ්‍ය නැහැ.

ඔබ රංගනයෙන් දායක වන චිත්‍රපට එකම ධාරාවක යැයි කිවුවොත්..

ඇත්තටම යම් අවස්ථාවක ඒ කතාවේ ඇත්තක් නැත්තෙත් නැහැ. මට ඇරයුම් ලැබෙන චිත්‍රපට දෙස බැලූ විට ඒ ඇරයුම් කිසියම් පෙරීමකට ලක් වී ලැබෙන බව මටත් වැටහෙනවා. ඒත් මේ ක්ෂේත්‍රයේ නිර්මාණ තෝරා ගැනීම පුද්ගලික කැමැත්ත අකැමැත්ත මත තීරණය වෙනවා. වෘත්තියක් ලෙස ගත් විට නිර්මාණ තෝරා ගැනීමේදී යම්කිසි නිදහසක් පවත්වා ගැනීමත් සිදු වන බව කිව යුතුයි. ඉතින් රංගන ශිල්පියෙක් ලෙස මා කටයුතු කරන්නේත් මේ අවස්ථා දෙක අතර. මට බොහෝ චිත්‍රපට ලැබෙනවා යැයි පවසන්නත් බැහැ. හැබැයි වසරකට මට නිර්මාණ කිහිපයකට ඇරයුම් ලැබෙනවා. මම තෝරා ගන්නේ ඒ අතරින් කිහිපයක් පමණයි.

මම කලාව හඳුනා ගන්නේ වේදිකාවෙන්. තමන් සම්බන්ධ වන මොනයම් හෝ නිර්මාණයකින් ප්‍රේක්ෂකයාට ලැබෙන රසවින්දනය නිර්මාණය හරහා තේරුම් ගැනීමට මම උත්සාහ කරනවා. ඒ හැර වෙනත් තෝරා ගැනීමක් මා සිදු කරන්නේ නැහැ. එහෙත් වාසනාවකට මට මුල සිටම හොඳ තිර රචනා, විශිෂ්ට අධ්‍යක්ෂවරු ලැබුණා. ඒ වගේම මම කරන කාර්යය සවිඥානිකව කරන්නට මම කැමැත්තක් දක්වනවා.

චිත්‍රපටයේ බොහෝ දර්ශන ජීප් රථයක් තුළ රූගත කර තිබෙනවා. රංගනයේදී එය දැනුණේ කොහොමද?

ඇත්තටම රචකයෙක්, තිර රචනාවක් නිර්මාණය කරන්නේ රංගනයට අවශ්‍ය ස්ථාන ගැන අවබෝධයක් සහ අධ්‍යයනයක් සහිතවයි. නළුවා අතට පිටපත ලැබෙන්නේ නිර්මාණයට තෝරා ගන්නා චරිත, අවස්ථා, ස්ථාන, පරිසරය ආදිය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුවයි. රංගන ශිල්පියා යා යුතු මාර්ගය ඒ පිටපතෙහි තිබෙනවා. ඉතින් ලලිත් රත්නායක කියන්නේ සාර්ථක පිටපත් රචකයෙක්. මේ නිර්මාණයේත් ඒ විශිෂ්ට ලක්ෂණ දැක ගත හැකියි. පිටපත අධ්‍යයනයෙන් පසුව රංගන ශිල්පියෙකුට ඒ මාර්ගය පැහැදිලිව පෙනෙනවා. ඉතින් රංගන ශිල්පියෙකුට සිය පරිකල්පනය ඇතුළේ කුඩා ස්ථානයක, අවස්ථාවක වුව නිර්මාණශීලිව සිය රංගනය සිදු කිරීමට ඒ මාර්ගය උපකාරී වෙනවා. අපිත් ඒ වෙනුවෙන් වෑයමක යෙදුණා. ඉතින් දවස තිස්සේම ජීප් එකක් ඇතුළේ එකම අසුනක විවිධ තැන්වලට මාරු වෙවී රූගත කිරීම් කළා. එවිට යම් ඒකාකාරී වෙහෙසකර තත්ත්වයක් ඇති විය හැකියි. එහෙත් ඒ විදිහට වුව අප සිදු කරන කාර්යය අවබෝධ කර ගත්තාට පස්සේ අපට රංගනය අපහසු වුණේ නැහැ.

 

ඔහුගේ අධ්‍යක්ෂණය ජීවිතය දෙස අන්වීක්ෂයෙන් බලනවා හා සමානයි

ශ්‍යාම් ප්‍රනාන්දු

මේ නිර්මාණයට සම්බන්ධ වූ ආකාරය ගැන කිවුවොත්..

ඇත්තටම රිවර්ස්ටන් අධ්‍යක්ෂ ලලිත් රත්නායක සමඟ මට මීට පෙරත් නිර්මාණ අත්දැකීමක් තිබෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ‘තාත්තා’ ටෙලිනාට්‍යයේ මම රංගනයෙන් දායක වුණා. ඒ නිසා ඔහුගේ අධ්‍යක්ෂණ ශෛලිය, වැඩ කරන ආකාරය ගැන මට අවබෝධයක් තිබෙනවා. ඔහුගේ නිර්මාණයකට දායක වන්නට පෙර සිටම ඔහු දුරකතනයෙන් ඒ ගැන පුළුල් පැහැදිලි කිරීම ඔහුගේ සිරිතක්. ඉතින් ඔහුගේ අධ්‍යක්ෂණ ශෛලියේ හරි ලස්සන දෙයක් ලෙස, නළුවාට චරිතය ඇතුළේ තිබෙන දේ සොයා ගැනීමට හැකි වන පරිදි විස්තර කිරීම පෙන්වා දිය හැකියි. අනතුරුව නළුවා ලෙස රංගන කාර්යයේ යෙදෙන්න අපට ඉඩ දෙනවා වගේම අධ්‍යක්ෂවරයා ලෙස ඔහු නිතරම චරිතයෙන් පිට නොයන්නට මඟ හසර පෙන්වනවා. ඔහුගේ අධ්‍යක්ෂණය ජීවිතය දෙස අන්වීක්ෂයෙන් බලනවා හා සමානයි. ලලිත් අයියා සැබැවින්ම මිනිස් හැඟීම්, ජීවිතය විඳින ආකාරය, චරිතයක ඇති ආකල්පය ඉතා සියුම්ව නිරීක්ෂණය කරන අධ්‍යක්ෂවරයෙක්.

සමාජයක සිදු වන බැරෑරුම් සිදුවීමකට රංගනයට දායක වීම අභියෝගයක් වුණාද?

ඇත්තටම මෙහිදී අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඊට ඉතා වැදගත් වුණා. මෙහි දෙබස් සහ චරිත අතර දිශානතිය නිර්මාණය කරන්නට ලලිත් අයියාගේ අධ්‍යක්ෂණ භූමිකාව ඉවහල් වුණා කීවොත් වැරදි නැහැ. අධ්‍යක්ෂවරයා මෙම කතාව තෝරා ගන්නේ සමාජ සහ දේශපාලන දිශානතිය ගැන පැහැදිලි අවබෝධයකින්. ඉතින් මෙවන් කතාවක චරිතයක් නිරූපණය කරද්දී රංගන ශිල්පියෙකුට තමන්ට සිතූ අයුරින් කටයුතු කරන්නට බැහැ. මේ සඳහා ඔහු තෝරාගෙන තිබුණේ විෂය සම්බන්ධ ප්‍රවීණයන්. ඒ වගේම මේ සඳහා ලෝකයේ විශිෂ්ටතම නළුවා යොදා ගත්තත් අධ්‍යක්ෂවරයාට පිටින් ගමන් කළ නොහැකියි. ඒ නිවැරදි මාවතේ රංගනයේ යෙදීමෙන් සමාජ, දේශපාලන සන්දර්භයට ඉඳිකටු තුඩක හෝ හානියක් නොවන අයුරින් නිර්මාණය සිදු කළ හැකියි. ඒ වගේම මෙම සිදුවීම වූ කාලවකවානුව පවා අධ්‍යක්ෂවරයා විසින් සියුම්ව හුවා දක්වා තිබෙනවා.

ඔබ මෙතෙක් රඟ දැක්වූ චිත්‍රපටවල චරිත සමඟ සන්සන්දනය කිරීමේදී මෙහි චරිතය වෙනස් වන්නේ කොහොමද?

සැබැවින්ම චිත්‍රපටයකින් චිත්‍රපටයකට රඟ දක්වන චරිත එකිනෙකට වෙනස්. එකම චිත්‍රපටය දෙවරක් රූගත කළත් එහිදී රඟ දක්වන එකම චරිතය වුවද දෙයාකාර වෙනවා. මෙහි තිබෙන්නේ ප්‍රතිවීරයා වෙනුවෙන් පෙනී සිටින චරිතයක්. කතානායකයාට විරුද්ධ වන මේ ප්‍රතිවීර චරිතයේ වෙනසක් තිබෙනවා. මම රඟපෑ අනෙක් චරිත හා සැසඳුවොත් මේ චරිතය වෙනස් වන්නේ මේ ප්‍රතිවීරයා සෙසු චරිත දෙස බලන ආකල්පය අනුවයි. මෙහි ප්‍රධාන චරිතය සමඟ ගැටෙන විට තමන්ට ඇති සහානුකම්පාව කතානායකයාට පෙන්වීමට නොහැකි වන අසරණ චරිතයක් නිසා මෙහි සියුම් ආකාරයේ වෙනසක් තිබෙනවා.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?