අද කාලයේ අපගේ දෛනික ජීවන රටාව වේගවත් හා අක්‍රමවත් වීම හේතුවෙන් උදර සෞඛ්‍ය ගැටලු විශේෂයෙන් වැඩි වී ඇත. ඒ අතරින් අම්ලය ඉහළට පැමිණීම (acid reflux) සහ උදර දැවිල්ල (heartburn) බහුලව දැකිය හැකි තත්ත්වයන් වේ. වැඩිපුර තෙල් සහිත ක්ෂණික ආහාර භාවිතය, කෑම වේලාවන් මඟහැරීම, රාත්‍රී කාලයේ බර ආහාර ගැනීම සහ කෑමෙන් පසු වහා නිදාගැනීම වැනි අසමබර ආහාර පුරුදු මෙම ගැටලු තවත් උග්‍ර කරයි. එමෙන්ම මානසික පීඩනය, අලස ජීවන රටාව, ශාරීරික ව්‍යායාම අඩුවීම සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීම ද උදරයේ අම්ල නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වේ.
මෙම තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස උදර දැවිල්ල හඳුනාගත හැකි අතර, එය උරස් ප්‍රදේශයෙන් උගුර දක්වා පැතිරෙන දැවිල්ලක් ලෙස දැනේ. කටට අම්ල රසයක් පැමිණීම, ආහාර නැවත උගුරට පැමිණීම (acid regurgitation), උගුරේ දැවිල්ල, හඬ වෙනස් වීම, නිතර කැස්ස සහ කෑමෙන් පසු බරපතළ අපහසුතාවයක් ද මේ සමඟ සම්බන්ධ වේ. දිගු කාලයක් මෙම තත්ත්වය පවතින විට ආහාර ගිලීමේ අපහසුතාව, බර අඩුවීම සහ නින්දට බාධා වීම වැනි ගැටලු ද ඇති විය හැකියි. මෙවැනි ලක්ෂණ ඉක්මනින් පාලනය කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන ඖෂධයක් ලෙස ගැවිස්කෝන් සිරප් (Gaviscon syrup) හඳුන්වා දිය හැකියි.
ක්‍රියාකරන ආකාරය
මෙය ඇල්ජිනේට් පදනම් වූ විශේෂ අම්ල නාශක ඖෂධයකි. සාමාන්‍ය antacid ඖෂධ අම්ලය නියුට්‍රලයිස් කිරීම මත පමණක් ක්‍රියා කරන අතර, ගැවිස්කෝන් සිරප් එයට අමතරව අම්ලය ආහාර නාළයට නැවත පැමිණීම වැළැක්වීමට ද උපකාරී වේ. මෙම සිරප්හි ප්‍රධාන සංයෝග ලෙස සෝඩියම් ඇල්ජිනේට්, සෝඩියම් බයිකාබනේට් සහ කැල්සියම් කාබනේට් ඇතුළත් වේ. සෝඩියම් ඇල්ජිනේට් මුහුදු ශාකවලින් ලබාගන්නා ස්වාභාවික සංයෝගයක් වන අතර, උදරයේ අම්ලය සමඟ සම්බන්ධ වූ විට ජෙල් වැනි ස්ථරයක් නිර්මාණය කරයි. සෝඩියම් බයිකාබනේට් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවමින් මෙම ජෙල් ස්ථරය පාවෙන ආකාරයට පවත්වාගෙන යයි. කැල්සියම් කාබනේට් අම්ලය නියුට්‍රලයිස් කරමින් දැවිල්ල සහ වේදනාව අඩු කිරීමට උපකාරී වේ.
මෙම ඖෂධයේ විශේෂත්වය වන්නේ එය “පාවෙන ආවරණයක්” නිර්මාණය කිරීමයි. උදරයේ ඉහළ කොටස මත පවතින මෙම ආවරණය අම්ලය ආහාර නාළයට ඉහළට ගමන් කිරීම වැළැක්වීමේ භෞතික බාධකයක් ලෙස ක්‍රියා කරයි. එමඟින් reflux අවම වන අතර, උරස් දැවිල්ල සහ උගුරේ දැවිල්ල වැනි ලක්ෂණ ඉක්මනින් අඩුවේ. එබැවින් මෙය රසායනිකව පමණක් නොව භෞතිකව ද ආරක්ෂාව සපයන ඖෂධයක් ලෙස සැලකේ.
මාත්‍රාව
සාමාන්‍යයෙන් වැඩිහිටියන් සඳහා එක් වරක් මිලිලීටර් 10–20 අතර මාත්‍රාවක් භාවිත කිරීම නිර්දේශ කරයි. මෙය කෑමෙන් පසු සහ නිදාගන්නා වේලාවට භාවිත කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. වයස අවුරුදු 6–12 අතර ළමුන් සඳහා සාමාන්‍යයෙන් මිලිලීටර් 5–10 අතර මාත්‍රාවක් භාවිත කළ හැකියි. ළමුන්ට මාත්‍රාව ලබාදීමේදී ඔවුන්ගේ බර, රෝග ලක්ෂණ සහ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගත යුතු අතර, වෛද්‍යවරයකුගේ උපදෙස් අනිවාර්ය වේ. අවුරුදු 6ට අඩු ළමුන්ට භාවිත කිරීමේදී විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වන බැවින්, එවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස් ලබාගෙන පමණක් භාවිත කළ යුතුය. භාවිතා කිරීමට පෙර බෝතලය හොඳින් සෙලවීම සහ නිවැරදි මිනුම් උපකරණයක් භාවිත කිරීම ද වැදගත් වේ.
අතුරු ආබාධ
මෙය සාමාන්‍යයෙන් ආරක්ෂිත ඖෂධයක් වුවද, සමහර පුද්ගලයන්ට බඩ පිපීම, මලබද්ධය හෝ බඩ බුරුල් වීම වැනි සුළු අතුරු ආබාධ ඇතිවිය හැකිය. ඉතා දුර්ලභව ඇලර්ජි ප්‍රතික්‍රියා ද පෙනී යා හැකි බැවින් එවැනි අවස්ථාවල ඖෂධ භාවිතය නවතා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. වකුගඩු රෝග, රුධිර පීඩනය වැඩි වීම හෝ හෘද රෝග ඇති පුද්ගලයන්ට මෙම සිරප් භාවිත කිරීමේදී විශේෂ සැලකිලි අවශ්‍ය වේ. ගර්භිණී කාන්තාවන් සහ කිරි දෙන මවුවරුන් සඳහා ද මෙය සාමාන්‍යයෙන් ආරක්ෂිත ලෙස භාවිත කළ හැකි නමුත්, දිගු කාලීන භාවිතය සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය. දියවැඩියා රෝගීන් සඳහා සීනි රහිත වර්ග භාවිත කිරීම වඩාත් හොඳය. කෙසේ වෙතත්, මෙම ඖෂධය රෝගය සම්පූර්ණයෙන් සුව කරන එකක් නොව, ලක්ෂණ පාලනය කරන එකක් බව අවබෝධ කරගැනීම වැදගත් වේ. එබැවින් දිගු කාලයක් ලක්ෂණ පවතින විට වෛද්‍ය පරීක්ෂාවක් ලබාගෙන හේතුව හඳුනාගත යුතුය.
ජීවන රටාව
තෙල් සහිත ආහාර අඩු කිරීම, කෑමෙන් පසු වහා නිදා නොගැනීම, ශරීර බර පාලනය කිරීම සහ ව්‍යායාම කිරීම ද මෙම තත්ත්වය පාලනය කිරීමට අත්‍යවශ්‍ය වේ.
වැරදි අවබෝධ
ගැවිස්කෝන් සිරප් සම්බන්ධයෙන් සමාජයේ පවතින වැරදි අවබෝධ බොහෝ විට එහි භාවිතය වැරදි ලෙස ගන්නා තත්ත්වයන්ට හේතු වේ. ඒවා නිවැරදිව අවබෝධ කරගැනීම ඖෂධයේ සාර්ථක භාවිතයට ඉතා වැදගත් වේ. ප්‍රධාන වැරදි අදහසක් වන්නේ මෙම ඖෂධය උදර අම්ලය සම්බන්ධ රෝග සම්පූර්ණයෙන් සුව කරයි යන්නයි. නමුත් සත්‍ය වශයෙන්ම ගැවිස්කෝන් සිරප් රෝගයේ මූල හේතුව සුව කරන ඖෂධයක් නොව, රෝග ලක්ෂණ පාලනය කරන (symptomatic relief) ඖෂධයකි. එය උදර දැවිල්ල, reflux සහ අජීර්ණය වැනි ලක්ෂණ ඉක්මනින් අඩු කරයි.
තවත් වැරදි අවබෝධයක් වන්නේ ලක්ෂණ නැති වූ විට ඖෂධය අවශ්‍ය නැතැයි හිතාගෙන වෛද්‍ය උපදෙස් නොමැතිව දිගුකාලීනව භාවිත කිරීමයි. දිගු කාලයක් self-medication ලෙස භාවිත කිරීමෙන් underlying රෝගයක් හඳුනා නොගෙන පවතින්නට ඉඩ ඇත. එම නිසා රෝග ලක්ෂණ දිගටම පවතින විට වෛද්‍ය පරීක්ෂාවක් ලබාගැනීම ඉතා වැදගත් වේ. අධික මාත්‍රාවෙන් භාවිත කිරීම ද අනාරක්ෂිත විය හැකියි. “වැඩියෙන් ගත්තොත් ඉක්මනින් සුව වෙයි” යන අදහස වැරදියි. අධික භාවිතය සෝඩියම් සහ කැල්සියම් වැඩි කරමින් ශරීරයේ ලවණ සමතුලිතතාවයට බලපෑම් කළ හැකියි. එමඟින් රුධිර පීඩනය හෝ වෙනත් සංකූලතා ඇතිවිය හැකිය. තවත් වැරදි අදහසක් වන්නේ මෙය අනෙකුත් ජීවන රටා වෙනස්කම් නොමැතිවම සම්පූර්ණ විසඳුමක් ලෙස භාවිත කළ හැකි බවයි. නමුත් සත්‍යයෙන්ම ආහාර පුරුදු, නින්ද, ශරීර බර සහ පුරුදු (දුම්පානය, මත්පැන්) වැනි කරුණු පාලනය නොකළහොත් ලක්ෂණ නැවත ඇතිවිය හැකිය.
අවසාන වශයෙන්, ගැවිස්කෝන් සිරප් උදර අම්ලය හා reflux සම්බන්ධ ලක්ෂණ ඉක්මනින් සහ සාර්ථකව පාලනය කිරීමට උපකාරී වන විශ්වාසදායක ඖෂධයක් ලෙස සැලකිය හැකිය. නමුත් එය නිවැරදි අවබෝධයක් සහ වෛද්‍ය උපදෙස් යටතේ භාවිත කිරීමෙන් පමණක් එහි උපරිම ප්‍රයෝජනය ලබාගත හැකි බව මතක තබාගැනීම වැදගත්ය.
TEXT – විදුමිණි දිසාකරුණා
