ආතතියෙන් පිරුණු කාර්යබහුල ජීවිතයක් ගෙවන වර්තමාන සමාජයේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග තත්ත්වයක් ලෙස මිග්‍රේන් නැතහොත් ඉරුවාරදය හඳුනාගන්න පුළුවන්.
හිසරද වර්ගවලින් බහුලවම පවතින හිසරදයක් වන මෙය, කාලයක් තිස්සේ පවතින නැවත නැවත ඇතිවන ප්‍රාථමික හිසරද වර්ගයක් වන අතර මධ්‍යම ප්‍රමාණයේ වේදනාවක සිට අධික වේදනාවක් දක්වා වර්ධනය වන තවත් රෝග ලක්ෂණ ගණනාවක් පවතින රෝග තත්ත්වයකි.
මෙම රෝගයේ ඇති විශේෂතම ලක්ෂණය වන්නේ නැවත නැවත ඇතිවීම, හිසේ කොටසක පමණක් ඇතිවීම, ආතති තත්ත්වය නිසා වර්ධනය වීම, අධික ලෙස කය වෙහෙසා වැඩ කිරීම නිසා වර්ධනය වීම වැනි ඒවාය. මීට අමතරව ආහාර අරුචිය, වමනය ගතිය, අධික ශබ්දවලට සවන් දීමේ අපහසුතාව ද හඳුනාගත හැකියි. මෙහි නියුරෝවැස්කියුලර් ඔරිජින් (Neurovascular origin) තත්ත්වයක් පවතින බව හඳුනාගෙන ඇත. එනම් මොළයට බලපාන ස්නායු සහ වාහිනී යන දෙකෙහිම එකතුවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. මෙහිදී සිදුවන්නේ ස්නායු පද්ධතියේ සංවේදීතාව වැඩිවීම තුළින් මෙම හිසරද තත්ත්වය ඇතිවීමයි.
සිය දෙනෙක් ගතහොත් ඉන් දොළොස් දෙනකුට පමණ මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාව පවතියි. විශේෂතම කාරණාව නම් ඉරුවාරදය වැඩි වශයෙන්ම ඇති වන්නේ කාන්තාවන්ටය. මෙම රෝගය වැලඳීම කාන්තාවන් හා පිරිමින් අතර 3:1 අනුපාතයක් පවතියි. බොහෝ දුරට වැඩිවියට පැමිණෙන වයස් සීමාවේ සිට මැදි වයස දක්වා අයට මෙම ඉරුවාරදය වැලඳීමේ හැකියාවක් පවතී. ඇතැම් විට පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන ජානමය විකෘති තත්ත්වයන් නිසාද මෙය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. එලෙසම ජාන විකෘතිතාවක් නිසා ඇතිවන ඉරුවාරදය Familial Hemiplegic Migraine ලෙස හැඳින්විය හැකිය.
මෙම ඉරුවාරද තත්ත්වය ඇතිවන ආකාර අනුව මූලික වශයෙන් වර්ග හතරකට බෙදා වෙන් කළ හැකිය.
Migraine without Aura
මෙය සාමාන්‍ය විග්‍රහයෙන් යුත් තත්ත්වයක් වන අතර බහුල වශයෙන්ම පවතින මිග්‍රේන් තත්ත්වය ලෙසද හඳුනාගන්න පුළුවන්. මේ සඳහා ස්නායු පද්ධතියේ වැඩි බලපෑමක් දක්නට නොලැබෙන අතර මෙය සාමාන්‍ය හිසරදයකට සමාන ආකාරයේ වේදනාවක් ඇති කරයි.
Migraine with Aura
‘ඕරා’ එකක් ලෙස හඳුන්වන්නේ හිසරදයක් ඇතිවීමට පෙර පෙන්නුම් කරනු ලබන රෝග ලක්ෂණයි. එම රෝග ලක්ෂණ නම් ආලෝක ධාරාවන් පෙනීම, විවිධ ශබ්ද ඇසීම, හිරිවැටීම්, කිති කැවීම් වැනි සංවේදන දැනීම, හිසරදය ඇතිවීමට පෙර සහ පසු කතා කිරීමේ අපහසුතා ඇති වීම හඳුනාගන්න පුළුවන්. මෙය විනාඩි
5ත් 10ත් අතර කාලයක සිට පැයක් දක්වා පමණ කාලයක පැවතිය හැකිය.
Chronic Migraine
මෙය දීර්ඝ කාලයක් තුළ පවතින මිග්‍රේන් තත්ත්වයක් වන අතර උපරිම වශයෙන් පැය 72ක කාලයක් පමණ පවතින බවට හඳුනාගෙන ඇත. ඊට අමතරව මාසයක් තුළ දවස් 8කට වඩා මෙය පවතින බවද හඳුනාගෙන ඇත.
Familial Hemiplegic Migraine
එනම් ජානමය වශයෙන් ඇතිවන ඉරුවාරදයයි.
ප්‍රධානතම රෝග ලක්ෂණ
මූලිකවම හිසරදය ඇතිවන අතර එය විවිධ ආකාරයට ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් අයට සාමාන්‍ය හිසේ කැක්කුමක් ද ඇතැම් විට තදබල වේදනාවක් ද යමකින් අනින ආකාරයේ වේදනාවක් දැනීම වැනි විවිධ ආකාරයේ හිසරද තත්ත්වයන් මෙහිදී හඳුනාගන්නට පුළුවන්. මීට අමතරව වමනය ගතිය, ආහාර අරුචිය, දෑස් නිලංකාර වීම, ශබ්දවලට සවන් දීමේ අපහසුතාව, නුරුස්සනා ගතිය, ගඳ සුවඳ දැනීමේ අපහසුතාව වර්ධනය වීම වැනි තත්ත්ව හඳුනාගත හැකිය.
තවදුරටත් ගත්කල හිසරදය ඇතිවීමට පෙර සහ පසු රෝග ලක්ෂණ ද පවතී. හිසරදය ඇතිවීමට පෙර නුරුස්සන ස්වභාවය, වෙහෙසකාරී ස්වභාවයක් ඇතිවීම, ආහාර රුචි අරුචිකම් ඇතිවීම, ශරීරයේ තද ස්වභාවයක් දැනීම වැනි දේ හඳුනාගන්න පුළුවන්. හිසරදයෙන් පසුව වෙහෙසකාරී ස්වභාවය, යමකට අවධානය යොමු කිරීමේ අපහසුතාව, නුරුස්සන ස්වභාවය (තරහ යෑම) වැනි දේ හඳුනාගන්න පුළුවන්.
Migraine ඇති කරන හෝ වැඩිකරන සාධක
හෝමෝනවල වෙනස්වීම්, විශේෂයෙන්ම ඔසප් වන දිනවලදී මේ තත්ත්වය ඇතිවීම බහුලව දැකගත හැකිය. මීට අමතරව දිගු වේලාවක් නිරාහාරව සිටීම, ප්‍රමාණවත් නින්දක් නොලැබීම, මානසික ආතතිය, අධික ශබ්දයට හා අධික ආලෝකයට නිතර නිරාවරණය වීම වැනි ක්‍රියාකාරකම් තුළින් මිග්‍රේන් ඇතිවේ.
ආහාර වර්ග ලෙස කැෆේන් සහිත චොක්ලට්, කෝපි, චීස් වර්ග, සැකසූ මස්, සොසේජස්, ඇල්කොහොල්, MSG සහිත ආහාර හා ක්ෂණික ආහාර නිතර පරිභෝජනය නිසාද මෙය වර්ධනය විය හැකියි.
Migraine තත්ත්වයෙන් මිදෙන්නේ කෙසේද?
මෙය නිට්ටාවටම සුව කළ නොහැකි වුවත් නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම, ව්‍යායාම කිරීම, ආතතිය කළමනාකරණය කරගැනීම, දිනකට පැය 8ක පමණ නින්දක් ලැබීම සහ හොඳින් ජලය පානය කිරීම වැනි දේ තුළින් රෝගය පාලනය කරගත හැකිය. තරුණ අවධියේ සිට මැදි වයස දක්වා පැවතුණද, මැදි වයස ඉක්මවූ පසු මෙම තත්ත්වය කෙමෙන් සුව වීම දක්නට ලැබේ. නමුත් තදබල හිසේ කැක්කුමක් සහ ඉහත රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම ඉතා සුදුසු බව සඳහන් කළ යුතුය.
TEXT – ෂෙරොනි සුභසිංහ
