Monday, May 4, 2026
Epaper
Home විශේෂාංගලොවක් සැනසූ බොලිවුඩ් සප්ත ස්වරයේ රෝස කුසුම

ලොවක් සැනසූ බොලිවුඩ් සප්ත ස්වරයේ රෝස කුසුම

by Shanaka Lakehouse

ප්‍රේමය කියන්නේ ආනන්දනීය හැඟීමක්. එහෙත් ප්‍රේමය නිසා කඳුළු වැපිරුණු ජීවිතත් මේ ලෝකයේ නැතිවාම නොවේ. ප්‍රේමය නිසා නැඟෙන කඳුළු සඟවාගෙන ජීවිතයට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්නා මිනිසුන් ගැහැනුන්ද ලොව නැතිවා නොවේ. බොලිවුඩ් සංගීතයේ කිරුළු නොපැලඳුවද මියුරු හඬින් ලොවම දිනූ ආශා බෝස්ලේත් සිය පළමු පෙම හමුවේ පරාජය වූ සොඳුරු පෙම්වතියක්. ප්‍රේමයේ සුන්දරත්වය ගැන ගී ගැයූ ඇය සිය පළමු පෙම නිසා විඳි දුක හරියටම දන්නේ ඇය පමණයි.

ඉතින් අපේ රටට වසන්ත කාලය උදා වුණු අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඇරඹුමට පෙර අපට අසල්වැසි ඉන්දියාවෙන් අහන්නට ලැබුණේ කණගාටුදායක පුවතක්. ආශා බෝස්ලේ මෙලොවින් සමුගත් පුවත ඒ අයුරින් අප සවන් වැකුණේ පසුගිය අප්‍රේල් දොළොස් වැනිදා. එක්දහස් නවසිය තිස් තුන වසරේ ඉන්දියාවේ ඉමහත් ජනාදරයට පත් සංගීත පවුලක උපන් ඇගේ වැඩිමහල් සහෝදරිය වූයේ ලතා මංගේෂ්කාර්. ඔවුන්ගේ පියාගේ නම දීනනාත් මංගේෂ්කාර්. ඉතින් මංගේෂ්කාර් පවුලට එකතු වුණු මේ සොඳුරු සිඟිත්තියට දීනනාත් නම් තැබුවේ ආශා මංගේෂ්කාර් යනුවෙන්.

මංගේෂ්කාර් පවුලේ සහෝදර සහෝදරියන් ගණන පහක්. ලතා, ආශාට අමතරව මීනා, ඌෂා, හෘදයනාත් නමින් තවත් සොයුරු සොයුරියන් තිදෙනක් මේ පවුලේ සංගීත උරුමය ඉදිරියට රැගෙන ගියා. මේ අතරින් වඩාත් ජනාදරයට පත් වුණේ ලතා සහ ආශා දෙපළයි. පවුලේ සංගීත උරුමය නිසාම ආශාට මුලින්ම ගීතයක් ගයන්නට අවස්ථාව ලැබෙන විට ඇය දහ වැනි වියේ පසු වුණා. එහිදී ඇය මරාති චිත්‍රපටයක් වෙනුවෙන් ‘චල චල නව් බාලා’ නමින් ගීතයක් ගායනා කළා. මේ කාලයේදී දීනනාත් හදිසියේම මිය යන අතර එය මංගේෂ්කාර් පවුලේ ආර්ථිකයට තදින්ම බලපෑවා. ඒ අනුව සිය සොයුරිය ලතා සමග ආශා ගායනයට අමතරව රංගනයෙන්ද මුදල් උපයමින් පවුලේ අගහිඟ සපුරන්නට වුණා. කෙසේ වුවත් ආශා පහළොස් වැනි විය පසු කරත්ම බොලිවුඩ් සිනමාවේ ගායිකාවක වන්නට ඇයට හැකි වුණා. ඒ ‘චූනාරියා’ නම් චිත්‍රපටයේ ගීතයක් ගායනා කරමින්.

මේ ආකාරයෙන් ලතා මංගේෂ්කාර් සමඟ ඉන්දීය ගායන වේදිකාව අතික්‍රමණය කරමින් සිටි ආශාගේ සංගීත ජීවිතය පමණක් නොව ජීවිතයද කඳුළින් නැහැවුණේ ඇය තුරුණු වියේදීම ගත් හිතුවක්කාරී තීරණයක් නිසායි. මේ වන විටත් ආශාට වඩා ලතා මංගේෂ්කාර් ඉන්දියානු සංගීතයේ වැඩි ආධිපත්‍යයක් දරාගෙන සිටියා. ලතා මංගේෂ්කාර් කාර්ය මණ්ඩලයක් සහිතව සිය කටයුතු සැලසුම්සහගතව සිදු කළා.

ලතා මංගේෂ්කාර්ගේ කාර්ය මණ්ඩලයේ ඇයගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස ගන්පත්රෝ බෝස්ලේ නම් තරුණයෙක් සේවය කළ අතර ඔහු වෘත්තියෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වුණා. මේ අතරතුර ආශා මංගේෂ්කාර් සහ ගන්පත්රෝ අතර ප්‍රේම සබඳතාවක් ඇති වෙනවා. ගන්පත්රෝ ආශාට වඩා වැඩිමහල් වීමත් ඇගේ පවුල් පසුබිම සහ ඔහුගේ පවුල් පසුබිම අතර පැවැති වෙනස්කම් නිසා මංගේෂ්කාර් පවුල මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වුණා. ඒ වන විට ආශා දහසය වැනි වියෙහි පසුවෙද්දී ගන්පත්රෝ පසු වුණේ තිස් එක් වැනි වියෙහියි.

එහෙත් මේ ප්‍රේමය කොතරම් දලුලා වැඩුණා දැයි කිවහොත් සියලු විරෝධතා මධ්‍යයේ ආශා සහ ගන්පත්රෝ පලා ගොස් විවාහ වෙනවා. ඒ නිසාම ආශා මංගේෂ්කාර්ව සිය පවුලේ ඥාතීන් විසින් පවුලෙන් නෙරපා හැරියේ කිසිදු සමාවක් නොදෙමින්. ගන්පත්රෝ හා විවාහ වීමත් සමඟ ආශා සිය වාසගම පවා බෝස්ලේ නමින් වෙනස් කර ගන්නවා. ආශා මංගේෂ්කාර් නම් වූ ඇය ආශා බෝස්ලේ නමින් ප්‍රසිද්ධියට පත් වන්නේ ඒ නිසායි.

පෙම්වතුන් වූ සමයේ සොඳුරුව පිරිනැමුණු ගන්පත්රෝගේ ප්‍රේමය විවාහයෙන් පසුව ආශාට සොඳුරු තිළිණ හිමි කර දුන්නේ නෑ. ඔහු ඇයට නිතරම බැණ වදිමින් පහර දෙමින් ඇගේ සංගීත දිවියට පවා අකුල් හෙළුවා. මේ අතර ගන්පත්රෝ – ආශා කැදැල්ලට දරුවන් තිදෙනක්ද එකතු වුණා. ආනන්ද්, හේමන්ත්, වර්ෂා නම් වූ ඔවුන් අතරින් සංගීතයට යම් තරමක හෝ සමීප වූයේ හේමන්ත් පමණයි. ආනන්ද් ව්‍යාපාරිකයෙක් වෙද්දී වර්ෂා මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා.

සැමියාගේ ගුටි ඇනුම්, බැණ වැදුම්, රැවුම් ගෙරවුම් මැද ගායනයද අත් නොහළ ආශා, විවාහයෙන් දස වසක් ගෙවෙන්නටත් මත්තෙන් ගන්පත්රෝගේන් දික්කසාදය ඉල්ලා සිටියා. ඒ අනුව ආශා – ගන්පත්රෝ විරසකය නීතිය හමුවේ විසඳා ගන්නට ඇය තීරණය කළා. එක්දහස් නවසිය හැටේදී ඇයට පීඩාවක් වූ යුග දිවියට නීතිය පිළිසරණ වූයේ ආශා – ගන්පත්රෝ බැඳුණු විවාහ සහතිකය කුණු කූඩයට දමමින්. අනතුරුව නැවුම් හුස්මකින් නව දිවියක් ඇරඹූ ආශා සිය දරු තිදෙනාගේ සියලු කටයුතු නොපිරිහෙළා ඉටු කළා.

ඒ වන විට ඉන්දීය සිනමා සංගීතය ලතා මංගේෂ්කාර්ගේ නමින් ලියැවී තිබුණත් පරපුරේ උරුමය නිසාම ලතාගේ සෙවණැල්ල ලෙසින් හිඳිමින් හෝ ඇයටද බොලිවුඩ් සිනමාවේ චිත්‍රපට රැසක ගී ගයන්නට ඇරයුම් හිමි වුණා. හින්දි භාෂාවෙන් පමණක් නොව මරාති, බංග්ලා, ගුජරාටි, පංජාබ්, උර්දු, කන්නඩ, තෙළිඟු, මලයාලම්, දමිළ, ඉංග්‍රීසි ආදී භාෂා ගණනාවක ගීත ගායනා කරන්නට ලැබීම ඇය ලැබූ භාග්‍යයක්. ඇය සහස්‍ර වර්ෂය ආරම්භයේ ශ්‍රී ලංකාවේ භාතිය – සන්තුෂ් සමඟ සිංහල ගීතයකටද දායකත්වය දැක්වීම කැපී පෙනෙනවා. ඒ අනුව භාෂා රැසකින් ගී ගයමින් ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වන ඇයට නැවතත් එක්දහස් නවසිය අසූවේදී මංගල සීනු හැඬවෙන්නේ ඇය පැතූ ආදර ලෝකය ඇයට උරුම කර දෙමින්. ඒ අනුව ඇය විවාහ වන්නේ සුප්‍රකට බොලිවුඩ් සංගීතවේදී ආර්.ඩී. බර්මාන් සමඟයි. ජීවිතයේ පස්වැනි දශකයට කිට්ටු කර සිටියද ආශා තුරුණු වියේදී නොලද තරමේ ප්‍රේමයක් බර්මාන්ගෙන් ඇයට හිමි වුණා. බර්මාන්ද සංගීත ලොව තරුවක් වූ නිසා ආශා බෝස්ලේගේ සංගීත දිවිය වඩාත් දීප්තිමත්ව කැපී පෙනෙන්නට වූයේ මේ ආදර කතාවේ ආරම්භය සමඟයි. එහෙත් බර්මාන් – ආශා ආදර කතාවද වසර 14කට සීමා කරමින් බර්මාන් 1994 වසරේදී මෙලොවින් සමුගත්තේ ආශාගේ නෙතඟ තවත් කඳුළකට ඉඩ සලසමින්. අනතුරුව ආශාගේ ජීවිත කතාවට තවත් වේදනාබර මතක කිහිපයක් එක් වන්නේ සහස්‍ර වර්ෂයේ දෙවැනි දශකයේදීය. ඒ අනුව 2012 වසරේ ඇගේ දියණියත් 2015 වසරේ ඇගේ එක් පුතෙක් වන ආනන්ද්ත් මෙලොවින් සමු ගන්නවා.

කෙසේ නමුත් මියුරු ගී සරින් ලොවක් සැනසූ ඇගේ දිවියේ බොහෝ කාල සීමාවක් ඇය ගෙවා දමන්නේ සැනසීමකින් නම් නොවේ. බොහෝ දුක් කරදර සිතෙහි දරාගත් ඇය ලෝකයක්ම සප්ත ස්වරයෙන් පිනවීම කොතරම් අගනේද? ඇගේ දිවියේ සුන්දරම කාල පරිච්ඡේදය ඇයට තිළිණ කළ ආර්.ඩී. බර්මාන් මෙලොවින් සමුගෙන වසර 32ක් ගෙවෙද්දී පසුගිය අප්‍රේල් 12 වැනිදා ඇයත් බර්මාන්ගේ ලෝකයට පියමන් කළේ සංගීත ලෝකයට පිරවිය නොහැකි හිස්තැනක් තබමින්. ඇය සමුගෙන ගියත් ඇයගේ පදවැල් තවමත් රසික දනන්ගේ දෙසවන් රැව් පිළිරැව් දෙන්නේ සියවස් ගණනක් ගියද බොලිවුඩ් සිනමාවේ ඇගේ හිස්තැනට ඇය වැනි ආදේශකයක් නොවන නිසාමය.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?