Monday, April 20, 2026
Epaper
Home වෛද්‍යසැඳෑ සමයේ සුවය සොරාගන්නා මලබද්ධය

සැඳෑ සමයේ සුවය සොරාගන්නා මලබද්ධය

by Shanaka Lakehouse

අපේ ජීවිතයේ සැඳෑ සමය යනු වගකීම්වලින් නිදහස් වී, ගත සිත දෙකම සැහැල්ලුවෙන් තබාගත යුතු කාල පරිච්ඡේදයකි. ජීවිතයේ සැඳෑ අඳුර දෙස සුබවාදීව බැළිමට නම් කායික සුවතාව මෙන්ම මානසික සුවතාව ද එකසේ වැදගත් වේ. නමුත් වයසට යෑමත් සමඟ අපේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන ඇතැම් ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා එම සැහැල්ලුව ගිලිහී යන අවස්ථා බොහෝය. විශේෂයෙන්ම බොහෝ වැඩිහිටියන් ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලිවන, එහෙත් දවස පුරා ගතට මෙන්ම සිතටත් මහත් පීඩාවක් ගෙන දෙන පොදු ගැටලුවක් වන්නේ මලබද්ධයයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය හුදෙක් අපහසුතාවක් පමණක් නොව, එය ශරීරයේ දෝෂ අසමතුලිතතාවක් පෙන්නුම් කරන ප්‍රබල සංඥාවකි.

ආයුර්වේදයට අනුව මලබද්ධය යනු කුමක්ද? එය හුදෙක් බඩවැල් ආශ්‍රිත රෝගයක්ද?

ආයුර්වේද දර්ශනයට අනුව ඕනෑම රෝගයක් පිළිබඳව සාකච්ඡා කරන්නේ වාත, පිත, කප යන දෝෂ තුන පදනම් කරගෙනය. ශරීරයේ චලනයන් සහ බැහැර කිරීම් ක්‍රියාවලීන් පාලනය කරන්නේ වාත දෝෂය මඟිනි. වාත දෝෂය ප්‍රභේද පහකින් සමන්විත වන අතර, ඉන් මල සහ මූත්‍ර බැහැර කිරීමේ කාර්යය භාරව පවතින්නේ ‘අපාන වාතය’ ටය. මලබද්ධය ඇතිවීම සඳහා ඝෘජුවම බලපාන්නේ මෙම අපාන වාතය දූෂිත වීම හෝ කෝප වීමයි.

පක්වාශය (ගුද මාර්ගය සහ මහාන්ත්‍රය ආශ්‍රිත ප්‍රදේශය) අධික ලෙස රූක්ෂතාවට (වියළි බවට) පත් වූ විට මල පිටවීම බාධාකාරී වේ. වර්තමාන සමාජයේ මෙය වයස් භේදයකින් තොරව දක්නට ලැබුණද, වැඩිහිටි වියේදී එහි බලපෑම වැඩිය. ආයුර්වේද වෛද්‍යවරයකුගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට මලබද්ධය යනු ස්වාධීන රෝගයකට වඩා, වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙස හෝ අනාගතයේ ඇති විය හැකි අර්ශස්, භගන්දරා සහ ගුදගත පිළිකා වැනි බරපතළ රෝගවල මූලික අවස්ථාවක් ලෙස හඳුනා ගැනීම වඩාත් නිවැරදි වේ. එබැවින් මෙය හුදෙක් ආහාර මාර්ගයට පමණක් සීමා වූ තත්ත්වයක් ලෙස නොසලකා හැරිය යුතුය.

මලබද්ධය ඇති වීමට බලපාන ප්‍රධාන හේතු කවරේද?

මලබද්ධය ඇතිවීම කෙරෙහි බලපාන හේතු රාශියක් පවතී. ඉන් ප්‍රධානතම හේතුවක් වන්නේ ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීමයි. නීරෝගි පුද්ගලයකු දිනකට ජලය ලීටර් හතරත් පහත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු වුවද, බොහෝ දෙනා ඒ පිළිබඳ සැලකිලිමත් නොවේ. ශරීරයට ජලය අඩු වූ විට මලපහ වියළීමට ලක්ව දෘඪ (තද) වේ. එවිට ඒවා ශරීරයෙන් බැහැර කිරීමට දැඩි අපහසුවක් ඇති වේ.

දෙවනුව, වර්තමාන ආහාර රටාව මෙයට ඝෘජුවම වගකිව යුතුය. තන්තු රහිත ක්ෂණික ආහාර, අධික පිෂ්ටය සහ මේදය සහිත ආහාර නිසා බඩවැල්වල චලනය අඩාළ වේ. ආයුර්වේදයේ දැක්වෙන පරිදි රූක්ෂ (වියළි), ශීත සහ අතිගුරු (ජීර්ණය වීමට අපහසු) ගුණ සහිත ආහාර මලබද්ධයට ප්‍රධාන හේතුකාරක වේ. මීට අමතරව, ‘මලවේග ධාරණය’ හෙවත් මලපහ කිරීමේ අවශ්‍යතාව මතු වූ විට එය මැඬපවත්වාගෙන සිටීම නිසා මලපහ තවදුරටත් වියළී බැහැර කිරීම දුෂ්කර වේ. එසේම යකඩ සහ කැල්සියම් වැනි අතිරේක ඖෂධ භාවිතය ද, ගර්භිණී සමයේදී සිදුවන කායික වෙනස්කම් ද මෙයට බලපායි.

කාන්තාවන් වයසට යෑමේදී මෙයට වැඩිපුර ගොදුරු වන්නේ ඇයි?

වයස්ගත වීමේදී ස්වාභාවිකවම ශරීරයේ වාත දෝෂය ප්‍රමුඛ වේ. මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු වුවද, කාන්තාවන්ට ඇති අවදානම සාපේක්ෂව වැඩිය. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ආර්තවහරණය (Menopause) යි. ආර්තවහරණයට පෙර කාන්තාවකගේ ශරීරයේ හෝමෝන මට්ටම සමබරව පවතින නමුත්, ඉන් පසුව සිදුවන හෝමෝන වෙනස්කම් ආහාර ජීර්ණ පද්ධතියේ වේගය අඩාළ කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මලබද්ධය ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී. එමෙන්ම වැඩිහිටි වියේදී කායික ක්‍රියාකාරකම් අඩුවීම ද බඩවැල්වල ක්‍රියාකාරිත්වය දුර්වල වීමට හේතුවකි.

මලබද්ධය තවත් රෝග රැසක ආරම්භයක් ලෙස සැලකිය හැක්කේ කෙසේද?

මලබද්ධය යනු ශරීරය ලබාදෙන අනතුරු ඇඟවීමකි. එය දිගින් දිගටම පැවතුණහොත් ගුද මාර්ගයේ ශ්ලේෂ්මල පටලය තුවාල වී අර්ශස් (Hemorrhoids) ඇතිවිය හැකිය. මලපහ දෘඪ වීම නිසා ගුද මාර්ගය අවට පටක පැළී යාම හෙවත් ‘පරිකර්තිකා’ (Anal Fissures) තත්ත්වය ඇති වේ. මෙය අතිශය වේදනාකාරී රෝගයකි.

එපමණක් නොව, මලබද්ධය නිසි ලෙස පාලනය නොකළහොත් ගුද මාර්ගය ආස්තරණය කර ඇති බිත්ති දුර්වල වී පහළට එල්ලා වැටෙන ‘ගුද භ්‍රම්ස’ තත්ත්වය ද ඇතිවිය හැකිය. භගන්දරා (Fistula) සහ ගුදගත පිළිකා වැනි මාරාන්තික රෝගවල මූලික ලක්ෂණයක් ලෙස මලබද්ධය මතු විය හැකි බැවින්, එය කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු නැත.

මලබද්ධය සඳහා පවතින ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේද

ආයුර්වේදයේදී ප්‍රතිකාර සැලසුම් කරන්නේ රෝග ලක්ෂණයට වඩා රෝග හේතුවටය. මුලින්ම රෝගියාගේ ආහාර රටාව සහ දින චර්යාව පරීක්ෂා කරනු ලැබේ. ඖෂධවලට යොමු වීමට පෙර, කොහිල, අඟුණකොළ වැනි කෙඳි සහිත ආහාර වර්ග භාවිතයට උපදෙස් දෙනු ලැබේ. තල මිශ්‍ර කිරිබත් වැනි ආහාරමය ඖෂධ ද මෙහිදී ප්‍රත්‍යක්ෂ වේ.

රෝගය මඳක් උත්සන්න නම්, වාත ශමන ඖෂධ යොදා ගනු ලැබේ. දීපන (ගින්න ප්‍රකෘති කරන), පාචන (ආහාර දිරවන) සහ අනුලෝමන (මල පහළට තල්ලු කරන) ගුණ සහිත ඖෂධ මෙහිදී භාවිත වේ. ආයුර්වේදයේ විශිෂ්ටතම ඖෂධයක් වන ‘ත්‍රිඵලා’ (අරළු, බුළු, නෙල්ලි) රෝගියාගේ වයස සහ තත්ත්වය අනුව නියමිත අනුපාතයට ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වේ. මීට අමතරව, වාත දෝෂය සමනය කිරීමට ‘වස්ති ප්‍රතිකාරය’ (Enema) වැනි පංචකර්ම ප්‍රතිකාර ද රෝගී තත්ත්වය අනුව සිදු කරනු ලැබේ.

තරුණ වියේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු

වැඩිහිටි වියේදී මලබද්ධයෙන් තොර සුවදායක දිවියක් ගත කිරීමට නම් තරුණ වියේ සිටම යහපත් සෞඛ්‍ය පුරුදුවලට හුරුවීම අත්‍යවශ්‍යය. ආයුර්වේදයේ ‘දින චර්යාව’ තුළ බ්‍රහ්ම මුහුර්තයෙන් (අලුයම) අවදි වී මඳ උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීම හෙවත් ‘ඌෂා පානය’ අතිශය වැදගත් කොට සලකයි. මෙය බඩවැල් පිරිසිදු කිරීමටත් මලපහ කිරීම පහසු කිරීමටත් උපකාරී වේ.

එසේම මලපහ කිරීම සඳහා දිනපතා නිශ්චිත වේලාවක් වෙන් කර ගැනීමත්, මලපහ කිරීමේදී දිගු වේලාවක් ගත නොකිරීමත් වැදගත්ය. කුඩා කාලයේ සිටම තන්තු බහුල සමබල ආහාර වේලකට හුරුවීම මඟින් අනාගතයේදී ඇතිවන අහිතකර බලපෑම් අවම කරගත හැකිය. මලවේගය කිසිවිටෙකත් ධාරණය නොකිරීමට වගබලා ගත යුතුය.

මලබද්ධයෙන් පෙළෙන අයකුට නිවෙසේදී කළ හැකි දේ

තාවකාලිකව ඇතිවන මලබද්ධයකදී උදෑසන කාලයේදී උණුසුම් ජලය පානය කිරීම සහ යටි බඩ ප්‍රදේශයේ එඬරු තෙල් වැනි තෙල් වර්ගයක් ආලේප කර පිරිමැදීම මඟින් සහනයක් ලබාගත හැකිය. ආහාර සඳහා කංකුන්, කතුරුමුරුංගා, වැල් කොහිල වැනි පලා වර්ග සහ බණ්ඩක්කා, පතෝල, වැටකොළු වැනි එළවළු වැඩිපුර එක්කර ගැනීම සුදුසුය. සියඹලා යෙදූ ආහාර හෝ සියඹලා පානය ද මෙයට ගුණදායකය.

නෙළුම් අල, කෙසෙල් මුව වැනි තන්තුමය ආහාර මෙන්ම පලතුරු වශයෙන් පැපොල් සහ කෙසෙල් දිනපතා භාවිත කිරීම ඉතා යෝග්‍ය වේ. තල කබලේ බැද පිටිකර ආහාරයට එක් කර ගැනීම ද වාතය සමනය කිරීමට උපකාරී වේ. සියල්ලටම වඩා වැදගත් වන්නේ රෝගය ඇති වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා, රෝගය ඇති වීමට බලපාන හේතු වළක්වා ගනිමින් යහපත් දින චර්යාවක් පවත්වා ගැනීමයි.

නිවෙස තුළදීම සකස් කරගත හැකි මෙම ආහාර රටා මඟින් සැඳෑ සමය වඩාත් සැහැල්ලුවෙන් සහ නීරෝගීව ගත කිරීමට ඕනෑම අයකුට අවස්ථාව ලැබේ. මලබද්ධය යනු තවදුරටත් රහසක්ව තබාගත යුතු දෙයක් නොව, නිසි අවබෝධයෙන් සහ වෛද්‍ය උපදෙස් මත ජයගත යුතු තත්ත්වයකි.


උපදෙස්
ආයුර්වේද වෛද්‍ය
කල්කී පූර්ණිමා

 

TEXT – තිලක්ෂි බස්නායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?