අනාගත ලෝකයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ද අද උපදින දරුවන් මතය. ඔවුන් නීරෝගි සෞඛ්‍ය සම්පන්න දරුවන් ලෙස ලෝකය දකින්නේ නම් අනාගත ලෝකයම නීරෝගි වනු ඇත. ඔවුන්ට එවැනි ලෝකයක් උරුම කර දීමට නම් දරුවා මෙලොව එළිය දුටු දා සිටම අපි ඔවුන්ව නීරෝගිව ආරක්ෂා කර ගත යුතුය. ඒ සඳහා ඔවුන්ට ලබා දිය යුතු දේශීය වෛද්‍ය විද්‍යාවේ මිල කළ නොහැකි ඖෂධයක් පිළිබඳව ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආයුර්වේද වෛද්‍ය එන්. එස්. අබේගු ණසේකර මහත්මිය සමඟ සිදු කරන ලද සංකල්පයකි.

පුංචි පැටියට රත කල්කය දෙන්න ඕනද? අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ මොකද කියන්නේ?
මවුපියන්ගේ ලෝකයම තමයි දරුවෝ. පුංචි පැටියෙක් පවුලකට එකතු වෙනවා කියන්නේ අසීමිත සතුටක් වගේම විශාල වගකීමක් ද සමඟ එන අවස්ථාවක්. මේ පුංචි අමුත්තාගේ සෞඛ්‍යය, වර්ධනය සහ ආරක්ෂාව ගැන අම්මලා තාත්තලා නිතරම සැලකිල්ලෙන්, අවධානයෙන් සිටිනවා. විශේෂයෙන්ම උපතින් පසු මුල් මාස කිහිපය තුළ දරුවාගේ ශරීරය ඉතා සංවේදී නිසාම, අපේ පැරණි සිංහල වෙදකම මේ කාලය හඳුන්වන්නේ දරුවාගේ අනාගත සෞඛ්‍යය තීරණය කරන අතිශය වැදගත් අවධියක් විදිහට.
ඒ හේතුව නිසාම, අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් විසින් දරුවන්ගේ සෞඛ්‍යය රැක ගැනීමට භාවිත කළ විශේෂ පූර්ව සත්කාර ක්‍රමවේද අතර “රත කල්කය” ද ඉතා ප්‍රසිද්ධ එකක්. අදටත් නිවෙස්වල අම්මලා අතර මේ ගැන විශ්වාසයක් පවතින අතර, සමහරවිට වෛද්‍ය උපදෙස් සමඟ මෙය භාවිත කරනවා.
මොකක්ද මේ රත කල්කය කියන්නේ?
රත කල්කය කියන්නේ දේශීය ඖෂධීය ද්‍රව්‍ය කිහිපයක් එකට එක්කර සකස් කරන ලද කල්ක වර්ගයක්. සාමාන්‍යයෙන් සුදු හඳුන්, රත් හඳුන්, කොල්ලු, වදකහ, වැල්මී, සහිඳ ලුණු වැනි වටිනා ඖෂධ ද්‍රව්‍ය මෙයට අඩංගු වෙනවා. මේ සියල්ල දෙහි ඇඹුලෙන් හෝ වෙනත් සුදුසු ද්‍රවයකින් අඹරා සූක්ෂ්මව සකස් කරනු ලබනවා.
මේ සඳහා සුදු හඳුන් සහ රත් හඳුන් යන දෙකම ප්‍රධාන ලෙස භාවිත වන නිසාම, සමහරු මෙය “දෙසඳුන් කල්කය” කියලත් හඳුන්වනවා. මේ ඖෂධයේ මූලික අරමුණ වෙන්නේ දරුවාගේ ශරීරය තුළ තියෙන අසමතුලිතතා සමනයට පත් කිරීම, රුධිරය පිරිසිදු කිරීම සහ ජීර්ණ ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක කිරීම.
“රතගාය” කියන්නේ මොකක්ද?
අපේ සමාජයේ අම්මලා නිතරම භාවිත කරන වචනයක් තමයි “රතගාය”. මේක ආයුර්වේදීය දෘෂ්ටිකෝණයෙන් බලද්දී, ශරීරයේ “පිත්ත” දෝෂය වැඩිවීම නිසා ඇතිවන තත්ත්වයක් විදිහට විස්තර කරන්න පුළුවන්. ගර්ඟිණී කාලයේදී හෝ කිරි දෙන කාලයේදී මව අධික උෂ්ණ, සැර, ඇඹුල් ආහාර භාවිත කිරීම, මානසික ආතතිය, නිදාගැනීමේ අඩුව වැනි හේතු මේකට බලපාන්න පුළුවන්.
රතගායේ පොදු ලක්ෂණ කිහිපයක් මෙන්න:
● සම මත රතු පැල්ලම් හෝ කුඩා බිබිලි ඇතිවීම
● ඉකිළි, කිහිලි, බෙල්ල වැනි නැමෙන ස්ථානවල රතු වීම හෝ ඉදිමුම
● දරුවා නිතර අඬනවා, නොසන්සුන්ව හැසිරීම
● බඩ පිපුම, මලබද්ධය හෝ බඩ එළිය යාමේ වෙනස්කම්
● දිවේ මැලියම් බැඳීම සහ කිරි බොන්න කැමති නොවීම
● මෙවැනි ලක්ෂණ පෙනුණට පස්සේ අම්මලා බොහෝවිට රත කල්කය ලබා දෙන්න හුරු වෙලා තියෙනවා.
රත කල්කයෙන් ලැබෙන ප්‍රයෝජන
● රත කල්කය කියන්නේ ලෙඩක් ඇතිවූ පසු පමණක් දෙන ඖෂධයක් නෙවෙයි. රෝග වළක්වා ගැනීමටත් භාවිත කරන පූර්ව සත්කාර ක්‍රමවේදයක් ලෙස ද මේය සැලකෙනවා.
● දරුවාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරලා, ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
● ජීර්ණ ක්‍රියාවලිය සකස් කරලා, බඩ පිපුම සහ වායුගත වීම අඩු කරයි.
● සම පිරිසිදු කරලා, බිබිලි සහ සමේ රෝග වලින් ආරක්ෂා කරයි.
● ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උදවු කරයි.
● දරුවාට සන්සුන් බවක් ලබා දී, නිදාගැනීම පහසු කරයි.
රත කල්කය ලබා දෙන ක්‍රමය
සාමාන්‍යයෙන් දරුවා ඉපදී සති 2ක් පමණ ගියාට පස්සේ රත කල්කය ලබා දීම ආරම්භ කරනවා. කොත්තමල්ලි ඇටයක තරම් ඉතා සුළු ප්‍රමාණයක් මවු කිරෙන් හෝ නිවාගත් උණු වතුරෙන් දිය කරලා දවසකට එක්වරක් හෝ දෙවරක් ලබා දෙනවා.
මේක සති කිහිපයක් හෝ මාස 1–2ක් දක්වා ලබා දීම සම්ප්‍රදායිකව පවතින සිරිතක්. නමුත්, දරුවාගේ වයස, බර සහ සෞඛ්‍ය තත්ත්වය අනුව මෙය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍යයි.
සැලකිලිමත් විය යුතු කරුණු
● නොමේරූ දරුවන්ට (preterm babies)
● බර අඩු දරුවන්ට
● බඩඑළිය යාම හෝ උණ වැනි රෝගී තත්ත්ව තිබෙන දරුවන්ට
මෙවැනි අවස්ථාවලදී රත කල්කය ලබා දීමට පෙර අනිවාර්යයෙන්ම පළපුරුදු වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතු වෙනවා.
විද්‍යාත්මක පැහැදිලි කිරීම
අද වන විට සිදු කරලා තියෙන පර්යේෂණ කිහිපයකින් මෙම ඖෂධීය ද්‍රව්‍යවල බැක්ටීරියා නාශක, ප්‍රතිප්‍රදාහ (anti-inflammatory) සහ ප්‍රතිඔක්සිකාරක (antioxidant) ගුණයන් පවතින බව පෙන්වා දී තිබෙනවා. ඒ නිසා, රත කල්කය පාරම්පරික විශ්වාසයක් පමණක් නොවෙයි, යම් විද්‍යාත්මක පදනමක් ද ඇති ඖෂධයක් ලෙස සලකන්න පුළුවන්.
කෙසේ වෙතත්, අලුත උපන් දරුවන්ට ඖෂධ ලබා දීමේදී අතිශය සැලකිලිමත් විය යුතු නිසාම නිවැරදි මාත්‍රාව සහ නිවැරදි කාලය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.
අපේ දේශීය වෙදකමේ මේ වගේ වටිනා ඖෂධ හා සම්ප්‍රදායන් තියෙනවා. ඒවා නිසි දැනුවත්භාවයකින් සහ විද්‍යාත්මක අවබෝධයක් සමඟ භාවිත කළොත්, අපේ දරුවන්ට නීරෝගි හෙට දවසක් උරුම කර දීමට හැකි වේවි. ඔබත් ඔබේ පුංචි පැටියාට රත කල්කය ලබා දීමට පෙර, විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා.
TEXT – කුසලා සජීවනී
