Monday, April 20, 2026
Epaper
Home වෛද්‍යගැබ්ගන්න ඔබත් සූදානම් ද?

ගැබ්ගන්න ඔබත් සූදානම් ද?

by Shanaka Lakehouse

තරුණියකගේ ජීවිතයේ සුන්දර බලාපොරොත්තු ගොන්න අතුරින් වැදගත්ම බලාපොරොත්තුවක් තමයි මවු පදවිය… අධ්‍යාපනය, විවාහය, නිවාස වගේ අනිත් අරමුණු එක්ක බොහොම අවිවේකීව ගැටෙන යුවතියකට වුණත් ජීවිතයේ විශාලතම සිහිනයක් වන්නේ මවු පදවිය…


මීට කාලෙකට කලින් නම් විවාහ වුණාට පස්සේ ලොකු වෙහෙසක් මහන්සියක් නැතිව ඉබේම ඇතිවන දෙයක් විදියට තමයි ගැබ් ගැනීම සැලකුණේ…

හැබැයි, ලෝකය සංකීර්ණ වෙද්දී… විවාහ වුණ අලුතම දරුවෙකු සඳහා ලැහැස්තියක් බොහෝ යුවතියන්ට නැහැ… ඒ වෙනුවට අවුරුද්දක් දෙකක් කල් අරගෙන, සැහැල්ලුවෙන් කාලය ගත කරලා, ජීවිතය ස්ථාවර කරගෙන ඉන් පසු තමයි මවු පදවියට ලැහැස්ති වෙන්නේ…

ඒ වගේම මවු පදවියට ලෑස්ති වෙන්න කලින් වෛද්‍යවරයෙකු හමු වීමේ හොඳ පුරුද්දත් දැන් බොහෝ දෙනෙකුට තියෙනවා…

ඉතින් එහෙම ලෑස්ති වෙන යුවතියන්ට වෛද්‍යමය අතින් අවධානය යොමු කළ යුතු කරුණු බොහොමයක් තියෙනවා… අපි අද ඒ ගැන කතා කරමු… සමහර වෙලාවට සැලසුම් නොකර ඇති වන ගැබ් ගැනීම් නිසා මවගේත් දරුවාගේත් දෙදෙනාගේම ජීවිතවලට ලොකු අවදානමක් වෙන අවස්ථා අපි දැකලා තියෙන නිසා මේ කියන කරුණු තරුණ යුවතියකට ඉතාම වැදගත්…

ෆෝලික් ඇසිඩ් නියමිත මාත්‍රාව ගැනීම.

බොහොම සුපුරුදු දෙයක් වුණාට සමහර රෝග තත්ත්වයන් තියෙන සහ, ස්ථූලභාවය තිබෙන කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් 1mg ප්‍රමාණවත් වන්නේ නැහැ… ස්නායු ආශ්‍රිත ගැටලු සහිත දරුවන් බිහිවීම වැළැක්වීමට, ඔවුන්ට ෆෝලික් ඇසිඩ් 5mg ක් දිනකට ගැනීම අත්‍යවශ්‍යයි. එම නිසාම ඔබේ වෛද්‍යවරයාගෙන් ඔබට නියමිත මාත්‍රාව අසා දැන ගැනීම වගේම එය නොවරදවා භාවිත කිරීමත් වැදගත්…

ආහාර සහ චර්යා රටා

අපේ කාර්යබහුල කමත් එක්ක කෘත්‍රිම සංඝටක සහිත ආහාර සහ පාන ජාති ගොඩක් අපි නොදැනුවත්වම භාවිත කරනවා… කුස තුළ වැඩෙන කලලයට මෙම රසායනික ද්‍රව්‍යවලින් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්… එනිසාම මෙවැනි ආහාර භාවිතය අවම කරලා තමන්ගේ ආහාර වේල ස්වාභාවික එලවළු, පළතුරු, කිරි, බිත්තර, මස්, මාළු සහ ඇට වර්ග (nuts) වගේ පෝෂණ ගුණයෙන් අනූන ලෙසට සකස් කරගැනීම ඉතාම වැදගත්… කිරි සහ මස් භාවිතයේ දී ඒවා හොඳින් විෂබීජහරණය වී තිබීමත් අත්‍යවශ්‍යයි.

ඒ වගේම අද සමාජයේ මත්පැන්, දුම්වැටි, ඒ වගේම වෙනත් මත්ද්‍රව්‍යත් උඩුදුවා තියෙන තත්ත්වයක් තිබෙනවා… සමාජයේ ඇති කරලා තියෙන රැළිවලට ගසාගෙන යන ඇතැම් කාන්තාවන් පවා අත්හදා බලන්න හෝ මෙවැනි දෑ භාවිත කරන අවස්ථා තිබෙනවා… දරුවෙකු පිළිසිඳ ගැනීමේ සුළු හෝ ඉඩකඩක් තිබෙන කාන්තාවක් මත්පැන් උගුරක්වත් භාවිතය කිසිසේත්ම සුදුසු නැහැ… ඒ වගේම දුම්පානය කරන තැනක ගැවසීමත් සුදුසු නැහැ.

අධික කෝපි භාවිතය අඩු කිරීමත් වඩා සුදුසුයි.

ව්‍යායාම

තරබාරු බව ගැබිනි මවකට ගැටලු රැසක් ඇති කරනවා… ඒක නිසාම ගැබ් ගැනීමට (pregnant) කලින් ශරීර දේහ ස්කන්ධ දර්ශකය (BMI) 27 kg/m² වලට අඩුවෙන් සකසා ගන්න පුළුවන් නම් ගැබිනි සමයේ සංකූලතා ඇති වීමේ අවදානම අඩු කරගන්න පුළුවන්… සමහර කාන්තාවන් ඉන්නවා, ඔවුන් ඉතා අධිකව කය වෙහෙසා කරන ව්‍යායාමවල පුරුද්දක් විදියට යෙදෙනවා… දරු ගැබක් බලාපොරොත්තු වීමේදී මෙවැන්නක් 100% නවත්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ… හැබැයි, එවැනි කායික ක්‍රියාකාරිත්වයේ තීව්‍රතාවය යම් දුරකට අඩු කිරීම වාසිදායක වෙන්න පුළුවන්…

රැකියාව

ඔබේ මානසික නිදහස සුරැකෙන වටපිටාවක් රැකියා ස්ථානයේත් නි‍ෙවසේත් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි… ඒ වගේම සමහර රැකියා තිබෙනවා ඔබට විවිධ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වෙන… රූපලාවණ්‍ය ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය, මුද්‍රණ ක්ෂේත්‍රය මේ සඳහා උදාහරණ කිහිපයක්… ඒක නිසාම ඔබ මේ සම්බන්ධවත් වෛද්‍යවරයා සමඟ කතා කිරීම සුදුසුයි…

සුරතල් සතුන්

අපේ පවුලේ අයට වඩා සමහර විට අපිට ළෙන්ගතු වෙන්නේ නි‍ෙවසේ සිටින සුරතල් පූසා… හැබැයි, ගැබිනි කාලයේ ඇතැම් විට මේ සතුන්ගෙන් එන විවිධ බැක්ටීරියා නිසා කුසේ සිටින බිලිඳාට අවදානමක් එන්න පුළුවන්… ඒක නිසාම එම සතුන් හා යම් දුරස්ථ බවක් පවත්වා ගන්නට කටයුතු කරනවා නම් වඩා ආරක්ෂාකාරීයි, විශේෂයෙන්ම පූසන්ගෙන්…

රුබෙල්ලා

ගැබිනි සමයේ මුල් සති කිහිපයේදී මවකට රුබෙල්ලා රෝගය වැලඳුණොත්, බිලිඳාට දරුණු ආබාධ ඇති වෙන්න 90%ක ඉඩක් තියෙනවා… මේ නිසාම රුබෙල්ලා රෝගය වැළැක්වීමට අපි පාසල් වියේ සෑම ගැහැනු දරුවෙකුටම එන්නතක් ලබා දෙනවා… හැබැයි එවැන්නක් ලැබූ බවක් ඔබට මතක නැතිනම් රුධිර පරීක්ෂාවක් මගින් ඔබ රුබෙල්ලා වලින් ආරක්ෂිත ද නැති ද යන්න පරීක්ෂා කර, අවශ්‍ය නම් එන්නත නැවත ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා…

පැපොල

ගැබිනි මවකට පැපොල රෝගය හැදුණොත් ටිකක් ගැටලුසහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්… ඒක නිසාම ඔබට පැපොල රෝගය සැදී නොමැති නම්, ගැබිනි මවක් වෙන්න කලින් අවශ්‍ය එන්නත් ලබා ගැනීම ආරක්ෂාකාරී පියවරක්…

ඖෂධ

ඔබ විවිධ රෝගී තත්ත්වයන්ට අදාළව දිගුකාලීන ඖෂධ භාවිත කරන අයෙකු නම් ඔබේ වෛද්‍යවරයා සමඟ එම ඖෂධවල යෝග්‍යතාව සාකච්ඡා කිරීම ඉතා වැදගත්… මෙතොට්‍රෙක්සේට් (methotrexate), වැල්පෝරේට් (valproate) වගේ ඖෂධ භාවිත කරන මවක් ගැබ් ගැනීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ… චර්ම රෝග සඳහා භාවිත වන ඇතැම් ඖෂධත් ගැබිනි මවකට සුදුසු නැහැ… හැබැයි මේ කිසිදු බෙහෙතක් ඔබේ හිතුමනාපයට නවත්වන්න එපා… අපිට නිතරම හමු වෙනවා, කලලයට හානියක් වෙයි කියලා බයෙන් තමන්ගේ තයිරොක්සින් පෙත්ත, හතියට භාවිත කරන ඉන්හේලර් නතර කරලා කරදරයට පත් වුණ කාන්තාවන්… ඒ නිසා මේ වගේ තත්ත්වයන් ඇති කාන්තාවන් වෛද්‍යවරයා සමඟ පැහැදිලිව කතා බහ කර නිවැරදි ප්‍රතිකාර ලබා ගත යුතුයි…

අපි සාමාන්‍ය අසනීප සඳහා භාවිත කරන සමහර ප්‍රතිජීවක (antibiotics) සහ තවත් සමහර සුලභ බෙහෙතුත් ගැබිනි මවකට සුදුසු වෙන්නේ නැහැ… ඉතින් ඔබ ගැබ් ගැනීමකට සුළු හෝ ඉඩක් තිබෙන කාන්තාවක නම්, හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගියත්, වෛද්‍යවරයාට ඒ බව මතක් කරන්න නොවැරදීම… අපිට ගොඩක් මවුවරුන් මුණ ගැහෙනවා ඔවුන් ගැබ්ගත් බව නොදැන ගැබිනි සමයේ, නුසුදුසු ඖෂධ භාවිත කරපු කාන්තාවන්…

සෞඛ්‍ය පරීක්ෂාව (Health Checkup)

මවු පදවිය සඳහා සැලසුම් කරන කාන්තාවකට ඊට කලින් මූලික සෞඛ්‍ය පරීක්ෂාවක් (health checkup) වෛද්‍යවරයෙකු මගින් කරගන්න පුළුවන් නම් එයත් ඉතා හොඳ අදහසක්… අපිට ඇතැම් වෙලාවට මුණ ගැහෙනවා කිසිම රෝග ලක්ෂණයක් නොතිබුණු කාන්තාවන් තුළ වුවත්, දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ තත්ත්වයන් තිබෙනවා… එ නිසාම නීරෝගි කාන්තාවක වුණත් සීනි මට්ටම, තයිරොක්සින් මට්ටම, වකුගඩු, අක්මාව, හිමොග්ලොබින් මට්ටම වැනි මූලික දෑ පරීක්ෂා කරගන්න හැකියාවක් තිබෙනවා නම් එසේ සිදු කිරීමේ වරදක් නැහැ…

නිදන්ගත රෝග

බොහෝ කාන්තාවන් ඉන්නවා දිගුකාලීන රෝග සඳහා ප්‍රතිකාර ලබන… ඇදුම, අපස්මාරය, තයිරොයිඩ්, ආතරයිටිස්, මානසික රෝග වැනි විවිධ රෝගී තත්ත්වයන් වෙන්න පුළුවන්… තවත් සමහරු ඉන්නවා කලින් එවැනි රෝගී තත්ත්වයන් තිබුණු නමුත් දැන් ප්‍රතිකාර නොගන්න… අතීතයේ දී හදවතේ, උදරයේ ශල්‍යකර්මවලට බඳුන් වුණ කාන්තාවනුත් ඉන්නවා… ඉතින් ඔබත් එවැනි කාන්තාවක නම්, අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයා සමඟ මවු පදවියට ලෑස්ති වෙන්න කලින් ඔබේ රෝගී තත්ත්වයට සහ ප්‍රතිකාරවලට අදාළ සම්පූර්ණ ඇගයීමක් කිරීම අත්‍යවශ්‍යයි… සමහර විට ඔබ දැනට ගන්නා ඖෂධ අඩු වැඩි කිරීම, අලුත් ඖෂධ එකතු කිරීම වගේ දේවල් අවශ්‍ය වෙන්න පුළුවන්… සැලසුම් නොකළ ගැබ් ගැනීමක් මෙවැනි යුවතියකට කිසිසේත්ම උචිත නැහැ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?