මේ ළඟදි දවසක අපේ රෝහලට රැගෙන ආපු වයස අවුරුදු 35ක් පමණ වන කාන්තාවක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු පැය කිහිපයක් යන්නට මත්තෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. ඇයගේ සැමියාත් සහෝදරියත් සිහිසුන්ව මෙන් ඇයගේ වියෝව නිසා කම්පාවට පත් වී සිටියා. එය අතිශයින්ම සංවේදී මොහොතක්. 
රෝගියා රෝහල්ගත කරලා පැය 24ක් ගතවෙලා නැති නිසාත්, මරණයට නිශ්චිත හේතුවක් තවම තහවුරු නැති නිසාත් මරණ පරීක්ෂණයක් තියලා, පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරන්න වෙනවා කියලා වෛද්‍යවරිය ඔවුන් වෙත පවසා සිටියත් එයට ඔවුන්ගේ දැඩි අකැමැත්ත ප්‍රකාශ කර සිටියා.
“අනේ මගේ නංගිව කපන්න දෙන්න එපා… එයාට රිදෙයි. මට මගේ නංගිගෙ මූණ බලන්නවත් බැරිවෙයි…” මේ ඇයගේ සහෝදරියයි.
ඒ වෙලාවේ අපිට හිතුණේ ඔවුන් මේ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන නිවැරදි අවබෝධයකින් තොරව සිටින බවයි.
ඇයගේ මේ වදන් පිළිබඳව විමසිලිමත් වූ වෛද්‍යවරිය ඇයට මේ පශ්චාත් මරණ පරීක්ෂණයක ඇති වැදගත්කම ගැන ඉතා හොඳින් පැහැදිලි කර දුන්නා. ඒ පිළිබඳ මනාව වටහාගත් ඇය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තම කැමැත්ත පළකර සිටියා. ඉතින් එදා ඒ ඇය දැනගත්ත දේවල් ඔයාලත් දැනගෙන හිටියොත් හොඳයි කියලා මට හිතුණා.
මේක ඇත්තටම හරිම සංවේදී මාතෘකාවක්. මොකද අපි කැමති නෑ අපි ආදරය කරන කෙනෙක්ට මෙහෙම දේකට මුහුණ දෙන්න වෙනවට. ඒක හරිම දරුණු මානසික පීඩනයක්. ඒත් ඒ වගේ අවස්ථාවකට අපිට කවදා හරි මුහුණ දෙන්න වුණොත්, අපිට ඒ පීඩනය ටිකක් හරි අඩු කරගන්න මේ දේවල් හේතුවක් වෙයි කියලා හිතෙන නිසයි මම අද මේ දේවල් ලියන්න තීරණය කළේ. අපි බලමු මේ මරණ පරීක්ෂණයකින් සහ පශ්චාත් මරණ පරීක්ෂණයකින් මොනවද අපිට දැනගන්න පුළුවන් දේවල් සහ මේ මරණ පරීක්ෂණයක තියෙන වැදගත්කම ගැන පුංචි දේවල් ටිකක්.
මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය එකක්ද? නැත්නම් දෙකක්ද?
මරණ පරීක්ෂණය (Inquest of Death)
මේක සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රියාවලියක්. මෙහිදී හදිසි මරණ පරීක්ෂකවරයකු හෝ මහේස්ත්‍රාත්වරයකු විසින් මියගියේ කවුද, කවදාද, කොහේදීද සහ කෙසේද යන්න නීතිමය වශයෙන් තහවුරු කර ගැනීම සිදු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය (Post-mortem / Autopsy)
මේක වෛද්‍යමය ක්‍රියාවලියක්. මරණ පරීක්ෂණයේ නීතිමය නියෝගය මත, අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් මෘත දේහය පරීක්ෂා කර මරණයට හේතු වූ නිශ්චිත වෛද්‍යමය හේතුව (Cause of Death) තහවුරු කිරීම මෙහිදී සිදු වේ.
පශ්චාත් මරණ පරීක්ෂණයක් අනිවාර්ය වන අවස්ථා
● ඔයාලා දැනගෙන ඉන්නම ඕනෑ දෙයක් තමයි අපි සෑම මරණයකටම පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්නේ නැහැ. ඒක කරන්නේ අත්‍යවශ්‍ය නම් විතරයි. මේ තියෙන්නේ අපි ප්‍රධාන වශයෙන් මරණ පරීක්ෂණයක් සිදු කරන අවස්ථාවන්.
● හදිසි හෝ අනපේක්ෂිත මරණ (රිය අනතුරු, දියේ ගිලීම්, විෂ වීම් වැනි හදිසි අනතුරු.
● සියදිවි නසාගැනීම් සහ මිනීමැරුම් යැයි සැක කරන අවස්ථා
● රෝහලකට ඇතුළත් කර පැය 24ක් ගතවීමට පෙර සිදුවන මරණ
● නිශ්චිත රෝග විනිශ්චයක් නොමැතිව සිටියදී සිදුවන මරණ.
● ශල්‍යකර්මයක් හෝ නිර්වින්දන ක්‍රියාවලියක් අතරතුර සිදුවන මරණ
අපේ සමාජයේ තියෙන වැරදි අදහස්
බලන්න මේවා ගැන ඔයා හිතාගෙන හිටපු දේවල් හරිද කියලා.
A. පරීක්ෂණයෙන් පසු මෘත දේහය දැඩි ලෙස විකෘති වන බැවින් අවමංගල්‍යයේදී දේහය විවෘත කර තැබිය නොහැක.
නැහැ, එහෙම වෙන්නේ නෑ. අධිකරණ වෛද්‍යවරුන් මෘත දේහයට ඉහළම ගෞරවයක් ලබා දෙමින් තමයි මෙය සිදු කරන්නේ. සිදුකරන කැපුම් සාමාන්‍ය ඇඳුමකින් ආවරණය වන පරිදි සකසන නිසා, මුහුණට හෝ බාහිර පෙනුමට කිසිදු හානියක් නොවන සේ දේහය ඥාතීන්ට ලබා දීම සිදු කරනවා.
B. පරීක්ෂණයේදී වටිනා අවයව (වකුගඩු, ඇස්) හොරෙන් ඉවත් කර ගනී.
මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. පරීක්ෂණ සඳහා කුඩා පටක කොටස් සහ රුධිරය/මූත්‍රා වැනි සාම්පල පමණක් රසායනාගාර පරීක්ෂණ සඳහා තබා ගැනීම සිදු කරයි. සමහර සංකීර්ණ අවස්ථාවලදී (මොළයේ රෝගයක් හෝ හදවත් රෝගයක්) අදාළ අවයවය වැඩිදුර පරීක්ෂණ සඳහා තබා ගන්නේ නම්, ඒ බව පවුලේ අයට නිල වශයෙන් දැනුම් දී සිදු කරනු ලබනවා.
C. ඥාතීන්ට අවශ්‍ය නම් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය.
නැත. නීතිය මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නියම කළහොත්, එය ප්‍රතික්ෂේප කිරීමට ඥාතීන්ට නීතිමය හැකියාවක් නොමැත. එය රටේ නීතියයි.
මේ වගේ අවස්ථාවකදී ඔබෙන් ලැබිය යුතු සහයෝගය
● පීඩාකාරී අවස්ථාවක වුවද පවුලේ අයගේ සහයෝගය වෛද්‍යවරයාට ඉතාමත් වැදගත්. ඒ නිසා පහත කරුණු ගැනත් අවධානය යොමු කරන්න.
● මියගිය අයගේ සියලුම පැරණි වෛද්‍ය වාර්තා (බෙහෙත් තුණ්ඩු, ක්ලිනික් පොත්, රෝහල් කාඩ්පත්) මරණ පරීක්ෂකවරයාට සහ JMO වෙත ලබා දීම.
● මරණයට පෙර රෝගියා පැවසූ දේවල් සහ හැසිරුණු ආකාරය පිළිබඳව නිවැරදි ඉතිහාසය සැඟවීමකින් තොරව වෛද්‍යවරයාට පැවසීම.
● දේහය නිවැරදිව හඳුනාගැනීම සඳහා සමීපතම ඥාතීන් ඉදිරිපත් වීම.
මෙම ක්‍රියාවලියේ සමාජීය හා පෞද්ගලික වැදගත්කම
● ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට, සේවක වන්දි ලබා ගැනීමට, සහ අර්ථසාධක (EPF/ETF) මුදා හැරීමට නිවැරදි මරණ සහතිකයක් අත්‍යවශ්‍ය වෙනවා.
● ජානමය හෝ පාරම්පරික රෝගයක් නිසා මරණය සිදුවී ඇත්නම්, එය දැනගැනීම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වේ.
● සැකකටයුතු මරණයකදී, වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට අවශ්‍ය ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වන්නේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවයි.
